Wednesday, December 25, 2024
Follow Us
හැලෝවින් ඛේදවාචකයෙන් අහිමි වුණු මිනිස්සුන්ගේ සපත්තු

වම් පැත්තේ පින්තූරයේ තියෙන්නේ මීට දින කිහිපයකට කලින් දකුණු කොරියාවේ ඉතෙවොන් දිස්ත්‍රික්කයේ සිදු වුණු හැලෝවින් ඛේදවාචකයෙන් අහිමි වුණු මිනිස්සුන්ගේ සපත්තු. අවුරුදු තුනක විරාමයකින් පස්සේ පළවෙනි පාරට පැවැත්වෙන හැලෝවින් උත්සවය සමරන්න බොහොම විනෝදයෙන් සූදානම් වුණු මිනිස්සු තමන්ගේ අවසාන ගමනට දාගෙන ගිය සපත්තු. අධික තදබදය හමුවේ පෙණහලුවල අන්තිම හුස්ම ටිකත් පිට වෙන වෙලාවේ ඔවුන්ගේ කකුල්වල තිබුණු සපත්තු. ඔවුන්ව මාරයා ගාවට එක්කගෙන ගිය ඔවුන්ගේ සපත්තු...

මේ හැම සපත්තුවක් පිටිපස්සේම තියෙන්නේ ඉතාම අවාසනාවන්ත විදිහට අහිමි වුණු ජීවිතයක මතකයක්. නමුත් මේ හැම සපත්තුවකටමත්, ඒ සපත්තු අවසාන වතාවට පැළඳගෙන හිටිය හැම ආත්මයකටමත් කොරියානු රජය විසින් දීලා තියන ගෞරවය මාව හැඟුම්බර කරවනවා. මේ සපත්තුවල අයිතිකාරයොන්ගේ පවුලේ උදවිය ඇවිත් මේ සපත්තු අරගෙන ගියත් නොගියත්, මේ සපත්තු ඇතුලු මළවුන්ගේ අනිත් සියලු බඩු බාහිරාදිය සෝල් නුවර ජිම් එකක පෙළ ගස්වලා තියමින් ඒ මළගිය ආත්මවලට කොරියානු රජය දුන්න ගෞරවය මාව හැඬුම්බර කරනවා.
එතකොට දකුණු පැත්තේ තියෙන්නෙත් සපත්තු. නමුත් මේ හංගේරියාවේ බුඩාපේස්ට්වල ඩැනියුබ් ගං තීරයේ ගොඩනගලා තියන ස්මාරකයක්. එක එක විශාලත්වයෙන් සහ එක එක හැඩයෙන් යුතු කාන්තා, පිරිමි, ළමා සපත්තු... මේ හැම සපත්තුවක් පිටිපස්සේම තියෙන්නේ ඉතාම අසාධාරණව අහිමි වුණු ජීවිතයක මතකයක්. දෙවන ලෝක යුධ සමයේ ඩැනියුබ් ගං තෙර දිගට පෙල ගස්වලා මරලා දාපු හන්ගේරියානු යුදෙව්වෝ අන්තිම පාරට දාගෙන හිටපු සපත්තුවල මතකය... මැරෙන්න ඔන්න මෙන්න තියලා ඒ සපත්තු ගලවලා ගඟ ගාව හිටගත්තු නිර්දෝෂි මිනිස්සු 3500කගේ අවසාන මතකය... ලෝක ඉතිහාසයේ යක්ෂයාගෙන් ආතුර වෙච්ච පරිච්ඡේදයක කුරිරු මතකය... ඒ මතකය මොන තරම් හදවතට දරාගන්න අමාරු වුණත් හන්ගේරියාව තීරණය කරනවා මේ ස්මාරකය හරහා ඒ මිලේච්ඡ මතකය ජීවමානව තියාගන්න. නිරපරාදේ මිය ගිය ඒ ලොකු කුඩා සෑම ආත්මයකම මතකය ඩැනියුබ් ගං ඉවුර මතම සදාකාලිකව රඳවා ගනිමින් හංගේරියාව තීරණය කරනවා ඒ මළවුන්ට ගෞරව කරන්න.
මේ සපත්තු ඔක්කොම දිහා බලාගෙන ඉන්නකොට මට ඔක්තෝම්බර් 28 වෙනිදා පොලිසිය විසින් මරා දමපු අවුරුදු දාසයක පුංචි දරුවාව මතක් වෙනවා. ඒ දරුවාට වෙඩි තියන මොහොතේ ඒ දරුවා දාගෙන ඉන්න ඇත්තේ සපත්තු දෙකක්ද සෙරෙප්පු දෙකක්ද කියලා මට හිතෙනවා. ඒ දරුවා මොනවා දාගෙන හිටියත් ඒ දරුවාගේ මරණය හමුවේ මේ රට දරන නිශ්ශබ්දතාවය වෙනස් වෙන්නේ නෑ නේද කියලා හිතෙනවා. නිරපරාදේ මරා දමන දරුවෙක් වෙනුවෙන්වත් මේ රට ගිලිලා තියන නිශ්ශබ්දතාවය බිඳෙන්නේ නෑ නේද කියලා හිතෙනවා. අහිංසක දරුවෙක්ගේ ජීවිතය වෙනුවෙන්වත් අවදි වෙන්න බැරි රටක් ඒ දරුවා දාගෙන හිටපු පාවහන් යුගලකට ගෞරවය දක්වන්න අවදි වෙන්නේ නෑ කියලා හිතෙනවා.
මේ සපත්තු දකිද්දි මට හරේෂ් හසංක දේශාන්ව මතක් වෙනවා. ඔහු හුස්ම ගත්තු රටේ වැඩිහිටියෝ ඔහුගේ මරා දැමීම දිහා අන්ධයෝ ගොලුවෝ බීරෝ වගේ බලාගෙන ඉන්න හැටි මතක් වෙනවා...
-අමාවි-