Saturday, October 19, 2024
Follow Us
කොස් ඇට

කෑම මේසය වසා තැබූ ප්ලාස්ටික් කූඩය එසවූ නාලක එළවලු දීසී දෙස බලාගෙන හිටියා. එකක පරිප්පු.


ඒකට කොස් ඇට දමලා. ඊළඟ එකේ කෙසෙල් මුව. ඒකටත් කොස් ඇට දමලා. අන්තිම එකේ අම්මා රසටම හදන බොම්බිලි කරවල බැදුම.
නාලක හැන්දෙන් කරවල බැදුමත් ටිකක් හාරලා බැලුවා අම්මා ඒකටත් කොස් ඇට දාලද කියලා. අමතක වීමකින්ද දන්නෙ නෑ,අම්මා ඒකට නම් කොස් ඇට දමලා තිබුනේ නෑ.
අම්මගෙ කොස් ඇට මාලු හින්දා නාලකට කෑමත් එපාම වෙලා තිබුනේ. බොහෝ විට තුන් වේලටම බත් කන නාලකලගෙ ගෙදර, හැම වේලකම එක එළවලුවකට හරි කොහොම හරි අම්මා කොස් ඇට දානවමයි.
" අනේ අම්මේ,ඇයි මේ හැම එළවලු වටම කොස් ඇට දාන්නේ. එහෙම කන්න බෑනේ."
කොස් ඇට කරදරේ ඉවසන්නම බැරුව දවසක් නාලක අම්මට කිව්වා.
" කොස් ඇට හරි ගුනයි පුතේ.
ඒකයි කොස් ඇට දෙක තුනක් තලලා එළවලුවකට දාන්නේ."
නාලකට විතරක් නෙවෙයි, ගෙදර අනිත් අයටත් අම්මගෙ කොස් ඇට කරදරයක් කියලා නාලක දන්නවා.
පංති ගිහින් ආ හැටියේ පොත් ටික මේසේ උඩට වීසී කරලා...
" අනේ අම්මේ. ආයේ නම් කොස් ඇට දාන්න එපා මගෙ බත් එකට. අද ක්ලාස් එකේ ළමයි හිනාවුනා කෑම කද්දී. මොන එකකටද මන්දා හැම එකකටම කොස් ඇට දාන්නෙ..?
අපි ගොඩයො කියලනෙ හිතන්නේ "
දවසක් නංගී බෙරිහන් දෙනවා නාලකට ඇහුනා. කොස් ඇට විරෝධයට පිරිවර එකතු වීම නාලකට පුංචි සතුටක් ගෙනාවා.
ගෙදර පිලිකන්නේ වැල ගහක් තියෙනවා. ළිඳ ගාව වරකා ගහක් තියෙනවා. මේ ගස් දෙක නොවන්නට මේ කොස් ඇට කරදරය නාලකලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කඩන කොස් ගෙඩියක් ගානේ, වැටෙන වැල ගෙඩියක් ගානේ අම්මා කොස් ඇට එකතු කරලා, කුස්සියේ මුල්ලක ගොඩ ගහන්න පුරුදු වෙලා හිටියා. ඒ කොස් ඇට ගොඩ කවදාවත් ඉවර වෙන්නෙත් නෑ. ගෙදරට නෑදෑයෙක්,හිතවතෙක් ආවත් අම්මා කොස් ඇටවල ගුණ කියන්න පටන් ගන්නවා. අටුකොස් මාලු හදන හැටි, කොස් ඇට පිටි වලින් එක එක කෑම හදන හැටි, කියන විදිය අහගෙන ඉඳලම දැන් නාලකටත් කටපාඩම්. ඒ වගේ වෙලාවට කාමරේ ඉඳලා එලියට ඇවිත් නංගි අම්මට රවනවා. එතකොටම අම්මත් ගානට කොස් ඇට වලින් ලිස්සලා යනවා. නාලකලගෙ ගෙදර කොයි එළවළුවක් ලිපේ තිබ්බත්, ටික වෙලාවකින් අම්මා කොස් ඇට තලන සද්දේ ඇහෙනවා. අම්මා ගෙදර නැති වෙලාවක මේ කොස් ඇට ගොඩ වත්ත පහළ දොළපාරට විසිකරලා දාන්න දවසක් දෙකක්ම නාලකට කල්පනා වුණා. ඒත් එක්කම අම්මා මේවා අහුලලා වේලලා පරිස්සම් කරන හැටි මතක් වෙලා ඒ අදහස අත්හැරියා.
එදා ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුන දවසක්. වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම. නාලක උදෙන්ම නැගිටලා, ඔෆිස් යන්න ලෑස්ති වෙලා කුස්සියට එද්දී, අම්මා නාලකට බත් බඳිනවා.
"අම්මේ මට හදිස්සියි. වෑන් එකත් එනවා. ඉක්මනට බත් එක ඕනෙ."
"හරි පුතේ උයලා ඉවරයි" ..
"කෝ අම්මේ.. මොනවද ඉව්වේ.."
නාලක එහෙම අහගෙනම එළවලු හට්ටි දිහා බලාගෙන ගියා. හැම එකේම අතරින් පතර කොස් ඇට දමලා තියෙනවා නාලක දැක්කා..
" මොකද්ද අම්මේ මේ කොස් ඇට පිස්සුව..? අපිට නම් මොකක් හරි වෙන්නෙ මේ කොස් ඇට කාලා."
අම්මා කුස්සියේ දුම් වැදී ගලන හොටු, ඇඳගෙන හිටපු රෙදි පොටෙන් පිහ දදා නාලක දිහා බලාගෙන ඉන්නවා ඔහු දැක්කා.
" මට කෑම එපා.. මම ඔෆිස් එකේ කැන්ටිමෙන් මොනවා හරි කන්නම්".
නාලක එහෙම කියාගෙන කේන්තියෙන් ගෙදරින් පිටවුණා. මිදුලට ඇවිත් ගේට්ටුව ගාවට යද්දී කුස්සිය පිටුපස තියෙන වැල ගහ පේනවා. ඒ ගහ දකිද්දී නාලකට විස්තර කළ නොහැකි තරහක් ආවා. ඒ තරහ පිටින්මයි ඔහු එදා ඔෆිස් ආවේ..
කාර්ය බහුල සැසිවාරය අවසන් වීමෙන් දිවා ආහාරය සඳහා විවේකය ලැබුනා.
" නාලක අපි කන්න යමු.
කෝ අද කෑම ගෙනාවේ නැද්ද."?
නාලක ගැන වැඩි උනන්දුවක් දක්වන සුලක්ඛනා මිස් ඇහුවා.
" නෑ.. අද අම්මට සනීප නෑ".
නාලක කටට ආපු බොරුව සුලක්ඛනාට කිව්වා. හිතුවටත් වඩා අවස්ථාවක් ලැබී ඇති බව තේරුම් ගත් සුලක්ඛනා,
" එන්න නාලක.. අද මාත් එක්ක මගෙ බත් එක කමු."
සුලක්ඛනා ආදරෙන් නාලකට කිව්වා.
සුලක්ඛනාගෙ බත් එකෙන් කන්න නාලකගෙ යටි හිතෙත් ආසාව මෝදු වෙවී තිබුණා.
" එන්න නාලක කමු ."
සුලක්ඛනා කෙසෙල් කොළයක ඔතපු බත් මුල ලිහනවා.
" මම කොස් ඇට උයාගෙන ආවා. නාලකලට නැතුව ඇතිනෙ. කාලා කියන්නකො ඉතින් රසද කියල..?
නාලකට උන් හිටි තැනත් අමතක වුනා. නාලක ඉඳගෙන හිටිය පුටුව පස්සට කරලා වේගයෙන් නැගිට්ටා.
" ඇයි මේ..?
සුලක්ඛනා කලබල වෙලා ඇහුවා.
" මට එපා.. මම කන්නෙ නෑ. තමුසෙම කනවා. බම්බු කොස් ඇට.."
නාලක සුලක්ඛනා දිහාවත් නොබලා, තරහින් පුපුරමින් කැන්ටිමෙන් එලියට යන අයුරු ඈ වික්ෂිප්තව බලාගෙන හිටියා.