Saturday, October 19, 2024
Follow Us
ආවා ගුආජා

මං ජීවත් වෙන තැන ඉඳල පැය භාගෙකින් විතර ලඟා වෙන්න පුළුවන් ලස්සන කන්දක් තියනව සලෙව් කියල.
ඔය කන්ද උඩ එක් කෙලවරකට වෙන්න තියනව ටිබෙට් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්.


ඉර නගිනව බහිනව පේන විදිහට වීදුරු වලින් වට කරල තියන මේ මධ්‍යස්ථානය හරි ලස්සනයි. එක් කෙලවරක දිරාගිය පැරනි දැව බුදු පිලිමයක් හැරෙන්න වෙන කිසි සරුව පිත්තල අරුමෝසම් මේ ශාලාවෙ නැහැ.
ලෝකෙ පුරාම මිනිස්සුන්ගෙ ආදරය දිනා ගත්ත Thích Nhất Hạnh හිමි නම මේ තැනට එනව සමහර දවස්වල.
අද හවස ඔතෙන්ට ගිය වෙලාවක ලංකාවෙ මිත්‍රයෙක් මුණ ගැහුන. එයා මට කියනව ..
" මැල්කම් බෞද්ධ කියල මං දැනගෙන හිටියෙ නෑ".
දැනගෙන හිටි දේ හරි.. මං බෞද්ධ නෙවේ.
ආහ් කැතලික්..? ඒත් නෑ...
ආ හරි .. හරි .. මැල්කම් වගේ ගොඩක් දෙනෙක් නිරාගමිකනෙ ..
වෙන්න පුළුවන් .. ඒත් මම නිරාගමික කන්ඩායමෙත් නෙවේ.
ඒ මොකද්ද ඒ හරුපෙ. ?
දර්ශණයක් අනුව යන්න ආගමක් අවශ්‍යද... නැහැ.
ගෞතම සිද්ධාර්ථ බුදුන් වහන්සේ බණ කීවෙ බෞද්ධයන්ට නෙවේ.. සත්තුන්ට හා මිනිස්සුන්ට.
අනික එතුමා දාර්ශණිකයෙක් .. විප්ලවකාරයෙක් මිස බෞද්ධයෙක් නෙවේ.
ඒ කියන්නෙ නිරාගමික.?
නෑ... නිරාගමික කිව්වොත් තමන්ව අයිති වෙන්නෙ තවත් ඛාන්ඩයකට .
තමන් කැමති ආකාරයට හිතන්න කණ්ඩායමකට අයිති වෙන්න ඕනෙ නෑ.
“නිදහස් වෙන්න මිත්‍රයා...
ආගම.. ඇදහීම හෝ විශ්වාසය කියන්නෙ යට ඇඳුම වගේ දෙයක්.. “
නමුත් ඔබ බෞද්ධ දර්ශණය පිලි ගන්නව... ?
බෞද්ධ දර්ශණය තුල තමන්ට තමන් හමුවෙන්නෙ කොතැනදිද..?
මේ දෙබස යන අතරෙ තමයි මට මේ කතාව මතක් වුනේ.
මේ පිංතූරෙ ඉන්නෙ ඇමසෝන් වනාන්තරයේ ඉන්න ආවා ගුආජා
(Awa-Guajá) කියන ගෝත්‍රයට අයිති කාන්තාවක්.
මේ අය ජීවත් වෙන්නෙ ශිෂ්ඨ යැයි සම්මත් මිනිස් සමාජයෙන් බොහොම ඈත ඇමේසන් වනාන්තර ඇතුලෙ.
මානව විද්‍යාඥ්ඥයෙක් එක්ක මේ වනාන්තර ප්‍රදේශයේ සංචාරය කරපු මාධ්‍ය වේදියෙක් තමයි මේ පිංතූරය අරන් තියෙන්නෙ.
එයාට මේ ඡායාරූපය වෙනුවෙන් පුලිට්සර් සම්මානය ඇතුළු තෑගි ගනනාවක්ම ලැබිල තියනව.
මේ පිංතූරෙ ගන්න මොහොතෙ ඒ කාන්තාව හිස ඔසවලවත් බලන්නෙ නෑ. එයා කිරි දෙන්නෙ අම්ම අහිමි වුනු කුඩා වල් ඌරු පැටියෙකුට. එක අතකින් එයාගෙ කුඩා දරුව.
සතෙක්ද.?. දරුවෙක්ද..? මොන ස්ථානයේද..? ඒ කිසි දෙයක් අදාල නෑ. එතන තියෙන්නෙ ආදරය... එකාග්‍රතාව හා දීම විතරයි.
එතනින් එහාට වටේ පිටේ මිනිස්සු මොනව කියයිද.. මේ කුඩා සතා ලොකුවෙලා මට උදව් කරයිද... අඩ නිරුවතින් පිටස්තරයකු දැකීම සුදුසුද වගේ කිසි දෙයක් අදාල නෑ.
පස්සෙ හොයල බලපුවාම තමයි දැන ගත්තෙ මේ ගෝත්‍රයේ කාන්තාවන් ලේනුන්ට හාවන්ට වගේම අසරන වෙලා අතෑරුනු බොහෝ කුඩා සතුන්ට කිරිදෙන බව.
බෞද්ධ ඉගැන්වීම කියන්නෙ මොකද්ද..?
“මේ මොහොත තුල ඒකාග්‍රතාවයෙන් ජීවත් වීම. තමන් දෙන දෙය කුමක් වුවත්... ලබාදෙන්නේ කාට වුවත්.. යහපත් සිතින් දීම.
සැකයක් නැතිව ආදරයත් සමග ඔබ ඒ මොහොත තුල ජීවත් වේ නම්... විශ්වයේ ඈත ඉමක කුඩා ආලෝකයක් ඔබේ සිත තුලට ඇතුල් වේවි. ඒ ප්‍රීතියත් සාමයත් සමග ඔබට බෞද්ධ ඉගැන්වීම් හමුවෙනු ඇති.”
මේක ටිකක් සංකීර්ණ කතාවක්.
මෙහෙම කියන්නෙ Thích Nhất Hạnh හිමි නම.
මෙන්න මෙතැනයි ඔබට සාමයත් ප්‍රීතියත් ඒකාග්‍රතාවයත් හමුවෙන්නෙ.
ඒ මොහොත තුල ඔබට ඔබව හමුවේවි. නැතහොත් හමුවීමට මග කියාවි.
අන්තිමේදි මගේ මිත්‍රයා තව ප්‍රශ්ණයක් ඇහුව.
කළු පාටින් අටපට්ටම් හදන එක ගැන මොකද හිතන්නෙ.?
මොන පාටකින් මොන හැඩයකින් හැදුවම මොකද.? බෞද්ධ ඉගැන්වීම් හා වෙසක් කූඩු අතර හෝ පාට අතර සම්භන්ධයක් නෑ.
සංස්කෘතික අංග සාම්ප්‍රදායික විය යුතු නෑ නේද..?
කළු පාට ලස්සන පාටක්.
අහන්නත් ප්‍රශ්ණයක්ද... ඒත් මං එහෙම කීවෙ නෑ.
මේ ආවා ගුආජා කාන්තාව කොයි තරම් අපූරුද..
Copied

Prakampana _ ප්‍රකම්පන