Saturday, October 19, 2024
Follow Us
රෝජා

මනි රත්නම් කියන අග්‍රගණ්‍ය සිනමාකරුවා නිර්මාණය කරපු, A R රහමන් කියන විශිෂ්ඨ සංගීතවේදියා සංගීත නිර්මාණයෙන් දායක වුණු බොම්බේ සහ රෝජා චිත්‍රපට වාර්ගික අරගලවල, බෙදුම්වාදී යුද්ධවල තියෙන බිහිසුණුකම ගැන අමිහිරිකම ගැන බොහොම ළාබාල වයසකදි මාව හිතන්න පෙළඹෙව්ව. මේ චිත්‍රපට මම බැලුවෙ ඒ කාලෙ අපේ ගෙදර තිබුණු අඟල් 14 කළු සුදු ඩේට්‍රොන් ටීවී එකෙන්. බොම්බේ චිත්‍රපටියෙ තුහිරෙ සිංදුවටත් රෝජා චිත්‍රපටියෙ රෝජා ජානෙමන් සිංදුවටත් මම ඉස්සර වගේම තාමත් හරිම කැමතියි. අද උදේ රෝජා ජානේමන් සිංදුව යූටියුබ් එකෙන් අහද්දි, ඉංග්‍රීසි උපසිරැසි එක්ක අප්ලෝඩ් කරපු එකක් හම්බුණා. බොහෝ දුරට මගේ පරම්පරාවෙ අය සහ ඊට වැඩිමල් අය මේ චිත්‍රපට දෙකම බලල තිබුණත්, සමහරවිට අපට වඩා බාල පරම්පරාවලට මේ විශිෂ්ඨ නිර්මාණ මගහැරිල තියෙන්න පුළුවන් හින්ද, මේ අපූරු ගීතය සිංහලට පරිවර්තනය කරන්නත්, මේ චිත්‍රපට ගැන සඳහන් කරන්නත් මට හිතුණ.


මේ ගීතය ලියල තියෙන්නෙ වයිරමුත්තු කියන සුප්‍රකට සම්මනනීය ඉන්දියානු කවියා.
රෝජා මගේ පෙම්වතිය
ඔබ තමයි මගේ හදවත
මගේ දෑස් ඔබේ රසඳුන දකින්නට බලාසිටියි
මට ඔබේ මතකයන් අමතක කල නොහැකියි.
ඔබ නැතිව මම කෙලෙස ජීවත්වන්නද?
මගේ ඇස්වලත් හදවතෙත් ඉන්නෙ ඔබමයි.
මම ඇස් පියාගත්විට ඒ තුල මට හමුවෙන්නෙත් ඔබවයි.
මගේ සිහිනවලත් හුස්මෙත් සැරිසරන්නෙ ඔබමයි මගේ ආදරිය රෝජා…
රෝජා මගේ සොඳුරිය මම ඔබට ආදරෙයි
මම ඔබව දකින්නට අයදිමි
ඔබ මාව ස්පර්ෂ කරන්නා සේ සුළඟ මා වැළඳගනී
අපේ ආදරය අද මල් දරල
ඒත් ඇයි මේ ගින්දර?
මම ජීවත් වෙන්නෙ මම ඔබට ආදරය කරන නිසාමයි.
මේ සැහැසිකම් ඔක්කොම මම විඳ දරගන්නෙ මම ඔබ වෙනුවෙන් බලන් ඉන්න හින්දමයි.
මට ඔබව දකින්නෙ නැතුව මියයන්නවත් බැහැ
මගේ මරණයට කලින් මම ඔබව හමුවෙන්න බලාපොරොත්තුවෙනව.
ඔබ කොහෙද? ඔබට කොහොමද රෝජා?
රෝජා මගේ සොඳුරිය මම ඔබට ආදරෙයි
ඔ සීතල මද පවන, ඔබ මොනවද මෙතන කරන්නෙ
සඳ එළිය ඔබ යන්න මගේ සොඳුරිය මා ළඟ නෑ
ඇයි මල් පිපෙන්නෙ ඇයට ඒවා ඇගේ හිසේ පළඳින්න බැරිකොට?
මේ වළාකුළුත් මට ඔච්චම් කරනව.
මගේ ආදරිය නැතිව මම සොවින් තැවෙමි
කවුරුත් මා අසල නැතිව මම ඔබව බලාපොරොත්තු වෙනව
මගේ ඇස්වලත් හදවතෙත් ඉන්නෙ ඔබමයි රෝජා
මගේ සිහිනවලත් හුස්මෙත් සැරිසරන්නෙ ඔබමයි මගේ ආදරිය රෝජා…
මට හිතෙන්නෙ යුද්ධයේ කොයි පැත්තෙ හිටියත්, යුද්ධය ඊට සම්බන්ධවෙන හැම තනි පුද්ගලයෙක්ටම සහ ඔවුන්ගේ පවුල් වලට බලපාන විදිය ගැන, යුද්ධය මානව සබඳතාවලට කරන හානිය දේශපාලන හේතුවලට ගැන යුද්ධ කරන්න අණදෙන පුද්ගලයන් හැම විටම දැනගත යුතුයි. ඔවුන් ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි, පුළුල්ව සොයා බැලිය යුතුයි. මොනම හේතුවක් හින්දවත් අපි කාටවත් තවත් මනුස්සයෙක් මරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. යුද්ධයට විරුද්ධව කියන්න තියෙන දාහක් දේවල් අතරෙ, මට අහම්බෙන් හම්බෙච්චි හිතට දැනෙන එක පුංචි සටහනක් ඔබ සමග බෙදාගන්න මම හිතුව.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය අරඹනවත් එක්කම සමාජ මාධ්‍ය ජාල වල බෙහෙවින් ජනප්‍රිය වුණු මේ කවි පද පේළිය ලිය තියෙන්නෙ Mahmoud Darwish කියන පලස්තීන ජාතික කවිය.මේ කවියෙ මාතෘකාව ‘The War Will End’.
The war will end.
The leaders will shake hands.
The old woman will keep waiting for her martyred son.
That girl will wait for her beloved husband.
And those children will wait for their hero father.
I don’t know who sold our homeland
But I saw who paid the price.

යුද්ධය අවසන් වේවි
නායකයො අතට අත දේවි
නාකි ගැහැණිය ඇගේ මිය ගිය වීර පුත්‍රය වෙනුවෙන් බලන් ඉඳීවි
ඒ තරුණ ගැහැනිය ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙනුවෙන් බලන් ඉඳීවි.
ඒ දරුවො ඔවුන්ගේ වීර පියාණන් වෙනුවෙන් බලන් ඉඳීවි.
මම දන්නෙ නෑ අපේ මව්බිම කවුරු වික්කද කියල
ඒත් මම දැක්ක කවුද ඒකට මිළ ගෙව්වෙ කියල.
ඔබත් යුද්ධය glorify කරන කෙනෙක් නම්, එහි විනාශය නොදකින කෙනෙක් නම් ඒ ගැන එක් වතාවක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න.