Wednesday, December 25, 2024
Follow Us
නොදනිමි කාගේ දොසා

“අද මනමේ පෙන්නනවලු නේ මචන්” ඒ සුධීරය. සුධීරත් මාත් පේරාදෙණිය කෘෂි පිඨයේ අවසන් වසෙර් ශිෂ්‍යයෝ වෙමු. දැන් අපගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතින්හි නිරත වන අප බොහෝ සේ කාර්ය බහුල වි සිටිනුයේ තවත් සති තුනකින් ව්‍යාපෘතිය භාරදී අවසන් කළ යුතු නිසාවෙනි.


“ ආ ඔව් මචන්... මම දැක්කා පෝස්ටරේ....රිසර්ච් වැඩත් අස්සෙ බලන්න යන්න පුළුවනෑ මචන්...”
“ මචන්... හැමදාම වැඩ කරලම හරියන්නෙ නෑනෙ බන්... ඉඳලා හිටලා හරි ආතල් එකක් ගන්න ඕනනෙ... වෙනසකටත් එක්ක අද යමන් මනමේ බලන්න... “
“ අනේ මන්දා බන්.... හෙට ඩේටා ඇනලයිස් කරලා ඉවර කරන්න කියලා කිව්වා බන් සෙට් එකටම”
“ හරි.. උඹට ඩේටා ඇනලයිසිස් නෙ ඕන... මොකෙන්ද SPSS ද SAS ද... අරූ ජිමා ඇනලයිස් කරල දෙන්නම් කිව්වා... අනික බන් උඹ පහු ගිය ටිකේම මහන්සි වෙනවා මම බලාගෙන.. අපි නිදා ගත්තමත් උඹ වැඩ... ටිකට් එක මං ගානේ යමන්”
“ අනේ බන් පනහක් නැතුව නෙමේ බන් යන්නේ නැත්තෙ.. උඹ දන්නවනෙ.....”
“ හරි හරි බන්.... ඒවා ඔක්කොම අමතක වෙන්නත් එක්ක යමන්”
“ හා හරි එහෙනම් යමන් .... කීයටද යන්නෙ....
“ඊයෙ වෙලකම් දුන්නු උනුත් ඉන්න නිසා හතර හමාරටවත් යන්න වෙයි..”
“ අඩෝ දැන්ම ලෑස්ති වෙන්න වෙයි.... හිටපන් වොෂ් එකක් දාගෙන එන්නම්”
“ හා උඹ වොෂ් එකක් දාගෙන වරෙන් මාත් පොත අත්සන් කරන්න ඕන” කියමින් සුධීරයා සිය ජංගම දුරකතනය අතට ගත්තේය.
අපි ජයතිලක ශාලවෙන් හතරට පමණ පිටත්වූයේ තේ පාටට ඇති සීනි රසක් පමණක් ඇති ජයතිලකෙ කැන්ටිමේ තේ එකක්ද බීමෙනි. ඒ තේ එකද ජීවිතය හා සමානය. බොහෝ මිනිසුන් පාට පමණක් පෙන්වන අය බැවින් එය සත්‍යයක් හා සමානය. අප මිනිසුන් කියා නොමිනිසුන් ඇසුරු කරමු. සරසවියේදී අපි තේ කියා හිතාගෙන පානයක් බොන්නෙමු. මට තේ බොන විටදි මේ සියල්ලම ඔලුවට ආවේ මන්ද යන්න කල්පනා කරන අතරම සුධිර “ යමන් මචන්....” කීවෙන් මම ආවෙමි.
එතැනින් පත්තර කියවන ශාලාව පසු කරමින් පිටුපස දොරෙන් ඉවතට ගිය අප අරුණාචලම් හෝල එක ඉදිරියන් අල්විස් පොකුණට ආවෙමු. අමිහිරි මතක හිතේ හිර කරගෙන සුපුරුදු පරිදි ලෝකයට අලංකාරවත් බව විදහා දක්වමින් අල්විස් පොකුණ සුපුරුදු පරිදි විරාජමානව තිබෙනු දක්නට ලැබිණි. මෑතකදී ඇතිවූ ප්‍රසිද්ධ වෙද සිසු සටනට සිය නොමඳ දායකත්වය දුන් එය කලු කොඩි වලින් වසාගෙන සිටීම එහි ශෝබමාන බවට යම් බාධාවක් එල්ල කරතියි මට සිතිනි. සුධීරට මේ කිසිවක් පෙනෙන්නේද යන්න මට තේරුණේ නැත.
එලෙස යන අතරතුර ඈතින් පෙනෙන ක්‍රීඩා පිටියත්, ඉන් එහා රගර් පිටියේ කෙලවරත් දුටිමි. යම් බරක් හදවත මට පැටවී ඇති සෙයක් දැනුනෙන් මම යළිත් පාර දෙස බැලීමි. මා ඉදිරියෙන් ගජසිංහ පාලම දිස්වේ. එහි මා යන අතට විරුද්ධ පැත්තේ යුවලක් දෑතින් අල්ලාගෙන ආදරයෙන් යනු මට පෙනිනි. ඔවුන් දෙදෙනා ගජසිංහ පාලම අසලින් ක්‍රීඩා පිටියට යන මාර්ගයට හැරුණේ මගේ හිතේ අමතක කළ යුතු මතකය නැවත මතක් කරමිනි.
මෙලෙස සුධීරත් මාත් යමින් සිටින අතර තුර පේරාදෙණියේ පාම් ගස් පෙළත් කලාපීඨයත් පසු කරමින් පොළොන්නරුවට පැමිණියේ අපි නොදැනුවත්වමය. පොළොන්නරුවේ සනාථන මැදුර පැත්තේ බංකුව මට කිසිදින අමතක නොවේ. එය අදද එලෙසම තිබෙනු මම දිටිමි. නමුත් වෙනත් යුවලක් එහි සිටිනු මට දැක ගත හැකි විය. ඒ ඇයද? විය නොහැක. ඇය එසේ සිටින්නේ නැති බව මට විශ්වානය. නමුත් ඇය අඳින මල් ගවුම වැනි මල් ගවුමක් හැඳ තවත් තරුණයෙකු සමග සිටියේ ඇයමද. මම මදක් නතර වීමි.
“ මොකෝ බන්.. මොකෝ උඹට වෙලා තියෙන්නෙ... අරකි ඉඳි කියලද බැලුවේ.... උඹටත් පිස්සුනෙ බන්... ගිය එකා ගියා.... මොකටද තව බලන්නෙ. මෙන්න මෙහෙ වරෙන් යන්න”
සුධීර මාව ඇදගෙන වල පැත්තට ගියේ අධ්‍යාපන අධ්‍යයන අංශය ඉදිරිපිටින් පාර මාරුවීගෙනය. ඒ ඔස්සේ පෙම් මඟත් දිස් වූ මට මතක් වූයේ භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ “ගඟ ළඟ පෙම් මඟ පාළු වෙලා...” යන ගීතයයි. මෙවන් දෑ මතකයට එමින් මා වලට ඇතුල් වූයේ නොදැනුවත්වමය. වලෙන් බාගයක් දැන්ම පිරී ගොසිනි. මමත් සුධීරත් පහළ සිට පේලි හය හතක් උඩින් ඇති තැනක වාඩි වූ අතර නාට්‍යය ඇරඹෙන තෙක් සිටියේ ඉක්මනින් මෙතනින් පිටව යන්නටය.
“ට්‍රීං..............”
පළමු බෙල් නාදය ඇසුනි. ඒ අනුව නාට්‍යය ඇරඹීමට ආසන්න බව දැක්විනි. තෙවන බෙල් නාදයෙන් පසුව පොතේ ගුරු වේදිකාවේ විය.
“ඉරහඳ දෙවියනි.... අධිපති අහසේ.....
මෙ අප සැමහට දෙනූ වරම්....”
ඔහුගේ ගායනය ආරම්භ විය. මේ වේලාවේ වල තුළ අල්පෙනෙත්තක් වැටුනත් ශබ්දය ඇසෙන ගානට නිෂ්ශබ්ධය.
“වී එතෙරා.... සිප් සයුරා... ධනු ශිල්පෙද යුධයට නෙක කඩු හරඹද...
උගත්තෙමිය මම නැණයෙන් සිදු ලෙස...
යන්නට වේය දැන් කල් පැමිණා....”
මනමේ කුමරා වේදිකාවට පැමිණ ඇත. ඔහුගේ මෙම කවිය මාව අතීතයට රැගෙන ගියේය. ඇත්තය යන්නට කල් පැමිණ ඇත. මම කෘෂි පීඨයට පැමිණියේ මීට වසර 04කට පෙර වුවත් සියල්ල අද මෙන් මතකය. මුලින්ම බයිසිකලයක් හා පිටගැස්මට එන්නත් ලබාගෙන එන්න යැයි පැවසූ කැඳවීම් ලිපියත්, එය දුටු යාළුවන් විහිළු කළ සැටිත් මට තාමත් මතකය. එ් මතකය අමතක නොවන බව ඇත්තකි. එදා සිට කොපමණ කල් ගතවීද. අරගල, සංවිධාන, උත්සව කීයක් සිදු කළාද. මේ සියල්ලටම ආයුබෝවන් කීමට ඇත්තේ තව මසකටත් අඩු කාලයකි.
එක අතකින් සුධීර හොඳ වැඩක් කළේ යැයි මට සිතේ. අවසානයට හෝ නාට්‍යයක් බැලීමට රැගෙන පැමිණි නිසාවෙනි. මට ඉදිරියෙන් අපේ බැජියෙකු සිය පෙම්වතා වූ අපගේම සගය සමග තුරුළු වී මනමේ බලන්නේ, කුමරියටත් කුමරාටත් ඉදිරියේ සිදුවන දේ පිළිබඳව නොදැන විය හැකි බව මට සිතුනේ ඔවුන් එය විඳිනආකාරයෙන් මට සිතුනි.
“ එනමුත් නෑ සැනසෙන්නේ.... සිත මාගේ දැවේ ගින්නේ....
රජ සැප මට මන්ද..... කෙලෙස මෙ උසුලම්ද....”
මට අමතක කළ යුතු අතීතය මතක් වීයේ නොදැනුවත්වමය. ඒ අපගේ කණිෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම පැමිණි දිනයයි. ඇය මුලින්ම දුටුවේ එදිනය. අත් දිග බ්ලවුසයක් හා තනි කරලට ගෙතු කොණ්ඩයක් සහිතව කොමන් එකට පැමිණි ඇය සහ පිරිස මුලින්ම කොමන් එකට පැමිණියේ එදිනය. මා සිටියේ දොරටුව අසල වුවත් අප ඔවුන් දෙස බැලුවේ අපේ උන්ටත් හොරෙනි. පහතට කරගත් මුහුණින් යුතුව ඇය ඇතුල් වූයේ කොමන් එකටද හදවතටද යන්න මට සිතා ගත නොහැකි විය. කෙසේ නමුත් ඇය බියවී සිටින බව මට තේරිණි. එදා පටන් මා දකින සෑම වාරයකම හොරෙන් මා දෙස බැලුවත් ඇගේ ඇස් වල බිය රැඳී තිබුණු බව මට මතකය. ඇගේ බිය එක අතකට සාධාරණ විය හැක. මා එකල රැවුල වවාගෙන යකෙක් වාගේ සිටියේ දෙවන වසරේ නිසාමය. එකල නිවසක ගිය විටක තාත්තාද මාව බාබර් සාප්පුවට යවා වහාම කොණ්ඩය රැවුල කපාගෙන එන ලෙස අණ කළ බව මතක් විය.
දිනක් ඇය මට මුණ ගැසුනේ කොමන් එකේදීය. ඇය වෙනදා මෙන්ම මගේ මුහුණ දෙස හොරෙන් බැලූ සැටි මතකය. මම සිනා වුවද, ඇය සිනා සුනේ නැත. ඇය බියවීගෙන බිම බලාගෙන සිටියාය. මෙලෙස කොමන් එකේදී කීප වරක්ම ඇය මුණ ගැසුනද, ඇය මාදෙස බැලුවේ නැත. අවසානයේ සියල්ල අවසන්ව වෙල්කම් එක දිනයේ කණිෂ්ඨ සාමාජිකයන්ට අතට අත දෙන මොහොතේ ඇය මා ඉදිරියට පැමිණියද, ඇය වෙනදා පරිදි මාගේ මුහුණ දෙස බැලුවේ නැත.
“නංගි කාඩ් එක මොකක්ද?......”
“මම 1... .......නා... ගෙවල් ......”
ඇය කටපාඩමින් කිව්වේ ඔවුන්ට උගන්නා ඇති ආකාරයටමය. ඒ කිව්වේත් බිම බලාගෙනය.
“ඇයි නංගි බය වෙලා. අද වෙල්කම්...”
මාදෙස බැලූ ඇය.. හිනාවක් පෑවද. එය හිනාවක්ද බියට පත් ඇය විසින් ආයාසයෙන් කළ හිනාවක්ද යන්න හිතාගත නොහැකි විය.වෙල්කම් එකෙන් පසුව ඇයව හමු වූයේ ෆැකල්ටිය අසල කිරිහලේදීය. ඇය එහිදීද මාදෙස හොරෙන් බැලුවේ දෙගිඩියාවෙනි. නමුත් එදින ඇයට අසුන් ගැනීමට ආසනයක් නොවූ හෙයින් මා සිටි මේසයේම අසුන් ගත්තාය.
“නංගි.. කොහොමද? වෙල්කම් එකෙන් පස්සෙ දැක්කෙත් අදනෙ...”
“ඔ...ඔව්.... අයියේ....”
“ඇයි මේ බයෙන්... දැන් වෙල්කම් ඉවරනේ...”ඇය එවිට මා දෙස බලා සිනාසුනාය.
“දුලා නෙතු පුලා.. දිසි ස්වර්ණ ලතා...
ලත් හිරු රැස් ලෙස පත්ම විකසිත සිත් මාගේ පත්වේය තෘප්ත විලසට”
මනමේ කුමරු කුමරියට කැමැත්ත ප්‍රකාශ කරයි...
“කතුන් ලොව තුලා... රසඳුන් නයනා... ලේප කරන කතුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ.. සන්තෝස වේද සිත් අසනු කුමට.....”
මේ අයුරින්ම ඇය හා මා ආදරයෙන් වෙළුනි. පසුවදා අපේ උන් මට බකට් එක දුන්නේ ඇයත් සමඟ කොමන් එකේදීය.
“සත් හට සෙත් දෙන... ලෝක දිවාකර....” අපේ නළුවා වූ ... ගේ සෙත් පැතීම අදටත් මතකය. එදා ඇය ලජ්ජාවෙන් හා සන්තෝසයෙන් මා අතින් අල්ලාගෙන සිටියාය. මාගේ හැම අවස්ථාවකදීම ඇය මා ළඟින් සිටියාය. දිනක් ක්‍රීඩාකරන විටක ආබාධයකට පත්වූ විට ඇය පැමිණ මට මවක මෙන් පිහිට වූයේ භවයෙන් භවයෙන් පතා ආ යසෝදරාව සිහිගන්වමිනි.
“රුසිරු ළඳුනි ඔබ ප්‍රේමයේනා.....”
මේ ලෙසම අප ප්‍රේම ගඟේ කිමිදුනෙමු. අපගේ ලෝකය වූයේ සනාථන මැදුර ඉදිරියේ වාහන නැවතුම් පොළ අසල ඇති ගල් බංකුවයි. අප දෙදෙනා අපගේම ලෝකයේ තනි වූයේ එහි සිටය.
“ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මෙලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ”
මනමේ කුමරු ගී ගයයි. සැබවින්ම අප ලෝකයද එලෙසට වින්දෙමු. ආලයෙන් වෙළුනු මල් ලතා අභිමුවේදී. අප ප්‍රේම ලෝකයේ තනිවීමු. විටෙක අප අත් පටලාගෙන ඇවිද ගියේ මල් ගැවසිගත් පොළොන්නරුව මධ්‍යයෙනි. සැබවින්ම ප්‍රේමාන්විත අතීතය ගීතය සමඟ මට මැවී පෙනෙන්ට විය.
“මොකද මචන්.... උඹ නම් හෙනට මේක විඳිනවා වගේ....”
මා පියවි ලෝකයට පැමිණියේ සුධීරගේ කෙඳිරීමෙනි.
“ ආ මචන් ඔව්නෙ... උඹ දන්නවනේ....”
“ඔන්න ඕක අල්ලලා දාපන් බන්.....”
“වන් මේ අරණේ....”
මනමේ කුමරියට කැළය දැක බිය දැනී ඇත. ඇයට බියක් ඇතිවූවාද කියා මට තේරුණේ නැත. එකල තෙවන වසරේ සිටි හෙයින් මාගේ ව්‍යාපෘතියක් කෙරෙහි මම අවධානය යොමු කර සිටියෙමි. අපගේ හමුවීම් සීමා වූයේ අප නොදැනුවත්මවය. එකළ තිබූ අන්තර් විශ්ව විද්‍යාල තරගාවලියත් මාගේ ව්‍යාපෘතියත් මා කාර්යබහුල පුද්ගලයෙක් බවට පත් කර තිබිණි. ඇයද කීප විටක්ම මට දුරකතන ඇමතුම් ලබා දුන්නද විටෙක ඒවාද මග හැරිනි.
දිනක් මා ඇය හමුවට යන විට ඇගේ බැජ් එකේම සගයෙක් ඇය සමග කිරි හලේ සිටිනු මට පෙණිනි. මට නිම් හිම් නැති විය. මා ඇය ළඟට ගියෙමි. ඇය විශ්මයට පත්ව මාදෙස බලාගත් විටම බලා සිටියාය. කිසිවක් නොකියූ මා ඇගේ අත වැරෙන් අල්ලා ගෙන පිටව යන්නට පිටවීමි. අල්ලා ගත් අත ඇය විසින්ම ගසා දැමුවාය.... මාත් ඇයත් බලා සිටියෙමු....
“වැද්දන් ආපසු එතියි මම නොසිතමි සොඳුර... එහෙත් ආවත් ඔබට අනතුරක් වන්ට ඉඩ නොදෙමි....නිකරුණේ සටනට යන්න අකමැති වූ නමුත් උවමනා උවහොත් ඔවුන් සමඟ සටන් කොට ඔවුන් වනසාලන්නෙමි....”
වැද්දන්ට බිය වූ කුමරිය මනමේ කුමරු විසින් සනසයි.
“අයියේ... ඇයි ඔයාට මාව බලන්න එන්න බැරි උනේ....”
ඒ හඬ මගේ කනේ රැව්පිළි රැව් දෙන්නට විය. සත්‍යයකි. ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් යාපනය බලා ගොස් සිටියදී ඇය අසනීප වී ඇත. යළි පැමිණියද ඇයව බැලීමට යාමට මට ඉඩක් නොවීය. හදිසියේ නිවසට යාමත් නිසා ඇයව බැලීමට යාමට මට ඉඩක් නොවීය. ඇයට දුරකතනයෙන් අමතා නිතර විමසුම් කළෙමි. එයින් නොනැවතුනු මා මාගේ බැජියක් ලවා ඇගේ විස්තර අසාගෙන මෙඩිකල් ෆැකල්ටියේ සිටි මාගේ මිත්‍රයෙකුගේ සහයෙන් ඇය ගැන නිතර සෙව්වෙමි.
“ඇයි මම කතා කළේ ඔයාට... ඔයා ගැන හොස්පිටල් එකේදිත් බැලෙව්වෙ”
“අයියෙ දුරින් ඉඳන් බලන එකද ආදරේ.....”.
“මම බිසී වෙලා හිටියෙ. ඔයා දන්නවනේ. ඔයා ගැන හැමදාම කෝල කරලා බැලුවෙ.....”
“ඔයාට ඕන වේලාවේ මම ඔයා එක්ක හිටියා.. අයියට ඇයි බැරි උනේ එක සැරයක් මාව බලන්න එන්න....”
“ඕන එකක් කරගන්නවා.... මම යනවා යන්න”
මම කෝපයෙන් පිටවීමි. ඇය මා යන විට මාගේ අතින් අල්ලා ගත්තාය. නමුත් එවර මම අත ගසා දමා ආ සැටි මතක් විය. ඒ අපගේ අවසන් හමුව විය.
“මාගේ අවසර නොමගෙන.... මාගේ අවසර නොමගෙන...
ආවාද තා මෙමගෙ විජිතෙටා... දෙරණ හෙලා සුන් කර තොප
ගොදුරු කරමි කැණහිළුනට”
මනමේ කුමරු හා වැද්දා සටන අරඹා ඇත. එලෙසම ඇය සමග සිට සමග හමුව ඔහු සමඟ ආරෝවක් ඇති කරගත්තේ ඇය ඉදිරිපිටය. අපේ උන් පැමිණ මාව පැත්තකට නොකරන්නට යුද්ධයෙන් කවුරු දිනන්දේ යන්න දන්නේ නැත. අප දෙදෙනාම විනය නිළධාරි අභිමුවට යොමු කළෙන් ඒ හා සම්බන්ධ කාර්යයන්ද සිදු කරගැනීමට සිදු වූ සැටි මතක් විය.
“මේ වනචරයාගේ හිස ගසා දැමීම සඳහා මාගේ කඩුව මා අතට දෙනු මැනවි සෞම්‍යයෙනි”
“දිිරියෙන් යුධ කළ ඔබ සමගින්නේ.... සෙනගින් පිහිටද නොම සොයමින්නේ... තනියෙන් සටනට සැරසියෙමින්නෙ.. මෙකගින් ඇයි ඔහු ගෙළ සිඳලන්නේ”
කුමරා හා කුමරිය වාද කරන අතරතුර වැද්දා පැන කඩුව රැගෙන මනමේ කුමරු මරා දැම්මේය.....
“මනමේ රජ.... සිය බිසව පැවසූ වදන අසා..
උනු මේ වෙනස කිම... සිත චංචලවීය විගසා..
දැන ඒ ප්‍රමාදය.. වැදි රජු මිදුනේය නොලසා
අනේ එවිපත සිදුවුනි... නොදනිමි කාගේ දොසා....”
මනමේ රජු මරණයට පත්විය. මගේ ප්‍රේමයද මරණයට පත් විය.
“මා ප්‍රිය සැමියා මරුමුව වැටුනා....”
මනමේ කුමරිය සිය ශෝක ගීතය ගායනා කරනු මට ඇසිනි. හාත්පස මීයට පිම්බා හා සමානය. රංග පීඨය වටා නෙත් යවන අතර තුර එක් කොනක මාගේ දෑස නතර විය. ඔව් ඒ ඇයයි. එදා සිටි සගයා සමග තුරුල් වී සිටිනු මම දුටුවෙමි. ඔවුන් ප්‍රේමයෙන් දෑත් පටලා ගෙනය. රාත්‍රිය වනවිට වැඩිවන සීතල නිසා ඇයට ඔහු සිය ජර්සිය පොරවනු මම දිටිමි.
“මාගෙන් කුමටා ඔබ රැක ගන්නේ.. අනදර ඔබටා කිකල කෙලෙම්දො..
සටනට ගියෙ මා හටගත් ඔබටා ප්‍රේමය හින්දා.. ප්‍රේමය හින්දා...”
“ අදහන්නට නම් හැකිදො මෙලෙසා.. ඔබ මේ කියනා රැවටිලි වදනා
නැති උනි මට දැන් අන් කිසි සරණා... මෙතැනම මරණා වෙනු නම් නියතා”
සැබවින්ම ඇයටද එසේ දැනෙන්ට ඇත. ඔහු ඇයට පිහිටක් වන්නට ඇත. පිහිට වූ ඔහුට ඇයට ඇගේ ආලය දෙන්නට ඇත. මගේ සිත හඬා වැටෙනු මට දැනිනි. නමුත් රංගපීඨයේ කෙලවරක ආදරයෙන් තුරුල් වී සිටින ඇයත් ඔහුත් දුටු මට මා අහිමි කරගත් ලෝකය නිසා ස්වයං පශ්චාත්තාපයක් ඇතිවිය.
“ ඔබ පෙම් කරනා ඔබේ කුමාරි... මටද ආදරේ කියා තිබේ...”
ගුණදාස කපුගේ මහතාගේ ගීය මතක් විය. නමුත් ආදරය වෛරයක් කළ හැකිද? මෙතරම් ආදරයෙන් සිටින එම දෙදෙන වෙන් කිරීමට මට හැකිද. එය කළ යුත්තක්ද... මෙවැනි ප්‍රශ්න රාශියක් මගේ සිතේ තෙරපෙන්නට විය. ඒ කිසිවකට මම අවධානය යොමු නොකොට නාට්‍යයට නරඹන්නට වීමි. දන්නේ නැතිවම අවසානයට පැමිණ ඇත.
“මංගලම් සුභ මංගලම්.. මංගලම් සුභ මංගලම්..
වේවා සැමටම මංගලම්... ...
ත්‍රිවිධ රත්නයේ බෙලෙන සතතා
වේවා ජයසිරි මංගලම්......”
ඇය ඔහුට තවත් තුරුල වනු මම දුටිමි...
“සුරිඳු ඝණ ඔබ රකිනු නිතිනා - වේවා ජයසරි මංගලම්”
? නාලක වේහැල්ල