Saturday, October 19, 2024
Follow Us
දෑත් වියළිද? මෙන්න පිළියම්

සීතලට දෑත් වියළීම සාමාන්‍ය අත්දැකීමක්. ඒත් නිතර දෑත් සේදීමට සිදුවන නිසා වෙනදාටත් වඩා දෑත් වියළි බවට පත් වෙන්න පුළුවන්. මොනතරම් දෑත් වේළුණත් ඒ යහපත් සෞඛ්‍ය පුරුද්ද නම් දිගටම පවත්වා ගැනීම වැදගත්. වියළි බවෙන් මිදීම සඳහා කෘත්‍රිම ආලේපන මිලදී ගන්න ඕන නැහැ. බලන්න මේ ස්වාභාවික අත් බේත් කෙතරම් හොඳින් ඔබේ දෑත් තෙත්ව තබනවාද කියා.

අලිගැට පේර මේදපිරි පලතුරක්. අලිගැට පේර භාගයක් ගෙන පල්පයක් වන තුරු පොඩිකර ගන්න. ඊට ඔලිව් තෙල් මේස හැන්දක් සහ සීනි කෝප්ප භාගයක් මිශ්‍ර කරන්න. මිශ්‍රණයෙන් ටිකෙන් ටික ගෙන දෑත්වල ගල්වන්න. දෑතේ තෙතමනය සුරැකෙනවා වාගේම මියගිය සෛල ඉවත් කිරීමට ද මෙය හොඳ ක්‍රමයක්.

මී පැණි සහ යෝගට් මිශ්‍රකර දෑත්වල ගල්වන්න. මෙය කදිම මොයිස්චර්රයිසයක්.

ඔලිව් තෙල් මොයිස්චර්රයිසයක් ලෙස ක්‍රියා කරනවා. සීනි පැරැණි සම් කොටස් ඉවත්කර නැවුම් බවක් ලබා දෙනවා.

කෝමාරිකා වියළි අත්පාවලට සොබා දමෙන් නිමැවුණු කදිම මොයිස්චර්රයිසයක්. කෝමාරිකා මදවලට විටමින් ඊ තෙල් බින්දු කිහිපයක් එක් කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්.

ඉදුණු කෙසෙල් සමේ වියළි බවට විසඳුමක්. ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩිකර ඊට මීපැණි, ඔලිව් තෙල් මේස හැන්ද බැගින් එක්කර හොඳින් මිශ්‍රකරන්න. දෑත්වලත් දෙපාවලත් මේ මිශ්‍රණය ගල්වා මිනිත්තු 5 - 7ක් තබන්න. ඉන්පසු ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න.

දෑත්වල විජලනය වැළැක්වීමට හොඳින් ජලය පානය කිරීම ද වැදගත්.

අන්තර්ජාලයෙනි