Sunday, October 20, 2024
Follow Us
නපුරු සුරංගනාවන්  සහ කියුට් රාස්සයෝ

වෙන් වුන මිනිස්සුන්ගේ ජීවිත ආපසු එකතු කරන්න වෙන්න තියෙන මහන්සිය හරි විසාලයි .


වෙන්වුන හේතු හොයල , ඒවාට තර්ක හදල , ඒ අයව පරාජය කරලා , තමන් වැරදි බව ඔප්පු කරල , දරදඬු හිත් මෙලෙක් කරලා , හිතේ බය නැති කරල , පසු කාලෙක භුක්ති වින්ද නිදහස තේරුමක් නැති බව ඒත්තු ගන්නල ..... ඒක හරියටම ඇසින් දුටු සාක්කි සහිත මිණී මැරුම් නඩුවක ඇපෑලකදී විත්තියේ නිර්දෝෂී භාවය ඔප්පු කරනවා වගේ අමාරු වැඩක් .
මේ වගේ පුද්ගලික ගැටළු විශ්ලේෂණය කරනකොට මට දැනෙන්නෙ සුරංගනා කථාවක් බලාගෙන හිටපු දෙන්න හදිසියේම වෙන්වෙලා ගිහින් වගේ .
වෙන්වුන හේතුව මොකද්ද කියල තවමත් හරියටම හොයා ගන්න බැරි අයත් ඒ අතර ඉන්නවා , ඒත් සුරංගනා කතාවක් බල බල හිටපු බව දෙන්නටම තාම මතකයි .
අයෙත් ඇයි ඒ කථාව බලන්නේ නැත්තෙ ? මම දෙන්නගෙන්ම ඒ ප්‍රශ්නය අහනවා .
උත්තරය හරි පැහැදිළියි
ඒ සුරංගනා කථාවේ ලස්සන සුරංගනාවියක් ඇවිල්ල පලතුරු කූඩයක් ගෙනල්ල ළඟ ඉඳගෙන හුරතල් වුන කොටස විතරක් එක්කෙනක් මතක තියාගෙන ඉන්නව , අනිත් කෙනාට මතක තියෙන්නෙ නපුරු මන්තර කාරියෝ , රාස්සයෝ ඇවිල්ල , ගෙදර බඩු මුට්ටු පොඩි කරල ගෙට ගිනි තියල ගිය කොටස විතරයි .
අපි ජීවිතේ තීරන ගන්නෙ අපට මතක හිටිය සිද්ධි ගැන හිතල , අසාධාරණ ලෙස .වැදගත් කොටස් බොහොමයක් මග හැරලා !
හැම සුරංගනා කතාවකම ලස්සන සුරංගනාවන් වගේම මන්තර කාරයෝ , රාසයොත් ඉන්නව ,,,, රාස්සයන් අමතක කරල සුරංගනාවන් ගැන මතක තියා ගන්න පුළුවන් නම් ,,,,, දවසක රාස්සයන්ව එලවල දාල ඒක හැබෑ සුරංගනා කථාවක් කර ගන්න උත්සහ කරන්න පුළුවන් .
උත්සහ කළොත් විරූපී ගෙම්බන්ව ලස්සන කුමාරයෙක් කරන්නත් පුළුවන් , ඒත් සමහර ලස්සන කුමාර වරු පස්සෙ කාලෙකදී විරූපී ගෙම්බන් බවට පත් වෙන එක තමා ඉවසන්න බැරි !
============
නාරද විජයසූරිය