Sunday, October 20, 2024
Follow Us
Are  you ready ????

ඉතින් අපි ලබන සදුදා ඉදන් අපේ ඩයට් ප්ලෑන් එක පටන් ගන්නයි යන්නේ.


අතිශය අවිවේකී බව නිසා ඒ ගැන මොකුත් ආරම්භ කරන මට වෙලාවක් නැති වුණා
නමුත් තවත් කල් දාන්න බැරි නිසා ලබන සදුදා ඉඳන් අපි මේ මේක පටන් ගමු.
දියවැඩියාව, ආම්ලිකතාවය , හෝමෝන අසමතුලිතතා මල බද්ධය, ස්ථුලතාවය. ( Diabetes, gastritis hormonal imbalances, constipation, obesity )
මෙන්න මේ ප්‍රශ්න තියෙන අයට අපි මේ පටන් ගන්න යන ක්‍රමය අතිශය ඵලදායී එකක් වෙනවා. මේ අතරින් ස්ථුලතාවය සහ දියවැඩියාව කියන කරුණු දෙක හැරුණු කොට, අනෙක් කාරණා සේරටම මටම අත්දැකීම් තියනවා මේ ආහාර රටාව හරි ගිය බවට. අනිත් කාරණා දෙකට මම මූණ දීල නෑ. නමුත් ඒක හරියන බව ස්ථිරයි හරියට කලොත්.
ඉතින් ඉරිදා හවස වෙනකොට ඔයාලා ලෑස්ති කරගන්න ඕනේ තමන් කන්න කැමති ධාන්‍ය වර්ග කිහිපයක්. සාමාන්‍යයෙන් ඇට වර්ග තම්බන කලින් පොඟවන්න ඕනේ. ගොඩක් පහසුයි pressure cooker එකක් තියෙනවා නම්. එහෙම නැත්නම් කොච්චර පෙඟුවා වුණත් ඇට වර්ග තම්බගන්න වෙලා යනවා. පුළුවන්නම් හෙමින් ප්‍රෙෂර් කුකර් එකක් මිලදී ගන්න. ඒක පාවිච්චි කරන විදිය හරියටම දැනගෙන පාවිච්චි කළොත් කවදාවත් අනතුරක් වෙන්නෙත් නෑ. නිතරම තම්බගන්න කරදරයි නම් එකවර ටිකක් වැඩිපුර තම්බලා freeze කරන්න පුළුවන්. දවසක් දෙකක් නම් සාමාන්‍ය ශීතකරණයේ පවා තියන්න පුළුවන්. ඉතින් කාර්යබහුල අයට පුළුවන් මේක කොටස් කරලා ඒ විදියට ගබඩා කරගන්න.
ඊළඟට මුං ඇට වගේ ධාන්‍ය වර්ග කනකොට අපිට ලුණුමිරිසක් අවශ්‍ය වෙනවා. එහෙම අවශ්‍ය නැති අයට මේක අත්‍යවශ්‍ය නැහැ. ලුණුමිරිසත් දිනපතා හද හද ඉන්න අවශ්‍ය නෑ. අනික හැම ධාන්‍ය වර්ගයටම ඒක අවශ්‍ය වෙන්නෙත් නෑනේ. ඒ නිසා ඔයාලට පුළුවන් අවශ්‍ය තරමට ලුණු මිරිසක් සති අන්තයේ හදලා තියාගන්න. දවසක දෙකක් ඒක සාමාන්‍ය ශීතකරණයේ තියන්න පුළුවන්. ඉන් පස්සේ තෙල් තේ හැන්දක් දාල තෙල් දාල ඒක රසම රස ලුණු මිරිසක් කරගන්න පුළුවන්.
අත්‍යවශ්‍යම දේ තමයි පොල්. ඔයාලා කැමති විදිහකට මේ පොල් සකස් කරගන්න පුළුවන්. සමහරු කෑලි කපනවා සමහර අය පොල් ගාලා තියාගන්නවා. මේක දිනපතා කරන්න බැරි අය සතියටම ඇති වෙන්න පොල් ගාලා තියාගන්න freezer දාල. හෙට උදේ ගන්නවනම් අද රෑට සාමාන්‍ය ශීතකරණයට මාරු කරන්න. පොල් ගෙඩිය ගොඩක් වියලි එකක් තෝරගන්න එපා . ගානකොට කුරුට්ට ගාගන්නත් එපා.
ඊළඟට අමුවෙන් කන්න පුළුවන් එළවළු වර්ගයක්. මම බොහෝවිට ඒකට තෝරගන්නේ පිපිඤ්ඤා වර්ගයක්. මෙතැනදී අලිගැටපේර වගේ පලතුරුත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කොළපාට සලාද කොල උනත් කමක් නෑ . කැරට්, බීට්, ගර්කින් මිශ්‍ර සලාදයක් වුණත් සකස ගන්න පුලුවන් ඔයාලගෙ කැමැත්ත අනුව.
ඊළඟ පියවර හැටියට තමන්ට පහසුවෙන් සපයා ගන්න පුළුවන් ප්‍රෝටීන් සහිත ආහාරයක් ඕන වෙනව. මම බොහෝ විට මේකට පාවිච්චි කරන්නේ බිත්තර. බිත්තර තම්බලා ගන්නවනම් වතුර හොඳට උතුරන්න ඇරලා හැන්දකින් හිමින් සැරේ වතුරේ ගිල්ලවන්න. ඉන්පස්සෙ විනාඩි පහක් ලිපේ තියෙන්න ඇරලා පාවිච්චියට ගන්න
මෙතැනදී සිද්ධවෙන්නේ බිත්තරය කන්න පුළුවන් තරමට ඉතාමත් අඩුවෙන් තම්බා ගන්න එකයි. බිත්තර අමුවෙන් කන තරමට තමයි ගුණ වැඩි. එහෙමත් නැත්නම් ඔම්ලට් එකක් බුල්සයි එකක් හැටියට සකස ගත්තාට ප්‍රශ්නයක් නෑ. ඉතිං බිත්තර තුනක් හතරක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර කන්නේ නැති අයට ප්‍රෝටීන් සහිත කැමති දෙයක් එකතු කරගන්න පුළුවන් . Vegan අය ඉන්නව නම් මට වෙනම සටහනක් තියන්න.
උදේට නැගිට්ට හැටිය බොන්න මම රෙකමන්ඩ් කරන්නෙ දියරකිරි තමයි . දියරකිරි අකමැති අයට තමන් කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි සීනි නැතුව.
මම හිතන්නේ නෑ මේකට විශේෂ වියදමක් ඔයාලට දරන්න කරන්න සිද්ධ වේවි කියලා . හුඟක් ඩයට් ප්ලෑන්වල තියෙන ප්‍රශ්නය තමයි පටන් ගත්තාට දිගටම කරන්න බැරිකම. ගොඩක් මුදල් වියදම් වීම, නිරාහාරව සිටින්න සිද්ධ වීම වගේ දේවල් නිසා ඒවා අත් හැරෙනවා.
ඉතින් මේ දේවල් අවශ්‍ය වෙන්නේ උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා දවල් 12 වෙන තෙක් ගත කරන කාලයට පමණයි. අපි මුලින් උදේ වරුව විතරක් මේ ක්‍රමය කරගෙන යමු. එකපාරට මුළු මුලු දවසක්ම වෙනස් කරගන්න අපිට අමාරුයි. ඉහත සඳහන් කරපු කෑම වර්ග ඔයාලට පහසු විදිහට සකස් කරගන්න පුළුවන්.
ඉතින් ඔයාලා ලෑස්ති ද?

(Beauty Secrets with Rapunzel)