Saturday, October 19, 2024
Follow Us
අම්මගෙ නික්ම යෑමෙ

මම මේ සටහන ලියන්නේ මගෙ අම්මගෙ නික්ම යෑමෙන් මාස දෙකකුත් ඉකුත් උනාට පස්සෙ.මේ කතාව ටිකක් දිග වැඩි ඇති.ඒත් ඔයාගෙ අම්ම තාත්තා වෙනුවෙන් මේ කතාව කියෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ.මට හිතුනා මගෙ ජීවිතේ දරුණුම වේදනාව ,අමිහිරිම අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න. අපේ ජීවිතේ වටිනම මිනිස්සු අහිමි වෙන එක මොන තරම් වේදනාවක්ද කියන එක ,එක එක අයට එක එක මට්ටමින් අත්දැකීම් ලැබිල ඇති.මගේ ජීවිතෙ මන් පසුතැවෙන කාරණාවලට තවත් කිසිම කෙනෙක් පසුතැවෙනට මන් කැමති නෑ.මේ කතාව කියවල එක්කෙනෙක් හරි වෙනස් වෙනවනම් ඒක තමයි මගේ එකම සතුට.ඒ පින මගේ අම්මට අනුමෝදන් කරනව මම.මුලින්ම මගේ අම්ම අසනීප උන තැනින් මේ කතාව පටන් ගන්නම්


....................................................................................
2022.05.17 තමයි මගේ අම්ම අන්තිමට සාමාන්‍ය විදියට වැඩ කරගෙන හිටියෙ.මට 17 වෙනිද ගැන ලොකුවට මතක නෑ.ඒත් එදා අම්ම හොදින් හිටිය.කෑව බිව්ව.මන් රෑ නිදාගන්න ආවම මට ඇහුනා දෙතුන් පාරක් අම්ම බාතෲම් යනව.මන් එච්චර ඒක හිතුවෙ නෑ.මට පැය දෙකක් වගෙ නින්ද ගියෙ.තාත්ත රෑ 1 ට වගෙ මගෙ දොරට තට්ටු කරල ඇහෙරෙව්ව.අම්මට බඩේ අමාරුවක් හැදිල කියල.අම්ම ඒ වෙද්දි ටික සැරයක් ගිහින් තිබ්බ. අම්මට කාමරේ ඉන්නත් බැරි උනා සීතලයි කියල .තාත්තයි මායි එලි වෙනකන් ඇහරන් හිටිය.තාත්තා කුස්සියේ ගිනි ගොඩකුත් පත්තු කරා.කුස්සියෙ පැදුරක් දාගෙන අම්ම හාන්සි උනා.අම්ම සීතලෙන් හිටියෙ.ටික ටික සීතල අඩු උනා.මන් කෝපි දෙකක් විතර හදල දුන්න.දෙහිත් දාල.ඒත් අඩු උනේ නෑ..ඊට පස්සෙ 4යි ගානට වගෙ අම්මට බඩේ අමාරුව අඩු උනා.නිදිමත ඇවිත් අම්ම කාමරේට ගියා.එතකොට දාඩිය දාල තිබ්බ. අම්ම අමාරුවෙන් හිටියත් අයියට වැඩට යන්න කෑම ගෙනියන්න ඕන කිව්ව.මටත් හොදට උයාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.මන් නිදාගන්න ගිහිල්ලත් ආයෙ ඇවිත් ඉව්ව.බත් උයල පරිප්පු, හැදුවා.අයියට බිත්තරයක් බැදල අම්මටයි තාත්තටයි බිත්තර දෙකක් තම්බලා නිදාගත්තා මාත්.ඒත් පැයක්වත් නිදාගන්න උනේ නෑ.ආයෙ තාත්තා මාව 6ට වගෙ ඇහැරෙව්ව අයියට බත් මුලක් හදල දෙන්න කියල.අම්ම ඒ වෙලෙත් හොදට කතා කරා.අයිය වැඩට යන්න ලේස්ති උනාම උදේ අම්මට බාතෲම් එකට යන පාරෙම ටොයිලට් කරා.දුගද හැමුවත් මට පිලිකුලක් දැනුනෙ නෑ.අම්ම පව් කියන හැගීම විතරයි මට තිබ්බෙ.මන් අම්මට කිව්ව ඒක මන් හෝදල දාන්නම් කියල..අම්ම කොමඩ් එකේ වාඩි වෙලා මාව බදාගත්තා කලන්තෙ වගෙ කියල.අම්ම වචන කතා කරෙත් නෑ.මන් බය උනා.ඒත් අම්ම ඊට පස්සෙ කතා කරා.තාත්තාත් හයර් එකක් යන්න ගිහින් ගෙදර එවෙලෙම ආව.තාත්තට කිව්ව මන් බෙහෙත් ගන්න යමු කියල.උදේ ලේස්ති කරගෙන බෙහෙත් ගන්න ගියා.අම්මගෙ ඔක්කම ඇදුම් ඇන්දෙව්වෙ මන්.අම්ම දත් ටිකත් මැදගත්ත.පව්.බෙහෙත් ගන්න ගියාම තමයි කිව්වෙ ප්‍රෙශර් එක හොදටම අඩුයි කියල සේලයින් දුන්නෙ.මට කිසිම අදහසක් තිබ්බෙ නෑ ඒ ගැන.බ්ලඩ් චෙක් කරාමත් විශබීජයක් ගිහින් වගෙ කිව්ව.බෙහෙත් දුන්න.හොදට කන්න බොන්න දෙන්න කිව්ව.ගෙදර ගිහින් රෙස්ට් කරලා හවසට ප්‍රෙශර් චෙක් කරන්න එන්න කියල කිව්වා. අම්ම උදේ හොස්පිටල් යන්න බෑ කියල කිව්වා.ඒක ඒ තරම් බරපතල විදියට කවුරුවත් හිතුවෙ නෑ.ඒත් මන් දැන් ගොඩක් පසුතැවෙනව ඒ වෙලාවෙ එක්කන් යන්න තිබ්බ කියල.එහෙනම් අම්මව බේරගන්න තිබුනා කියල මට හිතෙනවා??
...................................................................................
අම්ම ගෙදර එක්කන් ඇවිල්ලත් මන් අම්මට ගොඩක් උදව් කරා.අම්මට මන් හදපු බත් කැව්ව.මන් තනියම උයල අම්මට කවපු පලවෙනි සහ අන්තිම දවස එදා.අම්මත් කෑම හොදයි කියල කෑවා.අම්ම එවෙලෙත් ගොඩක් කතා කරෙ නෑ.මන් කවල බෙහෙත් දුන්න.ජීවනි හදල දුන්නා,තැඹිලි දුන්නා.මට අම්මව තනියම උස්සන් බෑ.හරිම බරයි.හවස් වෙද්දි මගෙ කොන්ද කැඩෙන්න වගෙ රිදුනා.ඒත් මන් අම්ම ඇදෙන් නැගිට්ටවන්න උපරිම උත්සාහ ගත්තා.තාත්තයි මායි අම්ම හරි අමාරුවෙන් නැගිට්ටවගත්තෙ.බරයි ගොඩක්.ඇග පන නැති කරල වගෙ ඉදපු නිසා.ඒත් තාත්තත් අම්මව බාතෲම් අරන් ගියා අල්ලගෙන.මන් අම්මව ජීවිතේ ට සෝදවල නෑ.ඒත් එදා මන් අම්මව හේදෙව්ව පළවෙනිවතාවට.මන් ඒ වෙලාවෙත් කල්පනා කරේ අම්මට ලොකු අසරණ කමක් දැනෙන්න ඇති නේද කියල.මටත් අම්ම ගැන ඒ වෙලාවෙ දුක හිතුනා.කිසිම කැතක් හිතුනෙ නෑ.අම්මට ඒ විදියට ඇගේම ටොයිලට් ගියා ගොඩක් සැරයක්.අම්මා ඒ විදියට අසනීප වෙලා ඉන්නවා මන් මීට කලින් කවදාවත් දැකල නෑ.මට සතුටුයි මන් අම්මට අන්තිම දවසෙ උදව් කර එක ගැන
.................................................................................
ඒත් ඊට වඩා පසුතැවීම් ගොඩක් තියෙනවා.අම්ම එක්ක ලොකුවට ගෙදරදි කාලය ගත කරන්න බැරි වීම ගැන මට පසුතැවීමයි.අම්මට ගෙදර වැඩවලට ලොකුවට උදව් කරන්න බැරි වීම ගැන මට පසු තැවීමයි.හැමදාම රෑට හිතන් නිදාගන්නව අම්මට හෙට නම් වැඩවලට උදව් කරන්න ඕන කියල.ඒත් මිදුල අතුගාන එකයි,ගේ අතුගාන එකයි, පොල් ගානව වගෙ පොඩි පොඩි වැඩ විතරයි මට කරගන්න උනේ.අම්මට එක දවසකවත් ෆ්‍රී එකේ ඉන්න දෙන්න බැරි උනා මට.අම්ම මන් වෙනුවෙන් කොච්චර කැප උනත් මට ඒ වගෙ උදව් කරන්න බැරි උනා අම්මට. මන් පොල් ගානව.සම්බල් හදනව.පොඩි පොඩි කෑම හදනව.ඔයිට වඩා ලොකුවට උයලවත් දෙන්න බැරි උනා මට. මන් උදේ ඇහැරෙනකොට අම්ම උයල ඉවර වීගෙන ඇවිත්.රෑටත් ක්ලාස් එහෙම නැත්තන් ,එක එක වැඩ නිසා මට අම්මට ලොකුවට උදව් කරන්න බැරි උනා.මට පොඩි ලෙඩක් හැදුනත් අම්ම හරියට කලබල වෙනව.අම්මට ලෙඩ උනාම අපිට ඉක්මන් වෙන්න බැරි වීම ගැන පසුතැවීමයි .මගෙ කොන්ද රිදෙනව කිව්වත්,ඔලුව රිදෙනව කිව්වත් හැමදේදිම අම්ම හොයනව ඉක්මනින් බෙහෙත් අරන් දෙනව.මට ඒත් අම්ම වෙනුවෙන් එහෙම කරන්න බැරි උනා.මන් ඩිප්ලෝමත් හදිසියෙම කරන්න ගත්තෙ පොටො වගයක් දැකල. මගෙ ඩිග්‍රිය ඉවර වෙලා අම්ම තාත්තා එක්ක පොටො ගහනකොට ගොඩක් කල් යනවනෙ.ඊට කලින් අම්මටයි තාත්තාටයි සතුටක් දෙන්න කරේ.මන් ඒක සර්ප්‍රයිස් කරන්න වගේ කරන්න හිටියෙ.ඒක කරල ඉවර උනාම කියන්න හිටියෙ.මට අඩුම ඒකවත් ඉවර වෙනකන් අම්ම හිටියනම් කියල හිතෙනව?
.................................................................................
හවසත් කොහොම හරි අම්මව බෙහෙත් ගන්න එක්කන් ගියාට අඩු උනේ නැති නිසා එදා රෑ අපි අම්මව කරාපිටියෙ නවත්තන්න එක්කන් ගියා.ඒ 18 වෙනිදා..අම්මව කරාපිටිය එක්කන් ගියාම එක්කෙනෙක්ට විතරයි ලග ඉන්න පුලුවන් කිව්වෙ.මට අම්මව උස්සන්න එහෙ මෙහෙ කරන්න අමාරුයි කියන එක මන් දැනගෙන හිටියත් මට ඒ වෙලාවෙ අම්ම ලග නවතින්න හිතුනා .ඩොක්ටර් අම්මගෙ විස්තර සේරම ඇහුව.උදේ 1 විතර වගෙ එතකොට.මන් අම්ම ලග හිටිය.අම්මට ඔක්සිජන් දුන්නා.අම්ම කිය කිය හිටියෙ ඒක තියන් ඉන්න අමාරුයි කියල.මන් ඒත් කොහොම හරි ඉන්න කියල කිව්ව.ඩොක්ටත් කිව්ව ඒක ගලවන්න දෙන්න එපා කියල.මාව ඊටපස්සෙ එලියට එව්වා.මට එක තප්පරයක් නින්ද ගියේ නෑ.ඇවිද ඇවිද හිටිය.බුදුන් වැන්දා.කොහොම හරි 3යි ගානට වගේ අම්මගෙ නම කිව්වම මන් දුවගෙන ගියා.එවෙලෙ තමයි මගෙන් මුත්‍ර බටයක් ඉල්ලුවෙ.ඉල්ලන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ.තාත්තාලත් ගියා.ලග පාතකත් අදුරන අය නෑ.ගාල්ලෙ ඉන්න අයට කෝල් කරා.පේජ් වලට එහෙම කතා කරා..ඒ පාර බැරිම තැන මන් තනියම ගියා රුහුනු ෆාමසි එකට.කවුරුවත් පාරෙ හිටියෙ නෑ.බය හිතුනත් මට එවෙලෙ අම්ම වෙනුවෙන් යන්න ශක්තියක් ආව. එතනට ගියාම එයාල මුත්‍ර බට නෑ කිව්ව.ඒත් මන් ටිකක් පොඩි නිසා මන් ගැන අනුකම්පා හිතිලද කොහෙද ඒ මිස් විස්තර අහල කාටද ඕඩර් කරපු මුත්‍ර බටයක් දුන්න මට.ඒකත් අරන් ගිහින් දුන්න.මන් අම්ම ලගට ගිහිල්ලත් පිරිත් කිය කිය ඔලුව අත ගෑවා.උදේ කොහොම හරි අම්මට තේ එකක් ගේන්න කියල ඒකත් ගෙනත් දුන්න.අම්ම බාගයක් බීල තිබ්බ.ඊට පස්සෙ ඩොක්ටර් කතා කරල අම්මගෙ තත්වෙ කිව්ව.බඩට විශබීජයක් ගිහින් කිව්වා.ඒක අසාද්‍ය වෙන්නත් පුලුවන්,ගේනකොටම අසාද්‍ය තත්වෙ කිව්ව හිටියෙ.ඒත් හොද අතට හැරෙයි කිව්ව.බය වෙන්න එපා කිව්ව.ඒ වෙනකොට විශබීජේ අම්මගෙ මුලුඇග පුරාම පැතිරිලා තිබිලා.ඒක අවයව ගොඩකට බලපාල කියල තමයි කිව්වෙ.මගෙ ඔලුව විකාර උනා .ඊට පස්සෙ ආයෙ අම්ම ලගට ගියා මන්.නර්ස් කිව්ව අන්න අම්මා පොඩි දුව හොය හොය හිටියෙ කියල.ඒ 19 වෙනිදා.උදේ 6යි ගානට වගෙ.මන් අම්මට වතුරත් පෙව්ව තිබහයි කිව්වම.කොන්දත් කැක්කුමයි කිව්ව.මම කිව්වා දැන් ඇදේම හිටිය නිසා කැක්කුම ඇත්තෙ ඕක ඉක්මනින් හරියයි කියල.මන් අම්මට කනට කරල කිව්ව බුදු ගුන සිහි කරන්න කියල හිතින්.බය වෙන්න එපා.හොද වෙනව කියල.ඒ අම්ම එක්ක අන්තිමට කතා කරපු ටික.ආයෙ මන් ඇතුලට ගියෙ 8 යි ගානට.ගොඩක් අය වට වෙලා හිටිය.මන් බය උනා සෑහෙන්න.මන් එලියට ආව.ආයෙ නිකන්ම මන් ඇතුලට ගියා.මන් සෑහෙන්න ඇඩුව.මට දැනුනා අම්මට ගොඩක් අමාරුයි කියල.මිස්ලා කිව්ව අම්මට අමාරු උනා.ඒත් දැන් හොදයි කියල.මන් එලියට ඇවිල්ලත් බිම ඉන්දුනා මට. මට මාව පාලනයක් තිබ්බෙ නෑ.අයියට කෝල් කරල කෑගහල ඉක්මනින් හොස්පිටල් එකට එන්න කිව්ව.පස්සෙ ඩොක්ටර් කිව්ව අම්මගෙ හාර්ට් එක නැවතුනා.මැශින් වලින් තමයි දැන් වැඩ කරන්නෙ කියල.පැය 24 ක් ඇතුලත හරි ගියොත් හරි කියල කිව්වා.මන් ඒ වෙලවේ ඉදන් හිතින් කිය කිය හිටියෙ'' අනේ අම්ම හොද වෙන්න කියල''.අම්ම සනීප වෙල ගෙදර ගියාම කිසිම වැඩක් කරන්න දෙන් නෑ කියල හිතන් හිටියෙ.මගෙ ප්‍රාර්ථනාව උනේ අම්ම වෙනද වගෙ හිනා වෙලා, කතා කරල ,ඇවිදල ඉන්න එක විතරයි.මෙහම ඇදක් උඩ බට ගහන් ඉන්නව මන් දැකල තිබ්බෙ නෑ.මට ඒක දරාගන්න බැරි හැගීමක් උනා.දවල් අම්මව icu දානව කිව්ව.උදේ ඉදන් පැය ගානක් එක දිගට මන් ඇඩුවා එතන.මන් කවදාවත් එච්චර අඩල තිබ්බෙ නෑ.icu එක්කන් යනකොට දවල් 12 විතර උනා.හවස 5යි ගානට ආයෙ අම්මව බැලුවෙ.ඇස්වත් ඇරියෙ නෑ.මට තේරුම් ගියා අම්මව බේරගන්න අමාරුයි කියල.උදේ බෝධි පූජාවක් තියන්න හිතන් හිටියෙ.ඒකත් බැරි උනා.ගෙදර ඇවිත් නිදාගෙන පැය දෙකක් ගියේ නෑ අම්ම නැති උනා කියල දැනගන්නකොට.20වෙනිදා පාන්දර 1යි ගානට අම්ම මේ ලෝකෙන් සමුඅරන් තිබුණා. අම්මට තාම අවුරුදු 58යි.කලින් දවසෙ උදේ මාත් එක්ක හොදට කතා කර කර ඉදපු අම්ම ඊළඟ දවසෙ උදේ යනකොට මෝචරියෙ නන්නාදුනන සිරුරක් ළග වැතිරිලා හිටියා.අම්මව ගෙදර ගේනකොට මට ඇඩෙන්න තරම් කඳුලු ඉතුරු වෙලා තිබ්බෙ නෑ.කිසිම හැඟීමක් දැනුනෙත් නෑ.දුකක්ද කලකිරීමක්ද මොකක්ද හැඟීම කියලවත් මට තේරුම් ගියේ නෑ.අම්මගෙ අවසන් කටයුතු සිදු උනේ 22.එදා උදේ මට පාසලේ උගන්වපු ස්වාමීන් වහන්සේ කතා කරල කිව්වා අම්මගෙ ගුණ කියල ස්තූති කතාව කරන්න කියල.මට සභාවක කතා කරන්න තරම් හයියක් තිබ්බත් අම්මගෙ අවමංගල සභාවෙ කතා කරන්න තරම් හයියක් නෑ කියල මන් දන්නව.මන් කිව්වා මන් උත්සාහ කරන්නම් ඒත් එවෙලෙට මට කතා කරගන්න බැරි වෙයි කියල.ඒත් ස්වාමීන් වහන්සේ මාව ශක්තිමත් කරා. අම්මව සවස එලියට ගන්නකොට කොච්චර කෑගහල අඩන්න හිතුනත් මන් හිත ශක්තිමත් කරගත්තා.මන් හිතින් හිතුවා මේ වෙලාවෙ මන් ශක්තිමත්ව ඉන්න ඕන අම්ම ගැන කතා කරල මගේ කටින්ම පින් දෙන්න ඕන කියල.මන් ඇඩුවොත් මට ඒක කරගන්න බැරි වෙනවට මන් බය උනා.හිත ගලක් කරගන්න පුලුවන් උනා.වෙවුලමින් හරි අවමංගල සභාව් පිලිඅරගෙන ස්තූති කතාව කරල අම්මට පින් දුන්නා.අම්මගෙ අවසන් කටයුතුවලින් පස්සෙ හරියට නින්ද නොගියපු දවස් ගොඩක් තිබ්බ.නිදි පෙති බීල නිදාගත්තු දවස් තිබ්බා.මට මේ ලෝකෙ වැඩියෙන්ම වටින කෙනා ආදරේ කෙනා මගේ අම්ම.එයත් එක්ක එකට කරන්න ආසාවෙන් ඉදපු වැඩ ගොඩක් තිබ්බා.අම්මත් එක්කම ඒ සේරම මැකිල ගියා. අපේ ගෙදර ආපු හැමෝටම ගොඩක් ස්තූතියි .මොනව හරි මගෙන් අඩුපාඩු සිද්ද උනානම් සමාවෙන්න.තවමත් රිප්ලයි කරන්න බැරි උන ගොඩක් මැසේජ් තියෙනවා.වචනෙකින් හරි හිත හදපු හැමෝටම ස්තූතියි.අම්ම නැති උන දවසෙ ඉදන් ගෙදර නැවතුන හසිනි,ධනංජනී අක්ක,දිලුම් අයියා ඔයාලට ගොඩක් පිං.නම්වලින් නොකිව්වත් උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං.?❤️මට ඒ උදව් කවදාවත් අමතක වෙන්නෙ නෑ.
.................................................................................
ඔයාලටත් කියන්නෙ අම්ම තාත්ත හොදින් ආදරෙන් බලාගන්න .අපිට එයාලව මගඇරෙන අවස්තා බොහොමයි.ඒත් පුලුවන් තරම් එයාල එක්ක ඉන්න .නැත්තන් ජීවිතේ ඉතුරු වෙන්නෙ කියාගන්න බැරි තරම් පසු තැවීමක් විතරයි .මේ තත්ත්වෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් යාවි.හැමදාම එකට ගෙදර හිටිය අම්ම නැතුව ඉන්න එක හිතන්නවත් බැරි දෙයක් .පුලුවන් විදියට අම්ම තාත්තා සතුටු කරන්න.සල්ලිම ඕන නෑ.අම්මට ගෙදර වැඩවලට හරි උදව් කරන්න.තරහ ගන්න යන්න එපා.මටත් සැනසීමකට තියෙන්නෙ අම්මට උදව් කරපු දේවල් සතුටු කරපු දේවල් විතරයි ??අම්මගේ උපන්දිනවලට මොනා හරි අරන් දුන්නත් කවදාවත් අම්ම වෙනුවෙන් කේක් එකක් කපල පාටි එකක් දාන්න බැරි උනා.එත් මේ පාර ඒක කොහොම හරි කරන්න ඕන උනා මට.ඒත් හිතුවෙ නෑ අම්මගෙ පළවෙනි සහ අවසාන උපන්දින සැමරීම මේක වෙයි කියලා.
..................................................................................
මන් සාමාන්‍යයෙන් උදේ ඇහැරුනු ගමන් කෙලින්ම යන්නෙ කුස්සියට.අම්ම ඉන්නවා.හැමදාම මන් දැක්කම කියනව ''සුද්දි දැක්ක කල්'' කියල.මට ඉතින් හිනා යනවා.මොකද රෑත් දැකල උදේ එහෙම කියද්දි.ඒත් දැන් කුස්සියේ අම්ම නෑ.මන් හරිම සනීපෙට බදාගත්ත එකම කෙනා මගේ අම්ම.හරිම උණුසුම් හැඟීමක් ඒක.ඒත් තවත් එහෙම කරන්න අම්ම නෑ.අම්ම පුටුවක වාඩි වෙලා හිටියත් මම උකුලෙන් වාඩි වෙලා බදාගන්නව.අවුරුදු 22ක් වෙලත් මාව වඩාගන්න කිව්වම අම්ම මාව වඩාගන්නවා.මන් එතකොට විහිලුවට කියනවා පොඩි කාලෙනම් මාව වඩාගත්තනේ ඇයි දැන් බැරි කියල.අම්ම කියනවා '' ඉස්සර වගේද දැනුත් ,දැන් බරයිනේ'' කියල. කවදාවත් අම්ම මට ගහල නෑ.මතක ඇති කාලෙක බැනලවත් නෑ.උබ බන් කියල කවදාවත් කතා කරල නෑ.එහෙම කෙනෙක් මට ආයෙ කොහෙන්වත් හොයාගන්න වෙන්නෙත් නෑ.හොඳ මිනිස්සු ඇයි මේ තරම් ඉක්මනින් නික්මෙන්නෙ කියල මට හිතාගන්න බෑ.මම අම්ම එක්ක තරහ වෙලා ඉදල නෑ.මොකකට කේන්ති ගියත් මට අම්ම එක්ක කතා නොකර ඉන්න බෑ.අද මට කිසිම දෙයක් කතා කරන්න එයා මන් ලග නෑ..මම අද තැනක ඉන්නවනම් ඒකට එකම හේතුව අම්ම.මම ඒලෙවල් කරද්දි අම්ම මාත් එක්ක පන්ති ගිහින් ඉවර වෙනකන් ඉදල එන්නෙ.මන් හිතන්නෙ මන් හොද රිසල්ට් එකක් ගත්තෙ අම්මගෙ මහන්සිය ,කැපවීම ,ආශිර්වාදය නිසා.අම්මගෙ හීනෙ උනේ මාව කැම්පස් යවන එක.මන් ලෝ ෆැකල්ටි තේරුනා කියල දැනගත්තම අම්ම අඩල තිබුණා.අම්ම ආස උනා මන් ටීචර් කෙනෙක් වෙනවා දකින්න.මාත් පොඩි කාලෙ ඉදන් ආසයි.ඒ නිසාම ටියුශන් පටන් ගත්තා.මන් අම්මට අම්මා ආස ආස දේවල් අරන් දුන්න.බෙහෙත් , කෑම ඕන වෙලාවට අරන් දීල තියෙනවා.බැංකුවෙ වැඩ කරන කාලෙ,ක්ලාස් ෆීස්වලින් අම්මට ඕනි විදියකට සල්ලි ගන්න කාඩ් එක දීල තියෙනව.ඒත් සල්ලිම නෙවෙයි සැනසීම කියන එක මට තේරුම් ගියා.දැන් මොන වැඩේ කරත් මට අම්මව මතක් වෙනවා??.පොල් ගානකොට හිතෙනවා අනේ අම්මගෙ අත් කොච්චර රිදෙන්න ඇතිද කියල.මිදුල අතුගාද්දි හිතෙනව අම්මට කොච්චර මහන්සි දැනෙන්න ඇතිද කියල.මොන වැඩේ කරත් මට අම්මව මතක් වෙනව.මට හරියට උදව් කරන්න බැරි උනා නේද කියන හැඟීම හැමවෙලේම මාව රිද්දනවා.ඒ වගෙ හැඟීමක් කිසිම දරුවෙක්ට උරුම වෙන්න හොඳ නැති නිසයි මට මේ කතාව කියන්න හිතුනෙ.දෙමාපියන්ට දෙන ඉහළම සතුට හොදට ඉගෙන ගන්න එක බව ඇත්ත.ඒත් අම්ම කෙනෙක්ට ගෙදර වැඩවලට උදව් වෙනවනම් ඒක අම්මට තවත් ලොකු සතුටක් නිදහසක්.ඔයා ගොඩක් බිසි කෙනෙක් උනත් දවසට එක වේලක් හරි උයන්න.මිදුල අතුගාන්න.අම්මට නිදහසක් දෙන්න.අම්ම තාත්ත එක්ක ඇවිදින්න යන්න.එයාල වයසයි කියල යාලුවො එක්ක විතරක් ඇවිදින්න යන්න එපා.අම්ම තාත්තව ජීවිතේ කරගන්න.අපිට කවුරු නැති උනත් ඒ වෙනුවට ආදේශක හොයාගන්න පුලුවන් .ඒත් අම්මා තාත්තට ආදේශක නෑ.
..................................................................................
අපේ අම්ම හරි ආසයි පොටො ගහන්න.මන් සෙල්ෆි එකක් ගහමු කිව්වම හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා.අද ඉතුරු ඒ ඵොටෝ ,වීඩියෝ විතරයි.සෝශල් මීඩියා නිසා අපි ගොඩක් දුරට බැඳීම් වලින් දුරස් වෙනවා.ෆෝන් එක නිසා එයාලට ඇහුම්කම් දෙන්න බැරි වෙලා යන අවස්ථා තියෙනව..ඒ වැරදි කවදාවත් කරන්න එපා.තාත්තගෙ වැඩවලට උදව් කරන්න.සල්ලිවලින් කරන්න බැරි ගොඩක් දේවල් ආදරෙන් කරන්න පුලුවන්.මන් කරන්න ආස උන හැමදේටම මගේ අම්ම උදව් කරා.ක්ලාස් කරන්න ඕන කිව්වම ඒකට උදව් කරා.චැනල් එකක් හදන්න ඕන කිව්වම ,නටන්න ඕන කිව්වම,ජිම් යන්න ඕන කිව්වම මේ හැමදේකදිම අම්ම පස්සෙන්ම හිටිය.මන් ෆිල්ම් එකක් බැලුවොත් ඒක මුල ඉදල අග වෙනකන් අම්මට කියනවා.අම්මා අහන් ඉන්නවා .මන් කියන ඕනම දෙයක් අහන් හිටිය එකම කෙනා අම්මා.ඒ තරම් ඇහුම්කම් දෙන කෙනෙක් මට ආයේ කවදාවත් මුණ ගැහෙන්නෙ නෑ කියල මන් දන්නවා.අම්ම වගේ වෙන්න කාටවත් කවදාවත් බෑ. කොහෙන්වත් අම්ම වගෙ කෙනෙක් හොයන්න බෑ .සමහර දවසට තාත්තයි මායි රණ්ඩු වෙනව අම්ම ලග නිදාගන්න ඕන කියල ????
....................................................................................
තව දෙයක් අම්ම තාත්තාට අසනීපයක් හැදුනම වැඩි සැලකිල්ලෙන් බලන්න.අපි හිතනවට වඩා ඒ ලෙඩ මාරාන්තික වෙන්න පුලුවන් .මගෙ ,ගෙදර අපි හැමෝගෙම පොඩි අසනීපයටත් ගොඩක් කලබල වෙනව මගෙ අම්ම.ඒත් අම්මගෙ අසනීප හොද කරගන්න අපිට බැරි උනා..ඒ නිසා බඩෙ අමාරුවක් හැදුනත් පොඩි ලෙඩක් දෙමාපියන් ට හැදුනත් හොදින් බලන්න.එක එක ලෙඩ වලට අම්ම තාත්තා බෙහෙත් බොනවනම් එයාලව චෙක් කරන්න .මගෙ අම්මගෙත් අක්මාව 90%ක් විතර නරක් වෙලා තිබිල කියල මරණ පරීක්ෂණයෙන් කිව්වා .එතකන් අපි ඒ ගැන දන්නෙවත් නෑ.දියවැඩියාව ප්‍රෙශර් වගෙ දේවල් වලට බෙහෙත් ගන්නවනම් තව ලෙඩ එන්න පුලුවන්.ඒ නිසා ජීවිතේ අංක 1 දෙමාපියන්ට වෙන් කරන්න.කිසිම කෙනෙක් අම්ම තාත්ත වගේ නෑ.බුදුරජාණන් වහන්සෙත් දේශනා කරල තියනව අම්ම තාත්තව දෙවුර මත අවුරුදු 100ක් මලමුත්‍ර අතින් සෝදමින්,බිම නොතියා සැලකුවත් අම්ම පෙවූ එක කිරිකදුළක ණය ගෙවන්න බෑ.පියතුමන් හෙලූ එක දහදිය බිදුවක ණය ගෙවන්න බෑ.දෙමාපියන්ව ධර්ම මාර්ගයට යොමු කරොත් විතරයි ඒ ණය පියවගන්න පුලුවන් කියල.දැන් මට පුලුවන් විදියට පොඩි පිංකමක් හරි කරල අම්මට පින් අනුමෝදන් කරනව.මට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එච්චරයි.මට තාමත් අම්මා එක්ක කතා කරන්න ඕන.වෙනද වගේ හයියෙන් බදාගන්න ඕන.ඒත් මට තවදුරටත් ඒක කරන්න බෑ.ඒත් ඔයාට පුලුවන් .ඔයා ගොඩක් වාසනාවන්තයි.යන්න ගිහින් අම්ම තාත්තා ට ආදරෙයි කියන්න.තමන්ගෙන් උන වැරදිවලට සමාව ඉල්ලන්න.එයා ඔයා එනකන් බලන් ඇති❤️ තමන්ගෙ සහ අම්ම තාත්තගේ මරණය වේලාසන සිහි කරන්න.අපි මැරෙන මිනිස්සු.අද අපි ජීවත් වෙන අන්තිම දවස වෙන්නත් පුලුවන් .එහෙම හිතන් ජීවත් වෙන එක ලේසි.එතකොට අපේ ජීවිතේ මීට වඩා අර්ථවත් කරගන්න පුලුවන්.ඕනම කෙනෙක්ගෙ අහිමි වීමක් දරාගන්න පුලුවන්..
....................................................................................
වෙනද මට කවුරු වගේ වෙන්න ඕනද කියල හිත හිත ඉන්නකොට එක එක අයව ඔලුවට එනව.ඒත් දැන් මට ඕන අම්ම වගේ කෙනෙක් වෙන්න.ඒක කරන්න බැරි දෙයක් කියලත් මන් දන්නවා.ඒත් අදත් හෙටත් මට ඕන මගේ අම්ම වගේ වෙන්න.හැම මොහොතකම හිතෙන්නෙ අනේ අම්ම තාම අපි එක්ක ජීවත් වෙනවනම් කියල.ඔයාගෙ අම්ම තාත්ත ළග ඉන්නවනම් ආදරෙන් බලාගන්න..ඒ අපේ අවධානය,ආදරය අනිවාර්යයෙන් ම ලැබිය යුතු දෙන්නෙක්. අම්මගෙ ආදරේ වටිනාකම හරිහැටි තේරෙනකොට අම්ම අපෙන් ඈත් වෙලා ගිහින් ඉවරයි.අම්ම නැති අඩුව මට හැමදාටම දැනේවි.කිසිම ආත්මෙක මගේ අම්මට මේවගේ අකල් මරණයක් සිදු නොවේවා.නුදුරු භවයකදීම උතුම් ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා.මේ දුක්ඛිත සංසාරෙන් එතෙර වීමට හැකිවේවා.??
✍️-තීක්ෂණා බුද්ධි-