Saturday, October 19, 2024
Follow Us
Sun  Cream

☀️ ඔයාල ගොඩක් ප්‍රශ්න යොමු කරලා තිබුනා sun cream ගැන. ඇත්තටම මේ ලිපිය සකසද්දී ඒ ප්‍රශ්න නිසා මට හරිම පහසුවක් ඇති වුණා. ස්තුතියි ඔයාලට මට ඒ විදිහට ප්‍රතිචාර දැක්වූ එක ගැන. Sun cream, sun block, sunscreen, sun lotion, sun shield , sun protection මේ මොන නමින් කිව්වත් එකම තේරුම තමයි. හරි....දැන් අපි පටන් ගමු එකින් එක ඒ ප්‍රශ්න විසඳගන්න.


1. sun cream ගාන්නේ අව්වට.....එළියට යද්දී විතරද ?
නැහැ .ඔයාල දන්නේ එහෙම වෙන්න පුළුවන් . ඒත් මම දන්නෙ උදේ ඉර පායලා බැස යන තෙක් Sun Cream එකක ආරක්ෂාව ඔබේ සමට අවශ්‍ය බවයි . හිරු කිරණ හැම තැනම . අව්වෙ විතරද UVA, UVB තියෙන්නේ ... නෑ නේ... ඔයා ගේ ඇතුලේ හිටියත් ඉරේ ආලෝකය ඔයාට ලැබෙනවා ඒ කියන්නේ හිරු කිරණ හැම වෙලාවෙම ඔයා එක්කයි රෑ වෙනකල් ම . අව්වට ගියාම ටිකක් වැඩිපුර තියෙනවා . එච්චරයි වෙනස. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා නේද .
2. Sun cream වලින් සම ආරක්ෂා වෙන්නෙ හිරු කිරණින් විතරද ?
නැහැ . sun cream එකක් පාවිච්චි කිරීමේ අමතර වාසි හැටියට විදුලි පංකා , වායු සමීකරණ සහ වතුරේ වැඩි වේලාවක් රැඳී සිටීමෙන් සමට වන හානිය අවම කරන්න sun cream ඔබට උදව් වෙනවා . මොනවද මේවායින් සමට වෙන හානිය?. අපේ සමට ස්වාභාවිකව උරුම වෙච්ච තෙතමනයක් තියෙනවා. ඒ නිසා සම බොහොම ලස්සන දිදුලන ස්වභාවයකින් පවත්ව ගන්න පුළුවන් . ඒකට අපි බොන වතුර ප්‍රමාණය සහ කන බොන දේ තමයි බලපාන්නේ. මෙන්න මේ ඇතුළතින් අපේ සමට ලැබෙන තෙතමනය සමෙන් බාහිර පරිසරයට මුදා හරින්නෙ නැතුව ආරක්ෂා කරගත යුතුයි. මෙන්න මේ තෙතමනය බාහිර පරිසරයට මුදා හැරෙන ක්‍රම තුනක් තමයි මම ඉහතින් සඳහන් කළේ .
මේක ඔයාට අත්හදා බලන්න පුලුවන් තෙත රෙද්දක් fan, AC ක්‍රියාත්මක කරලා පැය කිහිපයක් තියලා බලන්න . අව්වේ වේලෙනවට වඩා ඉක්මනට ඒක වේලිලා තියේවි. ඒකෙන් පැහැදිලියි නේද මෙන්න මේ උපකරණ නිසා සමේ තෙතමනය බාහිර පරිසරයට මුදා හැරලා සම වියළීමට ලක් වෙන බව. ඒ වගේමයි වතුරේ වැඩි වෙලා ඉඳල ඔබේ සම වතුරට නිරාවරණය උනහමත් බාහිර ආසෘති ඇති වෙලා සමේ තෙතමනය වතුරට මුසු වෙලා ඇතිවෙන තත්ත්වයත්. මෙන්න මේ හේතු නිසා තමයි ඔබ sun cream එකක ආරක්ෂාව මුළු දවස පුරාම පැතිය යුතු වන්නේ.
3. වතුරේදී භාවිතා කරන sun cream සාමාන්‍ය ඒවාට වඩා වෙනස් ද?
ඔව්. ඒවා water resistance . ඒ කියන්නෙ වතුරට ඔරොත්තු දෙනවා.... දිය වෙන්න වෙලා යනවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන sun cream වතුරේදී පාවිච්චි කළ නොහැකි වුනත් water resistance ඒවා සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ එකක් තෝරා ගනිද්දී වැඩි වේලාවක් වතුරෙ දිය නොවී තියන එකක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.
4. අපි පාවිච්චි කළ යුතු Sun Protection Factor (SPF) වල අගය කෙසේ විය යුතුද ??
හිරු කිරණින් හෝ වෙනත් දෙයකින් ඔබේ සම ආරක්ෂා කිරීමට cream එක තුළ අඩංගු කර ඇති දේවල් වලින් ලැබෙන ආරක්ෂාවේ ප්‍රමාණය තමා මේ SPF අගයෙන් හඟවන්නේ. SPF අගය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ආලේප කලාම පේනව වැඩියි ඒ වගේම ආරක්ෂාවත් වැඩියි.
ඔයාල දැකල ඇති ක්‍රිකට් ක්‍රීඩකයෝ සුදු පාට යමක් ගාගෙන ඉන්නව මූණෙ...දිවා කාලයේ සෙල්ලම් කරද්දි. ඒ SPF අගය 100 පමණ වෙන sun cream තමයි එහෙම පේන්නෙ. SPF අගය තෝරා ගනිද්දී මම හිතන්නෙ සහ මගේ අත්දැකීම නම් ලේසිම ක්‍රමය සමේ පැහැය අනුව තෝරා ගැනීමයි. ඔබ පැහැපත් කෙනෙක් නම් SPF අගය වැඩි එකක් තෝරගන්න . එතකොට foundation පාවිච්චි නොකරම මුහුණේ ඒකාකාරි බවක් පෙන්නනවා . නමුත් ඔබ පැහැයෙන් අඩු කෙනෙක් නම් SPF අගය අඩු එකක් තෝරාගන්න. එවිට සුදු පිපිච්ච ගතියක් පේන්නෙ නෑ ඒක ගෑවම. මොකද මෙලනින් ස්වාභාවිකවම ඒ සමේ වැඩිපුර තියෙන නිසා ඉබේම ආරක්ෂාව සැපයෙනවා. නමුත් පැහැපත් අයගෙ සමේ මෙලනින් අඩු නිසා වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා.
මෙහෙම තෝර ගන්න දන්නෙ නැති නිසා තමයි වැඩිය පැහපත් නැති කෙනෙක් SPF අගය වැඩි එකක් ගෑවම ඒක ගෑවා කියලා සුදු පාටට පෙනෙන්නේ. හැබැයි ඉතින් අව්වේ සෙල්ලම් කරද්දී , මුහුදු වෙරළට යද්දි වගේ නම් සුදු පාට පිපිලා වගේ පෙනුනට ප්‍රශ්නයක් නැත්නම් SPF අගය වැඩි එකක් ගාන එක හොඳයි.
5. Sun cream පාවිච්චි කළ යුත්තේ සමේ ස්වභාවය අනුව ද?
අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි මගේ අත්දැකීම කියනවා නම් ඔබ sun cream එකක් තෝරා ගැනීමේදී අපේ රටේ දේශගුණය එක්ක ඒක සසඳන්න වෙනවා. මම හිතන්නේ වියළි සම හැර සාමාන්‍ය සහ තෙල් සහිත සමක් ඔබට ඇත්නම් වඩා සුදුසුයි oil free, non oily එකකට යන එක. වියලි සමට නම් තෙල් සහිත එකක් කමක් නෑ. එහෙම තෝරාගත්තෙ නැති උනාම තමා අව්වට ගිය හැටියෙම දාඩිය දාල වැක්කෙරෙන්න පටන් ගන්නෙ. සංවේදී සමක් නම් sensitive skin වලට තියෙන එකක් පාවිච්චි කළ යුතුයි. කුඩා දරුවන්ට සුදුසු වන්නේ මේ ලේබලය යටතේ ඇති ඒවායි. ඇතැම් නිෂ්පාදන නාම වලින් දරුවන් සඳහාම නිපදවන sun cream තිබෙනවා. නොගැළපෙන sun cream එකකින් නොගැළපෙන ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්. වඩා සුදුසුයි පළපුරුදු dermatologist කෙනෙක්ගෙන් උපදෙස් ගැනීම sun cream තෝරා ගැනීමෙදි.
6. Sun cream සමග වෙනත් ආලේපන පාවිච්චි කළ නො හැකි ද ?
හැකියි. ඔබ sun cream පාවිච්චි කරන්නේ බාහිර උපද්‍රවයකින් ආරක්ෂා වීමට නිසා එය හැම විටම අන්තිමට ආලේප කළ යුතුයි. සාමාන්‍යයෙන් ඔබ පාවිච්චි කරන day cream එක ආලේප කරල ඒක සමට උරාගත්තට පස්සෙ තමා sun cream එක පාවිච්චි කළ යුතු. Sun cream එකත් සමට උරාගත්තට පස්සෙ තමා makeup පාවිච්චි කළ යුතු . සමහර ආලේපන සහ makeup foundation සහ powder වල SPF 15 හිරු ආවරණ අඩංගුයි. ඒක ඔබට ප්‍රමාණවත්ද කියල දැන් ඔයාලටම තීරණය කරන්න පුලුවන් සමේ පැහැය සහ යන තැන අනුව.
7. Sun cream පමණක් ආලේප කිරීම පමණක් ප්‍රමාණවත්ද ?
තෙල් සහිත සහ සාමාන්‍ය සමක් හිමි අයෙක් නම් වයසට ගිහින් නැත්නම් , වියලි සමකුත් නෙමේ නම් මම හිතන්නෙ sun cream පමණක් ආලේප කිරීම ප්‍රමාණවත් බවයි. නමුත් ඒක ඔබේ කැමැත්ත. මම කිව්වෙ මගෙ අත්දැකීමයි. Body cream වලදිත් sun cream පාවිච්චිය ඉතා සුදුසුයි. තමන්ගේ අත්... මුහුණට වඩා කලුයි කියලා අඬන කිසිම කෙනෙක් ඒ අත් වලට සන් ක්‍රීම් එකක් පාවිච්චි කරලා නැති බව මට ස්ථිරයි. ඒ වගේම මුහුණට පාවිච්චි කරන SPF අගයට වඩා වැඩි එකක් ඇඟට පාවිච්චි කළ හැකියි.
8. දේශගුණය අනුව sun cream වෙනස් විය යුතුද?.
ඔව්. දාඩිය දාන දේශගුණයක් සහිත ප්‍රදේශ වලදි non oily ඒවා වඩා සුදුසු උනත්, ශීත දේශගුණයක දි තෙල් සහිත ඒවා පාවිච්චි කිරීම සුදුසුයි. පිටරට ඉන්න අය නම් winter එකේදිත් sun cream පාවිච්චි කළ යුතුයි. නැත්නම් සම වියලෙනවා.
9. එලියට යාමට කොපමණ වේලාවකට කලින් ආලේප කළ යුතුද, එයින් ලැබෙන ආරක්ෂාව කොපමණ වේලා ලැබෙනවාද?
මෙය නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස් වෙනවා . මේ ගත කළ යුතු වේලාව ඔබ පාවිච්චි කරන ආලේපන ඇසුරුමේ සඳහන් වෙනවා. සාමාන්‍ය කාලය මිනිත්තු විස්සයි. Cream එකෙන් ලැබෙන ආරක්ෂාව පැය කිහිපයයි රඳා පවතින්නෙ. එය අලුත් කළ යුතු කාල පරාසයත් නිශ්පාදනයෙන් නිශ්පාදනයට වෙනස් නිසා ඇසුරුමේ සඳහන් උපදෙස් පිළිපදින්න.
10. ,හොඳ sun cream brand එකක් කියන්නකෝ....????
වැදගත් ප්‍රශ්නයක් ?? ඒත් මම අති පණ්ඩිත උත්තර ලබා දෙන ප්‍රශ්නයක්. මේ හොඳ කියන වචනය හරිම සාපේක්ෂයි. මට හොඳ එක ඔයාට හොඳ නෑ . අපි දෙන්නටම හොඳ නැති එකක් තව කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. මම රූපලාවන්‍ය ශිල්පිනියක් වුණාට brands ගැන තියෙන දැනුම බොහෝම අල්පයි . මම දන්නෙ මම පාවිච්චි කරන එක හොඳයි කියල විතරයි. ගොඩක් නිෂ්පාදන අත් හදා බලලා හරි ගියේ නැති නිසා සම හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උදව් අරගෙන තමයි මට හරියන එකක් තෝර ගත්තෙ. ඒක පවා තව කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන් බව මතක තියාගන්න. මේ ප්‍රශ්නය අහපු අයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්.
***ඇත්තටම මම පාවිච්චි කරන එක හැර brand ගැන මම දන්නෙ නෑ... මම උනත් දෙයක් තෝරගන්නෙ පාවිච්චි කරල බලල අත්දැකීමෙන්මයි. ඒ නිසා හොඳයි කියලා සම්මත එකකින් සමට ගැලපෙන එකක් අරන් පාවිච්චි කරල බලල හරි නැත්නම් වෙනත් brand එකකට යන එක තමා හොඳ *** මම පාවිච්චි කරන එක පලවෙනි comment එකේ සඳහන්
☀️ sun cream කියන්නේ ආරක්ෂාවට ගාන දෙයක්. ඇතැම් නිෂ්පාදන වල ඒකට පැහැපත් කාරක සහ තෙතමනය රදවන සංයෝගත් අඩංගු කරල හදනවා. ඒවා ගාලම බලල තමා ප්‍රතිඵල දැනගන්න පුලුවන් වෙන්නෙ. තමන්ගෙ නිශ්පාදන විකුණගන්න නිශ්පාදකයො නොයෙකුත් උපක්‍රම යොදනවා. ඒවා ඔබට ගැලපෙන විදිහට තෝරගන්න තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි.
☀️ sun cream එකක් ගෑවා කියලා කියන්නේ ඔබට අව්වෙ යන්න බලපත්‍රයක් ලැබුණා කියම එක නම් නෙමෙයි . අපේ රටේ තීයෙන අව්වේ හැටියට sun cream එකකින් ලැබෙන ආරක්ෂාව කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මුකුත්ම ආරක්ෂාකාරී පියවරක් නොගෙන ඉන්නවට වඩා sun cream එකක් ආලේප කිරීම වඩා උචිතයි මිසක් ඒකෙන් ඔබේ සම සම්පූර්ණයෙන් ආරක්ෂා වෙන්නේ නැති බව තරයේ මතක තබා ගත යුතුයි. ඒ නිසා.....
?පුළුවන් තරම් අව්වෙ යන එක මග
හරින්න.
?හැකි හැම විටම සෙවණක් සොයා ගන්න
?අව්වේ යන සෑම විට ම හිරු එළියේ ඇති
අහිතකර කිරණ උරාගන්නා පාට සහිත
කපු මිශ්‍ර ඇඳුම් ඇඳීමට වගබලා ගන්න .
(Black ,blue,red cotton fabric )
?හොඳ .....තත්ත්වයෙන් උසස් අව් කණ්ණාඩි
පළඳින්න.
? මුහුණ හිරු එළියෙන් ආවරණය වන
තොප්පි අඳින්න.
? හැකි හැම විටම කුඩයක් පාවිච්චි කරන්න
☀️නිවැරදි ලෙස හිරු කිරණින් ආරක්ෂා වුණා නම් ඔබට සමේ ඇතිවන සංකූලතා ගොඩක් මගහැර ගන්න පුළුවන් . ඒ අතර හිරු නිසා ඇතිවන අඳුරු ලප(pigmentation, melasma ) , සම පිලිස්සීමට ලක් වීම, සම අවපැහැයට ලක් වීම , සමේ පිලිකා ආදි දේවල් වලින් වැළකෙන්න පුළුවන්. Sun burns හොඳ වෙන්න කල් ගත වෙනවා. මාස 3ක් පමණ යනවා.
☀️මේ ලිපිය සකසද්දී පොතේ දැනුමට වඩා මම මගේ වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් තමයි ප්‍රයෝජනයට ගත්තේ . මේක කියවන කවුරු හරි රූපලාවන්‍ය ශිල්පිනියකට තමන් ඉගෙන ගත් දේ මීට වඩා වෙනස් කියලා හිතෙන්න පුළුවන්. මම හිතන්නෙ දැනුම කියන දේට අත්දැකීම් කියන දේ එකතු වුණාම තමයි සම්පූර්ණ වෙන්නෙ.
☀️මම මේ ලිපි පෙළ ලියන්න අරන් දැන් දැන් මාස ගණනක් වෙනවා . ලියන්න ගත්ත දවසේ ඉඳන් අද දක්වා කිසිම රූපලාවණ්‍ය ශිල්පිනියක් මට දොස් කිව්වේ නැහැ.ඔවුන් නිහතමානීව හැම විටම මට සතුට ප්‍රකාශ කලා.... ස්තුති කලා. මට ප්‍රශ්න ඇති වුණේ ම රූපලාවන්‍ය ගැන මෙලෝ හසරක් නොදන්න cream තොගයක් මූණෙ උලාගෙන දගලන, කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝටම ගිලින පෙති නියම කරන, මගේ ලිපියක් කියවලා තේරුම් ගන්න තරම් මොළයක් නැති නෝනලාගෙන්මයි. දැන්නම් ඔප්ෂන් එක හරි සරලයි මගේ ලිපියක්වත් ඔවුන්ගේ ඇස නොගැටෙන්න මම වග බලා ගන්නේ සකබර්ග් උන්නැහේ දීල තියෙන block option එක පාවිච්චි කරල ???

(Beauty Secrets with Rapunzel)