Saturday, October 19, 2024
Follow Us
Myths about menstrual cycle

ඔසප් වීම සම්බන්ධව මිත්‍යා මත ගැන තියෙන ප්‍රශ්න අහන්න කිවුවම ඔයාල මගෙන් අහල තිබුනේ ගොඩාක්ම වෛද්‍ය විද්‍යාත්මක කරුණු. ඒවට උත්තර දෙන්න නම් මම gynecologist කෙනෙක් වෙන්න ඕන. නමුත් මම උත්සාහ කරන්නම් එහෙම කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හරි ඒ ප්‍රශ්නවලට උත්තර ඔයාලට ලබල දෙන්න.


මේ මාතෘකාව ගැන ගොඩක් කරුණු කතා කරන්න තියෙන නිසා මම අද එක කාරණාවක් ගැන ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ තමයි period දවස් වලට නාන එක හිතකරද නැද්ද කියන කාරණාව පිළිබඳව.
මේක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ අපේ ශරීරය කියන්නේ මහ අමුතු දෙයක් නොවේ. ශරීරය හැදිලා තියෙන්නේ ලේ මස් ඇට නහර වලින්. ඒකට විඤ්ඤාණයක් එකතු වෙලා අපි ජීවත් වෙනව. ඒක අපිට වගේම අනිත් හැමෝටම තියෙනවනේ. හුස්ම ගන්න පුළුවන්කම තියෙන තාක් කල් මේක වැඩ කරාවි. ඉන් එහා දෙයක් මේ ශරීරයට නෑ කියලා හිතුවම ජීවත් වෙන්නත්, මැරෙන්නත් හරිම පහසුයි. එතකොට ඔය මිත්‍යා මත කියන ඒවා ඔලුවට එන්නෙම නෑ.
මාසික ඔසප් වීම කියන්නේ ගැහැනුකම. මොකක්දෝ හේතුවකට මම මගේ ඔසප් වීමට එදා ඉඳලාම කැමතියි. ගැහැනියක වීමේ ආශිර්වාදය රැඳී තිබෙන්නේ එහියි. එය නැත්නම් ඔබ ගැහැණියක් නොවෙයි. ගැහැණු කමේ කිසිම ඓශ්චර්යයක් ඔබට විඳින්න ලැබෙන්නේ නැහැ මේ මාසික ඔසප්වීම නැත්නම්. මම දැකලා තියනවා, අහල තියෙනවා ගැහැණු ආත්මයක් ලැබීම ගැන දුක්වෙන ගැහැණු ගැන. මටම පුදුමයි එහෙම ගෑනු ඉන්නවා නේද කියන එක ගැනත්. එදා ඉඳන් අද දක්වාත්, ලබන ආත්මයක් තියෙනවා නම් එහිදීත් මම ප්‍රාර්ථනා කරන එකම දෙය මේ ගැහැණු කමයි. ගැහැනියක ලෙස මම ලබන තෘප්තිය සතුට මම හිතන්නේ නැහැ මම පිරිමි කෙනෙක් වෙලා ලබන්න පුළුවන් වෙයි කියලා.
ඉතින් ඒ නිසා මම මගේ ගැහැනුකමට ආදරෙයි. ඒ කියන්නේ මම මගේ ඔසප් වීමට ආදරෙයි. කවදාවත් ඒක වදයක් හැටියට මට දැනුනේ නැහැ. ඒක මට වදයක් වුණේ ඒක අක්‍රමවත් වුනොත් තමයි. අක්‍රමවත් වෙන්නෙත් අපේම නොසැලකිලිමත් කම නිසා බව හොඳින් මතක තියාගන්න. මම ඒ ගැන වෙනමම ලිපියක කතා කරන්නම්.
ඒ වගේම හොඳින් මතක තියාගන්න ඔසප් වීම කියන්නේ ඕනෑම කෙනෙකුට ආවේනික හැසිරීම් රටා තියෙන දෙයක්. ඔයාගෙයි මගෙයි කවදාවත් ඒක සමාන වෙන්නේ නෑ. මට දවස් 28න් එන එක ඔයාට දවස් 26 එන්න පුළුවන්. තවත් සමහර අයට දවස් 30 වෙන්න පුළුවන් සමහර අයට ඊට වැඩි වෙන්න පුළුවන් හැබැයි මේ රටාව වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් නොවී දීර්ඝ කාලයක් තිබීම හොඳයි දෝලනය වෙන චක්‍රයක් තිබීම හොඳ නෑ.
මාසෙ පළවෙනිදාවක මට පීරියඩ්ස් ආවොත් මම දන්නවා 28 වැනිදාට කලින් මට නැවත එය හැදෙන බව. ඒ තමයි මගේ චක්‍රය. ඒක තව කෙනෙකුට එහෙම වෙන්නේ නෑ සහ රුධිරය පිටවීම, වේදනාව ආදී බොහෝ දේවල් තම තමන්ට ආවේණිකයි. ඉතින් ගැහැනුකම ආශිර්වාදයක් හැටියට සලකන මම ඔයාලටත් යෝජනා කරනවා ඔසප් වීම කියන එක ආශිර්වාදයක්.. ඒක තමයි ගැහැණුකම. ඔබ ඔබේ ගැහැණු කමට ආදරේ කරන්න, ගරු කරන්න. හොඳින් බලාගන්න.
ශාරීරික පිරිසිදුකම ගැන මම සෑහෙන්න හිතෙන කෙනෙක් බව මේ සමුහයේ ලිපි කියවන ඔබ හොඳින් දන්නවා. මගේ ඇඟේ ගඳක් තියනවනම් ඒක ඉස්සෙල්ලාම දැනෙන්නෙ මට. මොකද මගේ ඇඟේ ගඳ ඇඟට වගේම මටත් හුරු නැහැ. ඉකිලි, කිහිලි, මුඛය, පියයුරු මැද, නාභිය ඉතාමත් සුවඳවත්ව, පිරිසිදුව තියාගන්න තමයි මම හැමවිටම උත්සාහ කරන්නේ. එය මට ලොකු ආත්ම තෘප්තියක් වගේම ආත්ම විශ්වාසයක් දනවන කාරණාවක්.
යට ඇඳුම් ගැන පවා මම ඉතාමත් සැලකිලිමත්. සාමාන්‍යයෙන් උඩ ඇඳුම් වලට වඩා මම යට ඇඳුම් වලට වියදම් කරනවා. ඒවා හැම විටම උසස් තත්වයේ ඒවා බවට මම වග බලා ගන්නවා. යුරෝපීය කාන්තාවන් නම් යට ඇඳුම් ගැන හරිම සැලකිලිමත් වෙන්නේ ඒවා කොයි වෙලාවේ ගලවන්න සිද්ධවෙයි දැයි ඔවුන්ට අනාවැකි කීමට නොහැකි නිසා.?. අපේ රටේ තාම එහෙම සංස්කෘතියක් නැති උනත් එහෙම හිතලා හරි යට ඇදුම් හොඳට පිරිසිදුවට ලස්සනට අඳින්න පුරුදු වෙන එක ගැහැණු කෙනෙකුට හරිම ආශිර්වාදයක් ගෙන දෙන දෙයක්.
ඉතින් ඔසප් වීම තිබෙන දවස් වල නාන්න හොඳ නැද්ද කියන ප්‍රශ්නය තමයි ගොඩක් අයට තිබුණේ. හුඟක් අය කියල තිබ්බා නෑවම තමන්ට රුධිරය පිටවීම අඩු වෙන බව හෝ නවතින බව. සීතල පළාත් වලදී මේක වෙන්න පුළුවන්, සීතල වතුර නෑවම මේක වෙන්න පුළුවන්, ඒ වතුරේ තියෙන සීතල, ලේ ගමනාගමනය මන්දගාමී කරන නිසා. එතකොට ඔයාලට පුලුවන් උනු වතුර පාවිච්චි කරන්න. නොනා ඉන්නවට වඩා වතුර ටිකක් රත් කරල නාගත්තහම ඇඟටයි හිතටයි දෙකටම සනීපයි. රුධිර වහනය වැඩි අය ඇල්වතුරෙන් නාන එක හොඳයි.
periods දවස්වලදි ගඟක, ඇලක, දොලක බැහැලා නෑවම තාවකාලිකව රුධිරය පිටවීම නවතින්න පුළුවන්. පිහිනුම් තටාකයකට බැස්සහම මේක වෙන්න පුළුවන්. ඒ වතුරේ තිබෙන පීඩනය ශරීරයට දැනෙන නිසා. මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ තාවකාලිකව රුධිරය පිටවීමේ අඩාලතාවයක් විතරයි. ඒ රුධිරයේ වෙන කොහෙවත් ගිහිල්ලා කැරකිලා නවතින්නේ නැහැ. එළියට එන්න තියෙනවා නම් ඒක කොයි වෙලාවේ හරි එනවා.
අනික ඔසප් ඔසප්වීමේදී පිටවන රුධිරය අඩු වෙන තරමට තමයි හොඳ. බොහෝ කාන්තාවන්ට තිබෙන රක්තහීනතාවයට ප්‍රධානම හේතුව තමයි ඔසප් සමයේදී අධික ලෙස රුධිරය පිටවීම. මෙය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. සාමාන්‍යයෙන් අධික රුධිර වහනයක් තිබෙන්නේ පළවෙනි දවස් දෙකේ පමණයි. එහිදීත් අපි නොදැනුවත්වම ඕනෑවටත් වඩා රුධිරය පිට වෙන්න පුළුවන්. ඒ නිසා කාන්තාවක් අධික රුධිර වහනයක් තිබෙනවා නම් විටින් විට ලේ පරීක්ෂණයක් කරගන්න එක හොඳයි, රක්තහීනතාව මැන ගැනීම සඳහා. එහෙම වුනොත් අධික රුධිර වහනය නැවැත්වීම සඳහා ඔබට ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. ඒකට gynecologist කෙනෙක් මුණගැහෙන්න වෙනවා.
ඔසප් දිනවල නෑමෙන් ගර්භාෂයේ ගෙඩි හට ගැනීම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා නාන අයට වගේම නොනාන අයටත් තියෙනවා. ඔසප් සමයේ නෑම නිසා සිද්ධවෙන දේවල් ඉතාමත් හොඳ අතටයි සිද්ධවෙන්නේ. ඇඟ හෝදනවාට වඩා ශරීරය හිසේ සිට සෝදා ගැනීම නිසා ඇතිවන මානසික සැහැල්ලුව එක්ක තමන් පිරිසිදුයි කියන හැඟීම, ඒ වගේම හෝමෝන වල බලපෑම නිසා ඇතිවන මානසික ආතතියට සහනය ආදී නොයෙක් දේවල් මේ ඔසප් සමයේ ස්නානය තුළින් ඔබට ලබා ගැනීමට හැකි වෙනවා. අනික ඉතින් ඇඟ හෝදනවා නේ ඔයාලා .ඇයි ඔලුව හෝදන්න බැරි ? ඔලුව කොහේවත් අහවල් එක කොහේවත් ....
ඒ වගේම තමයි ඔබ පාවිච්චි කරන්නේ sanitary pads නම් ඒවා රුධිරය උරා ගත් පසු හැකි ඉක්මනින් මාරු කළ යුතුයි. පැය කිහිපයක් එසේ ඇඳගෙන ඉන්න එකක් එක්ක ඔයා තැනකට ගියොත් අනිත් අයට ඔයාගෙ ඇඟ තුළින් හමන්නේ කුණුවෙච්ච මීයෙකුගේ ගඳයි. ඒක ඔයාට දැනෙන්නේ නැති වුණාට අනිත් අයට දැනෙන බව හොඳින් මතක තියාගන්න. සමහර පේජ්වල මම දැකලා තියෙනවා හරියට අපහාස කරනවා මේ ඔසප් සමයේ තමන්ගේ පෙම්වතිය ළඟින් ආපු ගඳවල් ගැන. මට එතකොට හිතෙනවා ඒ පිරිමි කෙනා කොයිතරම් අපිරිසිදු ගැහැණු කෙනෙක් එක්ක ද ඉන්න ඇත්තෙ කියලා ??
රූපලාවන්‍යාගාරයක් කරන මට ඒ අත්දැකීම ඉතා බහුලයි. දොර ඇරගෙන එනකොටම මට කියන්න පුළුවන් මෙයාට අද පීරියඩ්ස් ඒ වගේම එයා ඒ පෑඩ් එක ගොඩ වෙලාවකින් මාරු කරලා නැති බව සහ එයා නාන කෙනෙක්ද නොනාන කෙනෙක් ද කියලාත්. එහෙම ගඳක් එක්ක ආවහම අපි ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. අපි කැමතියි ඒ කෙනා ඉතා ඉක්මනින් අපෙන් ඉවත් වෙනවා නම්. ඉතින් ඔයා ගැන සුවඳවත් මතකයක් යන තැනක ඉතිරි කරන්න වග බලාගන්න.
බාහිරින් ඇඟට දාන වතුරකට ඔයාගේ ගර්භාෂය ඇතුල දේවල් වලට ඔය තරම් බලපෑමක් එල්ල කරන්න බැහැ. එහෙම නම් නවතින්න ඕනේ ඔයාගේ හමට යටින් තියන නහරවල් වල ලේ ගමනාගමනය නෙමේද? මිත්‍යා විස්වාස අයින් කරලා ඔයාගේ ඔසප් සමය සතුටින් ගෙවන්න. ගැහැණු කමට ස්තුතිවන්ත වෙන්න. ගැහැනුකම ආශිර්වාදයක්, ඒ ආශිර්වාදය තිබෙන්නේ ඔබගේ මාසික ඔසප් වීම තුළයි. එයට ගරු කරන්න.

(Beauty Secrets with Rapunzel)