Saturday, October 19, 2024
Follow Us
Gold Facial

ෆේශල් ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවානේ. නොයෙකුත් ෆේශල් වර්ග වලින් නොයෙකුත් වාසි අත් වෙනවා. මීට කලින් ලිපියේ අපි සාමාන්‍ය ෆේෂල් වලින් ලැබෙන ප්‍රතිඵල සහ ඒක නිවැරදිව කරගන්නේ කොහොමද, අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් මොනවාද කියලා ඉතා හොඳ සරල පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.


මේ අතරින් ජනප්‍රියම facial වර්ගයක් තමයි මේ රත්තරන් ආශ්‍රිත කරගෙන කරන ගෝල්ඩ් ෆේෂල් එක. ආදි කාලයේ ඉඳලම මිනිසා සහ රත්තරන් අතර ලොකු බැඳීමක් තියෙනවා. රත්තරං ගැන පුරාණම සාක්ෂි හමුවෙන්නේ ඊජිප්තුවේ. ඒ යුගයේ කාන්තාවන් පවා තමන්ගේ රූපලාවන්‍ය කටයුතු සඳහා රත්තරන් භාවිතා කළ බවට සාක්ෂි ලැබී තිබෙනවා.
ලෝහ වර්ග අතරින් තුනීම ලෝහයක් තමයි මේ රත්තරන්. අනෙක් ලෝහ එක්ක සංසන්දනය කරනකොට සමට කරන්න පුළුවන් බලපෑම් බොහොමයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. රත්තරන් ආලේපන හැටියට පාවිච්චි කරන්න අපිට අමාරු වුණාට අපි ආභරණ ලෙස ඒවා පාවිච්චි කරනවනේ.
ඉතින් රත්රන් රුධිර නාලවලට ලිහිල් බලපෑමක් ඇති කරන අතර රුධිරය වඩාත් නිදහසේ ගලා යාමට ඉඩ සලසා දෙන නිසා රුධිර සංසරණයේ මෙම තල්ලුව ශරීරය තුළ ඔක්සිජන් නියාමනය කර, සුව කිරීමට උපකාරී වෙන බවත් සඳහන්. ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමටත් රත්තරන් උපකාරී වන බව සඳහන් වෙනවා. සිරුරේ ස්ථාවර උෂ්ණත්වය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන නිසා රෝග පීඩා වලට එරෙහිව සටන් වැදීමේ ශක්තිය ශරීරය තුළ වැඩි දියුණු කිරීමේ ගුණය රත්තරන් වල ඇති බව මෙමඟින් පැහැදිලියි.
රත්තරන් අපිට මුඛ මාර්ගයෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඉතින් සමේ තැවරීමෙන් සහ ගැටීමට සැලැස්වීමෙන් තමයි යම් ප්‍රතිපලයක් ලඟා කර ගත හැකි වන්නේ. රත්තරන් ආභරණ පැළඳීම ශරීරයේ නොයෙකුත් ආවේග පාලනය කිරීමට හොඳ උදව්වක් බව මතයක් තිබෙනවා. ලිංගික හැඟීම් මනා ලෙස පාලනය කරන බව ආදි කාලීන මතයක්. හරි වැරැද්ද කියන්න මම දන්නේ නැහැ මම රත්තරන් ආභරණ ඉතාම අඩුවෙන් පාවිච්චි කරන කෙනෙක් නිසා.
හැබැයි මේ ගෝල්ඩ් ෆේෂල් එක ගැන නම් මගේ තියෙන්නේ හොඳ ධනාත්මක මතයක්. නමුත් මේ සඳහා ඉතාමත් උසස් තත්වයේ අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් පාවිච්චි කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් එවැනි කට්ටලයක් මම මිලදී ගන්නෙ 20,000/= කිට්ටු මුදලක් වියදම් කරලයි. ඒ නිසා ඒ ෆේෂල් එකේ මිලත් සාමාන්‍යයෙන් වැඩියි. ඉතින් අපි බලමු ඇයි මේ ගෝල්ඩ් ෆේෂල් එක වැදගත් වෙන්නෙ කියලා.
facial එකේ පියවර නම් සාමාන්‍යයි . විශේෂයකට තියෙන්නේ gold gel එක භාවිතා කරමින් ගැල්වනික් plus current එක සමට ලබා දීමයි. එමගින් එම gel එකේ ඇති ගුණ සමට හොඳින් කාවද්දවනවා. සෛල ඉක්මනින් අලුත්වැඩියා කිරීමේ ගුණය මෙම නිෂ්පාදනවල අඩංගු අමුද්‍රව්‍යවල තියෙනවා.
සමට යටින් තැන්පත් වී ඇති අපද්‍රව්‍ය වසා පද්ධතිය හරහා ඉවත් කිරීමේ හැකියාවකුත් මෙම සත්කාරයට තිබෙනවා. ඒ සඳහා විශේෂිත වූ සම්බාහන ක්‍රමයක් තිබෙනවා . නමුත් එම සම්බාහන ක්‍රමය පාවිච්චි කරනවා නම් ෆේෂල් එකේ මිල තවත් වැඩි වෙනවා .කාලයත් වැඩි වෙනවා . හැබැයි ප්‍රතිඵල හොඳයි . මොකද අපි කොයි තරම් මතුපිටින් පිරිසිදු කළත් කාලයක් තිස්සේ තැන්පත් වෙච්ච අපද්‍රව්‍ය (toxic) සමට යටින් තුනී තරලයක් විදිහට දුඹුරු පැහැයෙන් තියෙනවා. ඒවා ඉවත් කරන්නේ lymphatic draining තුළින් . එයට විශේෂිත වූ සම්බාහන ක්‍රමයක් මෙන්ම පළපුරුද්දක් ද අවශ්‍යයි. බොහෝ රූපලාවණ්‍ය ශිල්පිනියන් මෙම සම්භාහන ක්‍රමය ගැන දැනුවත් නැහැ .
මෙම සත්කාරය බොහෝ අය දැන හඳුනාගෙන තිබෙන්නේ පැහැපත් වීම සදහා කරන සත්කාරයක් හැටියට. නමුත් ඇත්ත වශයෙන්ම එය එහි අතුරු ප්‍රතිඵලයක්. ගෝල්ඩ් ෆේශල් එකක ප්‍රධානම කාර්යය සහ අරමුණ වන්නේ වියපත් වීමේ ලක්ෂණ පාලනය කිරීමයි. ඒ කියන්නේ ආදිකාලයේ සිට රත්තරන් භාවිතා කරල තියෙන්නෙ තරුණ පෙනුම රැකගන්න.
ඉතින් මේ නිෂ්පාදන වල අඩංගුව ඇත්තේ anti-ageing properties. මුහුණේ මතුවන සියුම් රේඛා, රැලි ආදිය මතුවීම පමා කිරීමට හැකියාවක් මෙම සත්කාරය මසකට වරක් කිරීමෙන් ලැබෙනවා. කුරුලෑ මතු වීම සහ කුරුලෑ පැල්ලම් සුව කිරීමේ ගුණයකුත් මෙයට තිබෙනවා ඒ වගේම හොඳ තෙතමනය රඳවන ගුණයෙන් යුක්තයි (hydrating ). රත්තරන් වල තියෙන ප්‍රතිඔක්සිකාරක සහ සමනය කිරීමේ ගුණය නිසා හිරු කිරණෙන් වෙන හානි ඉතා ඉක්මනින් සුවපත් වෙනවා. ඒ නිසා ඇති වෙන වියපත් පෙනුමත් වලකාලනවා.
කඩින් කඩ කිරීමෙන් මේ ප්‍රතිඵල අත් වන්නේ නැහැ. අවම වශයෙන් මාසෙකට සැරයක් මෙම සත්කාරය කළ යුතුයි. මනාලියක් වෙන යුවතියකට මේ සත්කාරය කිරීම අනිවාර්ය නැහැ. එහෙම අයට සත්කාර කළ යුත්තේ මුහුණුවල තිබෙන ගැටලු අනුවයි. අපේ සමේ වයස්ගත පෙනුමට බලපාන elasticity හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට මෙම ප්‍රතිකාරය හොඳ උදව්වක්. elasticity ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඉඳලා හිටලා කරල නම් මේ ප්‍රතිඵල ලැබෙයි කියල හිතන්නවත් එපා . එහෙම කලහම ලැබෙන්නේ සාමාන්‍ය ප්‍රතිඵල පමණයි. සාමාන්‍ය පැක් එකක් උරා ගැනීමට ගතවන කාලයට වඩා වේලාවක් මෙම facial pack එක මුහුණේ ගල්වා තැබිය යුතුයි.
අධික ලෙස කුරුලෑ නැති ඕනෑම සමකට මෙම සත්කාරය සුදුසු යි. මෙතෙක් කලක් මම පාවිච්චි කරන නිෂ්පාදනයට නම් කිසිම කෙනෙක් ආසාත්මිකතාවයක් දැක්වූයේ නැහැ. වෙළෙඳ පොළේ තිබෙන අනිත් නිෂ්පාදන ගැන මට ලොකු අවබෝධයක් නැහැ . නමුත් වරක් පමණක් ලංකාවේ මිලදී ගත හැකි හැම gold නිෂ්පාදන කට්ටලයක්ම පාහේ මම පාවිච්චි කරල තියෙනවා. ප්‍රතිඵල වැඩිම එක තමයි මම දැනට පාවිච්චි කරන්නේ ප්‍රතිඵල වගේම එහි මිලත් වැඩියි . පලවෙනි කමෙන්ට් එකෙන් මම ඒ නිෂ්පාදනය ගැන සඳහන් කරනවා.
ෆේෂල් සත්කාර ගැන කතා කරලා තිබියදීත්, නැවත මේ වගේ ලිපියක් ලිව්වේ ගෝල්ඩ් ෆේෂල් ගැන නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහායි. මේකෙන් පස්සෙ දැන් අහන්න එපා silver facial කොහොමද.... diamond facial කොහොමද platinum facial කොහොමද කියලා ... ඒවා ගැන මම හොයලා බලලා නෑ

(Beauty Secrets with Rapunzel)