Saturday, October 19, 2024
Follow Us
Facial   Facial   Facial

අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය සමනේ(skin). ඉතින් මේ සමේ පැවැත්මට, ආරක්ෂාවට, සම රැක ගැනීමට අපි නොයෙකුත් දේවල් කරනවා. ඒ අතරින් අපි වැඩිපුර අවධානය යොමු කරනවා අපේ මුහුණේ සමට. මෙන්න මේ මුහුණේ සමට කරන ප්‍රධානම ප්‍රතිකාරයක් හැටියට " facial " හඳුන්වන්න පුළුවන්.


ඒක සත්කාරයක්, බෙහෙතක්. ඒකත් එකක් කලහම සදාකල් ප්‍රතිඵල තියෙන එකක් නෙමෙයි. ප්‍රතිඵවල පැවැත්ම සත්කාරය කරල සති දෙකක වගේ කාලයකට හොදින් පේන්න තියෙනවා. ඉන්පස්සෙ ආයෙ නොකලොත් ඒක නඩත්තු වෙන්නෙ නැහැ. හැබැයි එහෙම හොඳින් දිගටම නඩත්තු කරපු මුහුණක වෙනස එහෙම නොකරන මුහුණකට වඩා අඩුම ගණනේ අවුරුදු දහයක්වත් ළාබාල පෙනුමක් ගන්නවා. ඒක නම් මට ස්ථිරවම කියන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට සමාජයට මුහුණ දෙන්න හොඳ ආත්ම විශ්වාසයකුත් තියෙනවා මේ නඩත්තුව නොකරන අනිත් අයට වඩා. මේ ප්‍රතිකාරය සඳහා හොඳ තැනක් සහ හොඳ පළපුරුදු කෙනෙක්ව තෝරා ගැනීම ඔබ සතු වගකීමක්. ඒක හරියට තෝරා නොගත්තොත් ප්‍රතිඵල අනිත්පැත්තට කැරකෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිකාර ගෙදරදි කිරීම හරිම අසාර්ථකයි.
මගේ වෘත්තිය ජීවිතය තුළදී මට වැඩිපුර මුණ ගැහුණේ එකක් කරලා අවුරුද්දක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අය. හුඟක් අය අපෙන් උපදෙස් ගන්න කැමති නෑ. මාසෙකට සැරයක් හෝ සති තුනකට සැරයක් මේ සත්කාරය කරන්න කියලා අපි උපදෙස් දුන්නම එයාලා හිතන්නේ එයාලගේ පැත්තෙන් හිතල ඒක කිව්වා කියලා නෙමෙයි. එයාලගේ හැටියට අපි හිතල තියෙන්නෙ අපේ මුදල් පසුම්බිය ගැනයි. නමුත් කවුරුහරි දිගටම මේ සත්කාර කරලා ලස්සනට ඉන්න කෙනෙක් දැක්කම එයාලා කියනවා එයා නම් හරිම ලස්සනයි නේද කියලා. ඒ වෙලාවට මම මද සිනාවකින් සංග්‍රහ කරලා නිකන් ඉන්නවා "ඔව්" කියලා.
ඔයාලා හරිම වාසනාවන්තයි හේතුව තමයි මගේ රූපලාවණ්‍යාගාරයට සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන බොහෝ අයට මම මේ ඔයාලට දෙන උපදෙස් දෙන්න යන්නෙ නෑ . ඒකට හේතුව මම ඔයාලව මේවා තේරුම් ගන්න තත්වයට ගේන්න අවුරුද්දක් තිස්සේ ලියපුවා බලපෑවා. නමුත් මාස දෙක තුනකට සැරයක් මා ළඟට එන මගේ ලිපි නොකියවන එයාලට මට මේව ඒත්තු ගන්නන්න හරි අමාරුයි. ඒ නිසා මම වැඩිය උපදෙස් දෙන්න යන්නේ නැහැ එයාලට.
බොහෝවිට එයාලට එයාලගේ මත තියෙනවා. ඒ වගේම ආකල්ප හොඳ නැහැ. බියුටීෂියන් කෙනෙක් කිව්වම එයාල හිතන්නේ හරිම නූගත්, ඉගෙන ගන්න බැරි වෙච්ච නිසා මේ ක්ෂේත්‍රයට ඉබේ ඇදගෙන වැටිච්ච කෙනෙක් හැටියටයි. ඉතින් මං හරි කැමැතියි එයාලට එයාලගේ ඒ සිතිවිලලේ සතුට භුක්ති විඳින්නේ අරින්න. මේ ලිපි කියවපු අය මා ළඟට ප්‍රතිකාර වලට එනවාට මම හරි කැමතියි....මොකද එයාලට ඒත්තු ගන්වන්න දෙයක් මට ඉතුරු වෙලා නැති නිසා.
ඉතින් ඔයාලගෙන් මම මීට කලින් ඇහුවා ෆේශල් ගැන ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒකට ගොඩක් අය දක්වපු ප්‍රතිචාරත් එක්ක මේ ලිපියට අඩංගු විය යුතු දේවල් හිතා ගන්න හරිම පහසු වුණා. ඉතින් නිරන්තරයෙන්ම අපේ සමූහයේ ලිපි වලට කමෙන්ට් කරලා, ස්තුති කරලා ධෛර්යය, සහයෝගය දෙන ඔයාලට ගොඩාක් ස්තූතියි.
?️ facial, clean up කිරීම අත්‍යවශ්‍ය ද ?
ඒක ඔයාගේ තීරණයක්. එක එක්කෙනා ජීවිතේ තමන් ගත කරන්න තෝරාගත් විදි තියනවා. සමහර අය ඔහේ ජීවත් වෙනවා . සමහරු තමන්ට ආදරය කරමින් ජීවත් වෙනවා. සමහරු ඉපදුනා වෙනුවට ජීවත් වෙනවා. ඉතින් මේ වගේ දේවල්වල අවශ්‍යතාවය රඳා පවතින්නේ එක් එක් පුද්ගලභාවය මතයි. පෞද්ගලිකව මගේ ජීවිතයේ දී මගේ සමේ නඩත්තුව මුළු ශරීරය වෙනුවෙන්ම මම ඉතාම උනන්දුවෙන් කරන කෙනෙක්. ඉතින් මට මේ වගේ දේවල් අත්‍යවශ්‍යයි . අනික මගේ වෘත්තීය ජීවිතයේ දී අනිත් අයට උපදෙස් දෙන්න බැහැනේ මම ඒවා නොකර. ඉතින් කළොත් ප්‍රතිඵල ලැබෙයි... නොකලොත් නැහැ. ඉතින් මම පහතින් සඳහන් කරන්නම් මොනවද කළොත් ලැබෙන ප්‍රතිඵල කියලා. දවසේ ඕනෑම වේලාවක මේ ප්‍රතිකාර කරන්න පුළුවන්. කළාට පස්සේ හිරු එළියෙන් පරිස්සම් වීම තමා වැදගත්ම. ඒ වගේම දවසක් පහු වෙනකල් face foundation පාවිච්චි කරන්න එපා.
? ඔයාලා දිනපතා පාවිච්චි කරන සාමාන්‍ය සේදුම් කාරක වලින් එහා ගිය පිරිසිදු කිරීමක් වෙන නිසා මුහුණ හැම විටම හොඳ නැවුම් බවකින් යුක්ත වෙනවා.කොතරම් දහදිය දැම්මත් අපිරිසිදු බවක් පෙනෙන්නේ නෑ.
? සමේ සිදුරු වල ඇති අපද්‍රව්‍ය ඉවත් වෙන නිසා සමේ ඇතුළත ඇති අනවශ්‍ය තෙල් සහ දහදිය පිටතට පැමිණි මේ පහසුකම සැලසෙනවා අවහිරයකින් තොරව . ඒ නිසා black heads සහ white heads වැනි කුරුලෑ වර්ග ඇතිවීමේ ඉඩකඩ අහුරා දමනවා. ඉතින් මුහුණ හොඳ හොඳ නැවුම් පෙනුමකින් යුක්ත වෙනවා.
? මැරුණු සම ඉවත් වීමක් සිද්ධ වෙන නිසා අලුතෙන් සැකසෙන සමට ඉතා හොඳින් වර්ධනය වෙමින් ප්‍රශ්න අවම පැහැදිලි පෙනුමක් සහිත සමක් හිමි කර ගැනීමේ හැකියාව තිබෙනවා. නහය උඩ ඇතිවෙන ඉරි. පිග්මන්ටේෂන් වර්ග ඉතා හොඳින් පාලනය කර ගත හැකියි. පැහැදිලි සමක් කියන්නේ makeup කිරීමේදී වැඩිපුර foundation වර්ග භාවිතා කිරීමට අවශ්‍ය නැති සමක්. ඉතින් සාමාන්‍ය ජීවිතේදි කොහේ හරි යන්න ගියාම ගොඩක් foundation උලන්න සිද්ධ වෙන එක හරිම අවාසනාවක්. ඔයාගේ කණ්ණාඩියට ඒක ලස්සන වුණාට පියවි ඇහැට සාමාන්‍ය ජීවිතේදී ඒක දකිද්දී අනිත් අයට පේනවනෙ heavy foundation cover එකක් බව. එහෙම අය දැක්කම මට නම් හිතෙන්නේ ඕක හේදුවට පස්සේ ඒ සමේ කොයි තරම් ප්‍රශ්න ඇද්ද කියලයි. කාගෙවත් සම ලෙහෙසියෙන් ඒකාකාරී වෙන්නේ නැහැ. foundation පාවිච්චි කිරීම නරක නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේ දී heavy foundation පාවිච්චි කිරීම විහිළුවක්.
? සම්භාහන ක්‍රියාවලියක් සිද්ධවෙන නිසා හොඳ උත්තේජනයක් ලැබිලා ලේ ගමනාගමනය වැඩි වෙලා සමට හොඳ පෝෂණයක් අභ්‍යන්තරයෙන් ලැබෙන්න උදව් වෙනවා . ඒ නිසා පළුදු වී ඇති කොලජන් tissues නැවත යථා තත්ත්වයට පත් වීමට හා අලුතින් වැඩෙන ඒවා හොඳින් වැඩීමට ඒක හොඳ උපකාරයක් වෙනවා. ඒ නිසා සම හොඳ තරුණ පෙනුමකින් යුක්ත වෙනවා. රැලි වැටීම් එල්ලා වැටීම් ඉතා හොඳින් පාලනය වෙනවා. (නමුත් මුහුණේ මහත, කෙට්ටු බව, හතරැස්, දිගටි පෙනුම මේවායින් වෙනස් කරන්න බැහැ) අන්න ඒකයි මේවා කරන කෙනෙකුට වඩා නොකරන කෙනෙක් වයසින් බාල වුණත් වැඩිමල් පෙනුමක් මුහුණින් පේන්නෙ.
මේවා කිව්වම එයාල අහන ප්‍රශ්නයක් තමයි අපේ ආච්චිලා අම්මල ඕව කරලයැ හොඳට ඉන්නේ කියලා. ඒ කාලේ හැමෝම ඕවට උනන්දු වුන අය නෙමෙයි. ඒ නිසා ඒ වෙනස ලොකුවට පෙනුනේ නැහැ . දැන් ගොඩක් අය මේවා කරනවා.එතකොට නොකරන කෙනාව අපිට නම් බැලුව සැනින් අඳුරගන්න පුළුවන්.
? මාංශපේෂීන් ලිහිල් වීම නිසා ඇති වෙන මානසික සැහැල්ලුව. මානසික පීඩනයට හොඳ ඔසුවක්. ඇතැම් Facial කිරීමේදී මුහුණේ නිල උත්තේජනය කරනවා. එක් එක් නිල තෙරපීමෙන්, උත්තේජනය කිරීමෙන් ලැබෙන වාසිය වෙනස්... ප්‍රධාන වශයෙන් මුහුණට සම්බන්ධ නිල පහළවක් තිබෙනවා. මේවා උත්තේජනය කිරීමෙන් ලැබෙන වාසිය ඉමහත්. නමුත් කුරුලෑ සහිත සහ ගර්භනී අයගේ නිල උත්තේජනය කරන්නේ නෑ.
? සමේ යට ස්ථරයේ තැන්පත් අපද්‍රව්‍ය ඉවත් කිරීම ( lymphatic massage ). අපි දකින්නේ සමේ මතුපිට ඇති කුණු පමණයි . නමුත් සමේ යට කාලයක් තිස්සේ තැන්පත් වූ අපද්‍රව්‍ය තිබෙනවා මෙය සිදු කරන්නේ විශේෂ සම්බාහන ක්‍රමයක් මගින්. මෙම සම්බාහනය facial එකකට ඇතුලත් වූ විට එහි මිල සහ ගත වන කාලය වැඩි වෙනවා. සමේ පහළට කරන එකම සම්බාහන ක්‍රියාවලිය මෙයයි. එයට මනා පුහුණුවක් තිබිය යුතුයි. වසා පද්ධතිය උත්තේජනය කරමින් කරන මේ ක්‍රියාවලිය ඉතාම සාර්ථකයි .
?️ facial සහ clean up අතර වෙනස කුමක්ද ?
වචන වලින් ම පේනවා clean up කියන්නෙ පිරිසිදු කිරීම සහ ඔසවා තැබීම කියලා. පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය foaming cleanser + deep cleanser + scrub + steam + extracting හැටියට පිළිවෙලින් දක්වන්න පුළුවනි. මේ ටිකෙන් මේ වැඩේ නැවත්තුවොත් up වලට මොකද වෙන්නෙ?? ??? අන්න ඒ up කිරීමට තමයි අපි පැක් එකක්, එහෙමත් නැත්නම් facial mask එකක් පාවිච්චි කරන්නේ සමට පෝෂණයක් ලබා දීලා... තිබුනට වඩා තත්වයෙන් උසස් කිරීම සඳහා. එතකොට face packs or masks + toner + moisturizer . ඉතින් දැන් ඔයාට පුලුවන් ඔයාගේ beautician ඔයාට කලේ clean up එකක් ද...නැත්නම් බාගයක් ද කියල දැනගන්න ?. Facial එක මෙතනින් වෙනස් වෙන්නේ සම්බාහනයෙන් සහ නොයෙකුත් උපකරණ (galvanic, ultra sound, highfrequecy ) භාවිතයෙන් . නමුත් උපකරණ අත්‍යවශ්‍ය නැහැ.
?️ steam කිරීම අත්‍යාවශ්‍ය ද?
නැහැ. මෙය සිද්ධ කරන්නේ Scrub කිරීමෙන් පසුව පිරිසිදු කළ මුහුණටයි. Extracting ක්‍රියාවලිය අවසන් වන තෙක් steam කිරීමට සිදු වෙන අවස්ථා තිබෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමේ සිදුරු විවෘත කරලා ඒවායේ ඇති අපද්‍රව්‍ය extractors එකෙන් ඉවත් කිරීමට පහසුවක් සලසා ගැනීමයි. ඒවායේ අපද්‍රව්‍ය රැඳිලා නැත්නම්, විවෘත කරලා ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒක තීරණය කරන්න පුළුවන් වෙන්නේ රූපලාවන්‍ය ශිල්පිණියටයි. මේ සඳහා ඔවුන්ට පුළුවන් magnifying lamp එක අවශ්‍ය නම් පාවිච්චි කරල ඒක හරියටම තීරණය කරන්න. ඉතින් අපද්‍රව්‍ය රැඳිල නැත්නම් extractors පාවිච්චි කිරීමෙ අවශ්‍යතාවයකුත් නැහැ. රූපලාවන්‍ය ශිල්පිනියක් වුණත් මේවා කරන්න ඕනේ මනා අවබෝධයක් ඇතිව කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මොකද ගොඩක් අපද්‍රව්‍ය scrub එකේ දී අයින් වෙනවා. මම.සේවය සඳහා බඳවා ගන්න රූපලාවන්‍ය ශිල්පිනියන් කිසිම දවසක මේවා ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. පුදුමයට කරුණ නම් ඔවුන් අතරින් ඇතැම් අයගේ paper qualifications මටත් වඩා ඉහළින් තිබීමයි.
?️ Extracting නිවැරදිව පාවිච්චි කල යුත්තේ කෙසේද?
මේක වේදනාකාරී අත්දැකීමක් .හැබැයි කෙනාගෙන් කෙනාට දැනෙන වේදනාවල් වල ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. කොහොම උනත් මෙම ක්‍රියාවලියෙන් පසු මුහුණේ පැල්ලම් ඇති වීම නම් සුදුසු දෙයක් නොවේ. එයින් අදහස් කරන්නේ ඒ කාර්යය කරපු රූපලාවණ්‍ය ශිල්පිනිය සමේ සිදුරුවල ගැඹුරින්ම ඇති දේවල් අයින් කරන්න උත්සාහ දරා ඇති බවයි . මගේ විදිහ නම් අතට දැනෙන සහ ඇසට පෙනෙන... ඒ සිදුරු වසාගෙන ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම පමණයි කල යුතු. කොටින් ම කුරුලෑවක් වත් මම කඩා ඉවත් කරන්නේ නැහැ. එසේ කළ විට ලොකු කැලලක් ඇති වීමේ ඉඩකඩ වැඩියි . කළ යුතු වන්නේ එය ඉබේ වියලී යාම ට ඉඩ හැරීමයි.
?️clean up කලාට පස්සේ ආයේ ෆේෂල් කරන්න ඕනේ කොච්චර කාලෙකින්ද ?
මේක හරිම අමුතු ප්‍රශ්නයක් මට නම්. දැන් ඔයාලට පැහැදිලි ඇති ඒ දෙකේ වෙනස. ෆේශල් එකකදී clean up ක්‍රියාවලියම සම්පූර්ණ වෙනවා. ඉතිං නැවත කිරීම සති තුනක කාල පරාසයකට පස්සේ කරන්න පුළුවන් . නමුත් සමහර මුහුණු වලට අපි නිර්දේශ කරනවා සති දෙකෙන් දෙකට ප්‍රතිකාර ගන්නා ලෙසට. ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රතිකාරයක් කලයුතු වන්නේ සති තුනකට සැරයක්.
?️ කුරුලෑ සහිත මුහුණකට ෆේශල් සුදුසුද ?
නැහැ. ඒ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. කුමන ආකාරයක හෝ බිබිලි සහිත සමක් නම් ෆේෂල් කරන්නේ නැහැ.එය තීරණය කිරීම රූපලාවණ්‍ය ශිල්පිනිය සතු දෙයක් .ඔබ තෝරා ගන්නා ශිල්පිනිය ගැන නම් මම වග කියන්නේ නැහැ.
?️ facial කිරීමේදී bleaching භාවිතා කිරීම සුදුසු ද ?
කිසිසේත්ම නැහැ. bleaching පාවිච්චි කිරීමේදී සාමාන්‍ය පිරිසිදු කිරීමක් මිසක් ගැඹුරු පිරිසිදු කිරීමක් සුදුසු නැහැ . ඒවා රසායන ද්‍රව්‍ය. ඉතා පරෙස්සමෙන් පරිහරණය කළ යුතුයි . පෞද්ගලිකව මගේ රූපලාවන්‍යාගාරයේ බ්ලිචිං පාවිච්චි කරන්නේ නැහැ. නොදන්නා කමට මේ ප්‍රතිකාර අතරතුර බ්ලීචිං පාවිච්චි කරලා මුහුණු භයානක වෙස්මූහුණු වුන අවස්ථා මම ඕනෑ තරම් දැකලා තියනවා. රූපලාවණ්‍යගාරයක් තුළදී ප්‍රසිද්ධ මරණයකුත් සිදු වුණා මේ බ්ලීචිං බාවිතය නිසා
? මේ ප්‍රතිකාර අතරතුර අනවශ්‍ය රෝම ඉවත් කිරීම සුදුසු ද ?
පිළිගත් ක්‍රමය නම් නුසුදුසු බවයි. අවශ්‍යම නම්. ඒ සඳහා ප්‍රතිකාරය අවසානයේ කරන්න පුළුවන්. සමහර අයට මේක පුරුදු යි. නමුත් අලුත්ම කෙනෙක් නම් සත්කාරයේ අවසානයේදී අනවශ්‍ය රෝම ඉවත් කිරීමයි සුදුසු. නැත්නම් ආසාදන ඇතිවීමේ අවදානමක් තිබෙනවා. එසේ කළ විට නිවසට ගොස් ice cube treatment එක කිරීම වටිනවා. මෙම සත්කාර කිරීමෙන් පසු ව ඇතැම් ශිල්පිනියන් උපදෙස් දෙනවා එදා දවසට නැවත සේදුම් කාරක පාවිච්චි කරලා මුණ සෝදන්න එපා කියලා . එහෙම කියන්නේ ඇයි කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් රූපලාවන්‍යාගාරයේ සිට නිවෙසට යන දුර අතරතුර කොයි තරම් කුණු දූවිලි ප්‍රමාණයක් සමේ රැඳෙනවාද ? අනිවාර්යෙන්ම නින්දට පෙර ඒවා සෝදා ඉවත් කළ යුතුමයි. ඩීප් ක්ලෙන්සර් කිරීම නම් අවශ්‍ය නැහැ.
?️ මෙම සත්කාරවලින් පසු කුරුලෑ එන්නේ ඇයි ?.
ප්‍රධාන වශයෙන් හේතු දෙකයි. තව කෙනෙකුට පාවිච්චි කළ අපිරිසිදු sponge සහ නිසි විදියට ජීවානුහරණය නොකළ උපකරණ පාවිච්චි කිරීම නිසා සහ තත්වයෙන් බාල ආලේපන පාවිච්චිය .( makeup sponge ලිපිය බලන්න )
?️මනමාලියක් වීමට කොච්චර කාලෙකට කලින් මේවා කළ යුතුද ?
ඒක තීරණය කරන්නේ ඔබේ රූපලාවණ්‍ය ශිල්පිනියයි.
?️ Facial කිරීමට සුදුසු වයස?
ෆේෂල් කරන්න පුළුවන් අවුරුදු විස්සෙන් පස්සේ . එතකල් බාහිරින් උත්තේජනයක් සමට අවශ්‍ය නැහැ. ක්ලීන් අප් කිරීම නම් අවශ්‍යතාවය මත අවුරුදු දහසයේ සිට කළ හැකියි.
?️ facial වර්ග මොනවාද ?
මෙම වර්ග රූපලාවණ්‍යාගාරයෙන් රූපලාවණ්‍යාගාරයට වෙනස්. ඒ නිසා මම සදහන් කරන්නම් මම පාවිච්චි කරන වර්ග.
* Normal facial and clean up ( මෙහිදී සමේ ස්වභාවය සහ අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන ද්‍රව්‍ය වෙනස් කරනවා .)
* Thermo clean up ( acne prone )
* Thermo facial ( face lifting and depigmentation )
* Gold facial ( anti wrinkles and skin glowing )
*Ultrasound facial ( whitening and face lifting )
*microdermabrasion (acne scars, spots, whitening and depigmentation )
*galvanic facial (anti aging )
සැ. යු. මෙහෙම ලිපියක් ලිව්වහම මට ඇති වෙන ඉන්බොක්ස් අතුරු ආබාධ
1. තමන්ගේ මුහුණේ පින්තූර එවා සුදුසු මොනවා දැයි ඇසීම
2. ඒ මුහුණු බලා ආලේපන නිර්දේශ කරන්නැයි ඉල්ලා සිටීම .
3. මම ජීවිතේට වත් දැකලා නැති ආලේපන පෙන්වමින් ඒවා ඔවුන්ට හොඳ දැයි ඇසීම .
4. මිල ගණන් විමසීම .
5. තමන්ට ඇති ප්‍රශ්න ඡේද ගණන් ලියමින් උදව් ඉල්ලා සිටීම.
හොඳින් මතක තියාගන්න සමූහයේ ලිපියක් දැම්මහම ඒ ගැන විස්තර අහන්න ඕනේ ඒ ලිපියට කමෙන්ට් එකක් දාලයි. සමූහයේ අහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකට මම පෞද්ගලිකව උත්තර දෙන්නෙ නැහැ .ඒ නිසා ඔයාලගේ ගෞරවය රැක ගෙන ඉන්න එක ඔයාලට බාරයි. මුහුණකට ප්‍රතිකාර නියම කරන්නේ නැහැ මම පියවි ඇසින් නොබලා. ඇවිල්ල පෙන්නලා වෙන තැනකින් ප්‍රතිකාර ගත්තත් මට කමක් නැහැ. මම උපදෙස් නොමිලේ දෙනවා.

(Beauty Secrets with Rapunzel )