Saturday, October 19, 2024
Follow Us
Are you an attractive person 2

මම දන්න පවුලක අවුරුදු හයක පමණ පිරිමි දරුවෙක් ඉන්නව. ඔහුගේ පුරුද්දක් තමයි කවුරු හරි දෙයක් ඇසූවිට නෑසූ කන්ව සිටීම. ඒ කියන්නේ ඒක ඇහුනෙ නෑ වගේ ප්‍රතිචාර නොදක්වා සිටීම. එතකොට ඒ ප්‍රශ්නය අහන කෙනාට සිද්ධ වෙනවා නැවත නැවත ඔහුගෙන් එය ඇසීමට, එහෙමත් නැතිනම් බලෙන් අවධානය යොමු කරගෙන ඒ ප්‍රශ්නය ඇසීමට, එහෙමත් බැරි උනොත් තර්ජනය කරන්න සිද්ධ වෙන වෙලාවලුත් මම දැකලා තියනවා. අවුරුදු 6 කියන්නේ හොඳ තේරෙන වයසක්. ඒ තමයි පූංචි දරුවන් සමාජයේ හැමදේම බොහොම ඉක්මනට ග්‍රහණය කරගන්න වයස.


ඉතින් මේ ප්‍රතිචාර නොදක්වා සිටීම නිසා ඒ දරුවා ඇතැම් වෙලාවට දෙමව්පියන්ගෙ තාඩන පීඩනවලට පවා ලක් වෙනවා. ගුටියක්, ටොක්කක්, බැනුමක්, කාමරයට දමා දොර වසා දැමීමක් ආදී කොයි එකෙනුත් ඒකට දෙමව්පියන් ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන් තාත්තා. මමත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ දරුවා කිසිම දිනක මට ප්‍රතිචාර නොදක්වා ඉඳලා නැහැ. ඉතින් මම කල්පනා කලා ඇයි මේ දරුවා මෙහෙම හැසිරෙන්නේ?, ඇයි අහන දේකට උත්තර නොදෙන්නේ?. දඬුවම් ලැබිලාවත් ඔහු නිවැරදි වෙලා නෑ. අන්න එතකොට තමයි මට හේතුව තේරුණේ.
ඒ දරුවගේ පියතුමා තමන්ගේ යහලුවන්ට, බිරිඳට, දරුවන්ට ප්‍රතිචාර දැක්වීමේදී සන්සුන් නැති කෙනෙක්. එක්කෝ ප්‍රතිචාර නොදක්වා සිටින කෙනෙක්, ඒ කියන්නේ බිරිඳ ප්‍රශ්නයක් ඇහුවම ඒක ඇහුනෙ නෑ වගේ තමන්ගේ වැඩේ කරගෙන යන කෙනෙක්. දරුවන් ප්‍රශ්නයක් ඇසූවිට තමන්ට බාධා කරන්නට එපා යැයි තර්ජනය කර එළවා දමන කෙනෙක්. ඉතින් එහෙම අයගේ දරුවන් කොහොමද ක්ෂණික ආදරණීය ප්‍රතිචාර දක්වන්නන් බවට පත්වන්නේ ?. කවදාවත් නෑ. නමුත් ඒ පියා බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවා තමන්ට ක්ෂණික ප්‍රතිචාර දක්වාවි කියලා. ඒක ඇත්තටම හාස්‍යයට කරුණක් නෙමෙයිද ?.
දරුවාට දඬුවම් කරන්නට පෙර ඔහු හිතා බැලිය යුතු වෙනවා තමන් මේ දරුවට ප්‍රතිචාර දැක්වීමේදී හැසිරෙන හැටි හරිද කියල. නමුත් වැඩුණු පුද්ගලයෙක් වෙච්ච තාත්තාට තමාගේ දරුවා ප්‍රතිචාර නොදක්වා සිටීමට හේතුව හොයාගන්න තරම් දැනීමක් හෝ දැනුමක් නැහැ. බාහිරින් ඉන්න අපට ඒක තේරෙනවා. නමුත් කියලා හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි නිසා අපිටත් සිද්ධවෙන්නේ කරබාගෙන සිටීමට. ඇත්තටම කණගාටුව ඒ දරුවාගේ ඉදිරි අනාගතය ගැන, ඔහු හා සම්බන්ධ වෙන යුවතිය ගැන.
මට ඉන්නේ පුතෙක්. ඔහුගේ ප්‍රතිචාර දැක්වීම ඉතා ක්ෂණිකයි. මමත් ඔහුට ප්‍රතිචාර දැක්වීම ඉතා ඉහළයි. උත්තරයක් දෙන්න බැරි නම් මම වෙලාව ඉල්ලලා හරි ප්‍රතිචාර දක්වනවා.
ඔහුත් එහෙමයි. ඒ මම ඔහුට පුරුදු කළ විදිහ. මගේ සැමියා විවාහ වුණු මුල් කාලයේදී ප්‍රතිචාර දැක්වීමේ ලොකු දුර්වලතාවයක් පෙන්නුවා. මම ප්‍රශ්නයක් ඇහුවම උත්තර ලැබෙන්නේ ඒක නැවත නැවත කීප වරක් ඇහුවට පස්සේ. එහෙමත් නැත්නම් උත්තර ඇත්තේම නෑ. සමහර වෙලාවට පිරිසක් ඉදිරියේ මම අහන ප්‍රශ්නවලට පවා ඔහු එහෙම ප්‍රතිචාර දක්වලා තියෙනවා. එතකොට මාව ලැජ්ජාවටත් අපහසුතාවයට පත් වුණා. මටම දැනෙන්න ගත්තා මාව නොවටිනා කෙනෙක් ලෙස. ඒක මට හරිම හිසරදයක්, අසහනයක් බවට පත්වුණා. මොකද මගේ නිවසේදී මම පුරුදු වෙලා හිටියේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම්වලට.
පොඩි කාලේ සෙල්ලම් කරන්න පිට්ටනි, කැලෑවල කරක් ගැහුවත්, අම්මා නම කියලා කෑ ගහනකොට අපි "එනවා" කියලා ප්‍රතිචාර දැක්විය යුතුව තිබුණා. අපේ ගෙදර තුන්දෙනාගෙම නම් ඉවර වෙන්නෙ ' කා' යන්නෙන්. අම්මා කියන්නේ අපි කැලේ පැන්නහම අඬගහන්න පහසු වෙන්න එහෙම නම් දැම්මා කියලයි ?. ඒ අඬගහනකොටත් "ඇයි.." කියලා අහන්න තහනම්. "එනවා" කියලා ප්‍රතිචාර දක්වල ගෙදර දුවන්න ටිකක් පරක්කු වුණත් කමක් නැහැ. මොකද ඒ ප්‍රතිචාරයෙන් අම්මා දැනගන්නවා අපි අතුරු ආන්තරාවක් නැතුව ඉන්නා බවට. ඉතින් එහෙම ප්‍රතිචාර දැක්වීම් සහ ලැබීම් වලට පුරුදු වෙච්ච නිසා විවාහයෙන් පසුව මේ ප්‍රතිචාර නොදැක්වීම මට දරාගන්න අමාරු වුණා. කාරුණිකව පැහැදිලි කලත් ඒක පැවතුනේ දින කිහිපයක් විතරයි. නැවත සුපුරුදු විදිහට ප්‍රතිචාර නොදක්වා සිටීමට ඔහු පුරුදු වෙනවා.
ඇතැම්විට ඔහු ඒ ප්‍රශ්නය ගැන කල්පනා කලා වෙන්න පුළුවන්. නමුත් මා දෙයක් විමසුව හැටියෙම මට යම්කිසි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. එය මා ඔහුගෙන් බලාපොරොත්තු වෙන එක්තරා ගෞරවනීය හැසිරිමක්. ගල් ගිල්ලා සේ බලා සිටීම ප්‍රතිචාරයක් නෙමෙයි. මුල දී හිත රිදවා ගත්තත්, මම පසුව ඒ ප්‍රතිචාරයට ප්‍රතිචාර දක්වන්න පුරුදු වුණා. ඒ කොහොමද... අර මං මුලින් කිව්ව දරුවා වගේ වෙලා.
මම තෝරගත්තා විසෙන් විස නසන ක්‍රමය. ඔහු ප්‍රශ්නයක් ඇසූවිට නොසලකා හැරීම, මට ඕන වෙලාවට උත්තර දෙන්න මමත් පුරුදු වුණා. මට කරනවා වගේ පිරිසක් ඉදිරියේ පවා එහෙම කරන්න මම පුරුදු වුණා. ඒ පුරුද්ද ඔහු වෙනුවෙන් විතරක් ඇති කරගත්ත දෙයක්. අන්න එතකොට අනෙක් පාර්ශවයට තේරෙනවා තමුන් දෙන ප්‍රතිචාරය තමයි අනිත් අතට ලැබෙන්නේ සහ ඒක අශෝභනයි කියල.
අද වෙනකොට නම් තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. විසෙන් විස නසන ක්‍රමය සාර්ථකයි. දැන් ඉතා ක්ෂණික ප්‍රතිචාර ලැබෙනවා. මේක මගේ දරුවාටත් අත්විඳින්න සිද්ධ වුණා. දරුවා වෙනුවෙන් අම්මා හැටියට මම පෙනී සිටියා. ඒ තමයි මම දරුවාගෙන් ඉල්ලා සිටියා ඔයාට තාත්තගෙන් මොනවා හරි අහන්න තියෙනවා නම් එක පාරක් විතරක් අහන්න. උත්තර ලැබුණෙ නැත්නම් මා ළඟට එන්න. දරුවා තව කෙනෙක් ළඟ ඇවිටිලි කරන තත්ත්වයට පත් වෙනවාට මම කැමැති වුණේ නැහැ. මොකද වක්‍රාකාරයෙන් දවසක ඔහු ඒ වගේ කෙනෙක් බවට පත්වීමේ අවදානමක් තිබිය හැකි නිසා.
ඉතින් අද වෙනකොට මේ ප්‍රශ්නය අපේ පවුලේ නැහැ. ඒකට හේතු වුණේ මම ඔහුගේ ප්‍රතිචාර නොදැක්වීම ඉවසා දරාගෙන නොසිටීමයි. මම කරබාගෙන දුක් වෙවී හිටියා නම් අදටත් ඒ නරක ප්‍රතිචාර දැක්වීම ඒ විදිහටම තියෙන්න තිබුණා. මේක හැමෝටම ආදේශ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මම මගේ ජීවිතයේ හිත රිදෙන තැන් හදාගත්තේ ඒ ක්‍රමයටයි. ඒ කියන්නේ මට රිදෙන තැනකදී, ඒ රිදෙන අදාල දේ, අනෙක් පාර්ශවයටත් ඒ ඒ අවස්ථාවල මුහුණ දෙන්නට සැලැස්වීමෙන්.
උදාහරණයක් හැටියට මාව කීප දෙනෙක් ඉදිරිපිට අපහසුතාවයට ලක් කළා නම්, මම ඒකට ප්‍රති උපකාර හැටියට ඔහුට සමීප අය ඉදිරියේ ඔහු අපහසුතාවයට පත් කරන වැඩ කරන්න ගත්තා. මේවා කළේ පෙර අවවාද කිරීම්වලට පසුවයි. සමහර අය මේවා කරන්නේ හිතාමතා නෙවෙයි පුරුද්දට. නමුත් අපි ඒවා නිහඬව විඳ දරාගෙන ප්‍රතිචාර දැක්වුවොත්, ඉවසා දරාගෙන හිටියොත්, ඔවුන්ට ඔවුන්ගේ වැරැද්ද කවදාවත් වැරැද්දක් විදිහට දැනෙන එකක් නැහැ කියලා මම හිතුවා.
වෙන අය ඒවා හදාගත්, නිවැරදි කරගත් වෙන වෙන සාර්ථක ආකාර තියෙන්න පුළුවන්. ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කමෙන්ට් එකක් හැටියට දාල. මේක හරිම සරල ක්‍රමයක්. අපිට රිදෙනවා කියලා දනවන්න හොඳම ක්‍රමය තමයි ඔවුන්ටත් එය දැනවීම. මම මගේ දරුවා යහපත් පුරවැසියෙකු කළෙත් ඒ ක්‍රමයටයි. කාගෙ හරි හැසිරීම්, කතාබහ ගතිගුණ නිසා තමන්ට රිදෙන තැන්, අනිත් අයටත් රිදෙන බව මම මගේ දරුවාට අඟවලා තියෙනවා.
ගෙදර සුරතලයට ඇති කරන පුංචි සත්තුන්ට රිදවන, පොළොවේ ගහන කොනිත්තන ළමයි මම දැකලා තියනවා. ඒ ළමයි කිසිම දවසක අනිත් කෙනා ගැන සංවේදනාවක් ඇති යහපත් පුරවැසියන් වන්නේ නැහැ. ඔබේ දරුවා සතුන්ට හිරිහැර කරන කෙනෙක් නම්, ඒ හිරිහැරය තමන්ට වුනොත් දැනෙන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් දනවන්න. සංවේදනාවන් සහිත දරුවෙකු සමාජයට බිහි කරන්න.
කෙනෙක් අහන කියන දේකට ප්‍රතිචාර දැක්වීම කියන්නේ අපේ අවධානය ඔහුට හෝ ඇයට අපි ලබාදෙනවා කියන එකයි. අපි අවධානය ලබා දෙන්නේ අපේ ජීවිතයට වටිනා අයටයි.
අපි අතර සමහර අය ඉන්නවා පලක් නැතුව අනුන්ගේ ඕපදූප, වල්පල් කියවන. අන්න එහෙම අයට අවධානය දෙන්න ගියහම තමයි අපි අමාරුවේ වැටෙන්නේ. මොකද ඒ අවධානය දීම කොයි වෙලාවෙවත් ඉවර වෙන්නෙ නෑ. අපටවත් ඔවුන්ටවත් අදාල නැති ඕපාදූප කියන අයට නම් මගේ ප්‍රතිචාර බොහොම ඇල්මැරුණු සුළුයි. එහෙම අය ඈත් වුණා කියලා හොඳක් මිසක් අපිට ප්‍රශ්නයක් නැහැ.
ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ අපි කෙනෙක්ට දෙයක් කියනකොට හෝ අහනකොට ඔහු හෝ ඇය ඉන්නේ අපට අවධානය දිය හැකි තත්ත්වයකද කියන එක ගැන. ඒක අපේ යුතුකමක්. මම නම් බොහෝවිට අවසර ගන්නවා කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. මොකද ඔවුන් වෙනත් වැදගත් වැඩකට අවධානය යොමුකරගෙන සිටියදී අපි ගිහිල්ලා අපේ දේවල් අතහරින එක සුදුසු නැහැ. අපිට අවධානය දීමට සුදුසු මොහොතක ඔවුන් සිටිනවාදැයි අනිවාර්යෙන් විමසා බලන්න.
සැමියා රැකියාව කරලා ගෙදර ආපු හැටියෙ හුස්මක් කටක් ගන්න දෙන්නෙ නැතුව කියන්න තියෙන දේවල් එක පාරට වක්කඩ කැඩුවා වගේ අතහරින බිරින්දෑවරු මේ ගැන කල්පනා කිරීම වටිනවා. අන්න ඒ වගේ අයට තමයි ජීවම් කරපු තැඹිලි වතුර දෙන්න ඕන සැමියා ගෙදර එන වෙලාව අල්ලලා පැයක් දෙකක් කටේ තියාගෙන ඉන්න කියලා කතා නොකර. එහෙම හිටියම සෞභාග්‍යය උදා වෙනවා කිව්වහම ඕනම ගෑනු කෙනෙක් ඉඳීවී කට වහගෙන?.
මම මේ ගැන ඔයාලගෙත් ඇහුවම ඔයාලා හුඟක් කමෙන්ට් කරලා තිබුණේ මුහුණ පොතේ දක්වන likes, comments ආදී ප්‍රතිචාරවලට අදාලව නිසා මම ඒ ගැන කියලා මේ ලිපිය ඉවර කරන්නම්.
මුණු පොතේ මම ගතකරන හත්වන අවුරුද්ද වෙන්න ඕනේ මේක. මීට අවුරුදු තුනකට කලින් තමයි මම රූපලාවන්‍ය ගැන ලිපි ලියන්න පටන් ගත්තෙ. මුලින්ම මම ලිපි ලිව්වේ ladies only සමූහයේ. ඒක කාගෙවත් ආරාධනාවට කරපු දෙයක් නෙමේ. රූපලාවන්‍ය ගැන අහන ප්‍රශ්නවලදී දෙන උපදෙස් වැරදි බව දැකල ඉබේම ඒවා ගැන පැහැදිලි කරන්න ලියන්න, පෙළඹවීමක් ඇති වුණා. ඒ ලියපු තැන හදපු සහ පාලනය කරපු මිනිස්සු නරක වුනත්, අද මේ සමූහයේ පවා ඉන්න ගොඩක් ආදරණීය හිතැත්තියන් මට මුණගැහුනේ එතන ලියපු නිසයි. හනිමූන් එක ගැන විස්තර , නැන්දම්මා ලේලිලගේ ප්‍රශ්න අතරේ මගේ රූපලාවන ලිපි ඉතාමත් ජනප්‍රිය වෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි එතන ලියපු වෙන කිසිම කෙනෙක් නොකරපු විදිහට මට ලැබෙන හැම කමෙන්ට් එකකටම මම ප්‍රතිචාර දැක්වීම. අනිවාර්යෙන් මම ස්තුතිය හරි පළකරලා ප්‍රතිචාර දක්වන්න පුරුදු වුණා.
කොහේ හරි තැනක මම කමෙන්ට් එකක් දැම්මහම ඒ අදාළ තැන මට ලැබෙන ප්‍රතිචාරය ගැන මම විමසිලිමත්. අපි ප්‍රකාශ කරන්නේ අදහසක්. ඒ අදහස අනිත් අය කොහොමද බාරගත්තේ, ඒකෙන් ප්‍රයෝජනයක් වුනා ද නැද්ද කියන එක ගැන අපි දැන ගන්න කැමති වෙනවා. ඇතැම්විට ඒ දක්වන ප්‍රතිචාරය ම එකිනෙකා අතර සුහදතාවයක් ඇති වෙන්න බලපානවා. යම් කෙනෙක් අපට ප්‍රතිචාර දක්වා තිබෙනවා නම් ඒ ප්‍රතිචාරයට ගෞරව දැක්වීම ලියන අය හැටියට අපේ යුතුකමක්.
අවුරුදු කිහිපයක ඉඳලා මම මගේ පුද්ගලික ගිණුමේ උදේට සුභ පැතුමක් එක්කරනවා මගේ profile එකේ ඉන්න අයට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරලා. ලස්සන පින්තූරයක් හොයාගෙන අකුරු ටයිප් කරලා මම ඒක බොහොම කැමැත්තෙන් ආසාවෙන් කරන දෙයක්. ඒකට මුලදී ප්‍රතිචාර හැටියට ලැබුණේ comment එකයි දෙකයි. නමුත් අද වෙනකොට ඒක හැමදාම 100 ඉක්මවනවා. ඒ comment කරන හැම කෙනෙකුටම මම heart reaction එකක් දානවා. මගේ friend list එකේ ඉන්න, ඒකට දිනපතා කමෙන්ට් කරන අය මම ඒ පින්තූරය දානකල් උදේට බලන් ඉන්නවා. එයාලගේ උත්සාහය උදේ පාන්දර පළවෙනියටම මට සුභ පතන්න එකතු වෙන්න. ඒකෙන් ඔවුන්ට ලැබෙන දෙයක් නෑ මගේ ආදරය සහ අවධානය පමණයි. නමුත් ආදරය, අවධානය, ප්‍රතිචාරය කියන ඒවා අපේ ජීවිතයට කොයිතරම් වැදගත්ද සහ අපේ ජීවිතයට ඒක කොයිතරම් සතුටක් ගෙන දෙනවාද කියලා ඒ චූටි දෙයින් පවා මම තේරුම් ගත්තා.
ඒ නිසා ඔයාට කවුරුහරි ප්‍රතිචාරයක් දක්වනවානම් ඒක නොසලකා ඉන්න එපා. මම කොහේ හරි තැනක ප්‍රතිචාරයක් දක්වලා ඒක කවුරුහරි නොසලකා හැරියා නම් ඒ අදාල කෙනාට මගේ ප්‍රතිචාරයත් ඒ විදිහමයි. මේක හුඟක් අයට නැති ගතිගුණයක් නිසා ඔයා ඒ ගතිගුණ වඩවා ගත්තොත් අනිත් අය අතරේ කැපී පෙනෙන කෙනෙක් වෙන්න පුළුවන්.
බොහෝ සමූහවල මම දකිනවා ප්‍රතිචාර නෑ කියලා දොස් කියන අය. ඒ අය දිහා බැලුවහම මම තේරුම්ගත් දෙයක් තමයි එහෙම දොස් කියන අය අනිත් අයට ප්‍රතිචාර දැක්වීමේදී බොහොම දුර්වලතාවයක් දක්වන බව. ඉතින් හොඳට මතක තියාගන්න අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. අපි දෙයක් දුන්නොත් තමයි අපට ලැබෙන්නේ. දෙන දේ දෙගුණ වෙලත් ලැබෙන්න පුළුවන්.
දශක කිහිපයක් පහු කරපු මේ ජීවිතය තුළ මට නරක නපුරු ප්‍රතිචාර දක්වපු අයට මම ඒ විදියටත්, මට ආදරණීය හොඳ ප්‍රතිචාර දක්වපු අයට ඒ විදිහටත් හෝ ඊටත් වැඩියෙන් මම ප්‍රතිචාර දක්වනවා. අපිට නරකට සලකන අයට හොඳට සලකන්න ඕනෙ කියන ප්‍රතිපත්තිය මගේ නැහැ. හොඳ හෝ නරක විදිහට අපි ප්‍රතිචාර දක්වන්නේ අපි ආදරය කරන අයටයි. අපි ළඟ රඳවා තබා ගන්න අවශ්‍යතාවයක් නැති අයට බොහෝ විට අපි ප්‍රතිචාර දක්වන්නේ නෑ. හොඳට හෝ නරකට දෙකටම ඒක බලපානවා .
ආදරේ නොකර, අවධානය නොදී, ප්‍රතිචාර නොදක්වා මියයන ජීවිතයක් කුමකටද...
මිය යන මොහොතේත් කෙනෙක්ගේ සිතිවිලිවල ආදරණීයව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න.
https://www.facebook.com/groups/1976549422649790/permalink/2638055496499176/
? ️ රපුන්සල් ?️