Saturday, October 19, 2024
Follow Us
කිරිගොවියා මහා  ව්‍යවසායකයෙකු වූ හැටි.

මා ඉපදුනු හපුතලේ දී බෙරගල පාරේ අහම්බෙන් තේ බොන්නට නැවතුනු මට කිරි ගොවියෙකු මුණගැසුණි.


ජගත් කිරි ගොවියකු වන්නට සිහින මැව්වෙකි. පොලොන්නරුව ප්‍රදේශයේ ඉපිද ගුරුතලාවේදී අකුරු කෙරු දිනවල එය හිතට එන්නෙට ඇත. පොළොන්නරුවේ තිබු ව්‍යාපාර සහෝදරයාට බාර දුන් ඔහු හපුතලේ බොරලන්දේ දී තම කිරි ගොවිපොළ ආරම්භ කලේ ඒ ගැන කිසිවක් නොදැනය. වසර එකහමාරක් පමණ යනවිට තම කිරි ගව පට්ටිය 80ක් දක්වා වැඩිකරගත් අතර කිරිගවයන් 80කට කෑම සැපයීම කිරි ගැනීම ආදී දහසක් කටයුතු සටනක් සේ සිතල බොරලන්දේ දී තම දෑතින් කළේය.
ලීටරය රුපියල් 60/= කට කිරි එකතු කරන්නන් හට විකුණු ඔහුගේ ව්‍යාපාරය දිනකට රුපියල් 10,000/= පාඩු පිට දුවන්නට විය. ලාභ හෝ පාඩු නොවන්නටනම් කිරි ලීටරය රුපියල් 100/= කට වත් අලෙවි කල යුතු විය. එහෙත් එවැනි මිලකට කිරි ගන්නට කිසිවෙක් සිතල බොරලන්දේ නොවීය. කිරි ගොවිපළ වසා දැමීමට සිතුනද හරකුන් මසට විකිණීම කිසිසේත්ම ඔහුගේ න්‍යාය පත්‍රයේ නොතිබුණේය. යෝගට් කර්මාන්තය වැනි වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන සොයා බැලුවිට යන්ත්‍ර සුත්‍ර, දැනුම සහ ප්‍රාග්ධනය හෝ තමා සතු නොවන බව දැනටමත් අමාරුවේ වැටී ඇති ඔහුට පැහැදිලිය.
නිෂ්පාදනයන්ගෙන් ඉහල මිලක් ගැනීමට නම් අගය එකතු කල යුතු බව ඔහුට දැනුණි. එහෙත් අගය එකතු කිරීමේ සම්ප්‍රදායික ක්‍රම වේදයන් සියල්ල ඔහුට දියුණුවක් ගෙන දීමට සමත් නොවන බවත් ලාභය වැඩිකිරීමට නම් එවන් අගය එකතු කිරීමක් ප්‍රමාණවත් නොවන බවත් ඔහුට වැටහුණි.
බොරලන්දේ සිට කිලෝමීටර 15ක් දුරින් තිබුණු බදුල්ල කොළඹ ප්‍රධාන පාර ගැන ඔහුට මතක් විය. කොළඹ සිට උඩරට දක්වා දිනපතා ගමන් ගන්නා මිනිසුන් ප්‍රමාණය ඔහුට නෙත ගැටුණි. වසා තිබුණු අඩි 6 x 6 පමණ කුඩා කඩ කැබැල්ලක් දින ගණනාවක මහන්සියෙන් අයිතිකරු සොයා ගොස් මාස්පතා කුලී පදනම මත ලබා ගත්තේය. කුමක් සිදුවේදැයි නොදන්නා නමුත් තම කිරි කෙලින්ම පාරිභෝගිකයාට බිමට ලබා දෙන්නට ඔහුට අවශ්‍යවිය. වෙනත් ගැලවීමේ මගක් ඔහු ඉදිරියේ නැත. ආම්පන්න ලෙස නිවසේ තිබුණු පිරිසි කෝප්ප හයක් ඔහුට සහය විය. කිරි ගොවියා කිරි වෙළෙන්දා වුයේ එලෙසිනි.
අඩි 6 x 6 කඩ කැබැල්ල වේගයෙන් දියුණු වෙන්නට විය. බොරලන්දේ නැවුම් කිරි කොළඹ සිට යන එන වාහනවල සිටි අයගේ විඩාව නිවන්නට විය. කඩ කැබැල්ලට බෝඩ් ලෑලි කිහිපයක් එකතු කරන ලද අතර ස්ට්‍රෝබෙරි වැනි වෙනත් නිෂ්පාදනද අලෙවියට තබන ලදී. කුඩා කාලයකදීම ඔහුට කිරි ඉතිරෙන්නට අලෙවිය වැඩිවුණි. නුදුරේ පිහිටි තේ සෙන්ටර් ආයතනයෙහි කළමනාකරු ඔහුට කතාකොට එම ස්ථානයෙහි තම කිරි අලෙවිය කරන ලෙසට ආරාධනා කලේ ජගත්ගේ කිරි අලෙවිය ඔවුන්ගේ අලෙවියට බලපෑමක් කළ නිසා විය හැකිය. නව ස්ථානය Golden Hill Tea Center නමින් නම් කෙරිණි. බොරලන්දේ කිරි ගොවින් දැන් තම කිරි ජගත්ට ලබා දෙයි.
වසා දමා තිබුණු තේ කම්හලක් කුලී පදනම මත ඔහුට හිමිවුයේ නොපසුබට උත්සාහය නිසාය. දිනකට කිලෝමීටර් සියයක් පමණ ඔහු එහෙ මෙහෙ දුවමින් කල සටනේ ප්‍රතිපල ලැබෙමින් පැවතුනේය. දිනපතා තම අලෙවිය ගණන් තැබීම නිසා අලෙවිය වැඩි හා අඩු කාලයන් ගැන අවබෝධයක් ලැබෙන්නට විය. නව කිරිහලට ඔහුගේම ස්ට්‍රෝබෙරි විකිණීමට තැබීමට හැකිවිය. කාබනික එළවළු වගාවටත් අත දැමු ඔහුගේ ගුරුවරයා යු ටියුබ් විය. කිසිදිනක ස්ට්‍රෝබෙරි වග කර නැති ඔහු එය උගත්තේ යු ටියුබ් තුලිනි.
ඔහු හොඳ සේවකයන් ලැබීමට වාසනාවන්තය. සාමාන්‍ය අධ්‍යාපන සුදුසුකම් හෝ අඩු අධ්‍යාපනය ලබා ඇති සේවකයින්ට ඔහු කැමැත්ත දක්වන්නේ ඔවුන්ගේ ඔලු හැදීම පහසු නිසාය. හැදුනු ඔලු ඇති සේවකයින් රොත්තක් දිවා රාත්‍රී නොබලා ආයතනයේ දියුණුව සඳහා කැප වන්නේ ඔවුන්ගේ අදායම හොඳ නිසාය. එහි ගිය මට සිනහ මුසු මුහුණින් ආචාර කරන ලද්දේ දමිළ තරුණියකි.පාරිභෝගික සත්කාරය ඔලු හැදීම තුල සිදුවී ඇති බව පෙනේ.
ඔහුගේම වචනවලින් කිවහොත් දියුණුව සඳහා අවශ්‍ය වන වැදගත්ම කාරණයකි 200% ක කැපවීම. ඔහුට එය යහමින් තිබුණි. බොහෝ ව්‍යවසයකින් අතර කැපවීම හිඟය. එනිසාම දියුණුව දුරය. ඔහුගේ අලුත් දේ ඉගෙනීමට ඔහුට ඇති ආශාව මම දුටුවෙමි. එයද ඔහුගේ දියුණුවට හේතුවී ඇත. සේවකයින්ට ඉතාම හොඳින් සැලකීම ආයතනය දියුණුවට බලපාන්නේ ඔවුන් විසින් පාරිභෝගිකයින් රකින නිසාය. ජගත් එය හොඳින් දනියි. අගය එකතු කර විකිණීම කලාවක්නම් ජගත් එහි පිකාසෝ යැයි මට සිතෙයි.
මේ අතරේදී අපේ කථා නායක කිරිගොවියා සංචාරක හෝටල් ව්‍යාපාරයට අත ගැසීය. ඔහු කළමනාකරණය කරන හපුතලේ පිහිටි හෝටල් ගණන පහකි. නගරයේ කෙළවරක ඇති හපුතලේ සිට හම්බන්තොට දක්වා දැකිය හැකි Olive View Point ආපනශාලාව ඔහුගේ තවත් ආයතනයකි. නැවුම් කිරිවිදුරුවක් බොන්නට, දිවා ආහාරය ගන්නට Golden Hill Tea Center වෙත යන ඔබ නැවුම් කිරි කෝප්පයක් පානය කල පසු ඔහුගේම නිෂ්පාදනයක් වන ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් කන්නට අමතක කරන්න එපා.
ජගත් සමඟ කතාව නිමකළ මම කිරිගොවියකු ව්‍යවසායකයෙකු වූ හැටි ඔබ සමඟ බෙදා ගන්නට සිතුවෙමි. හොඳ ව්‍යවසායකක් වන ආකාරය ජගත්ගේ කතාවෙන් ඉගෙන ගන්නට හැකිය. පින්තුර බැලුවිට ජගත් යනු කව්දැයි ඔබට වැටහෙනු ඇත.