Sunday, October 20, 2024
Follow Us
රොබට්‌ මුගාබේ

" දෙවියන්වහන්සේ සමීපයට කැඳවාගන්නා තුරු, එනම් මරණය තුරු තමා රට කරවනවා "


රොබට්‌ මුගාබේ ජීවත් වූයේත් සිම්බාබ්වේ පාලනය කළේත් සැබෑම ඒකාධිපතියෙකු පරිද්දෙනි. ඔහුට අවශ්‍ය වී තිබුණේ තමාට පසුව තමන්ට වඩා වසර හතලිස්‌ එකක්‌ බාල තම බිරිඳට සිම්බාබ්වේහි පාලනය පවරන්නටය. 2017 නොවැම්බර් 06 වැනි දින රොබට්‌ මුගාබේ විසින් සිම්බාබ්වේහි උප ජනපති ධුරයේ උන් එමර්සන් මනන්ගාග්වා එම ධුරයෙන් පහ කරන්නේ තම බිරිඳ වන ග්රේස්‌ මුගාබේට උප ජනාධිපති පදවිය ලබා දෙන අරමුණ ඇතිවය. රොබට්‌ මුගාබේගේ බලය කණපිට පෙරලෙන්නේ මේ සිදුවීමෙන් පසුවය. ග්‍රේස්‌ මුගාබේව උප ජනාධිපති ධුරයට පත් කිරීම පිළිබඳව බහුතරයකගේ අප්‍රසාදය එල්ල වුවද රොබට්‌ මුගාබේ එම විරෝධතාවයන් ගණනකට ගත්තේ නැත.
තම බිරිදව උප ජනාධිපති පදවියට පත් කරන්නට කටයුතු සූදානම් කෙරෙද්දි සිම්බාබ්වේ හමුදාව විසින් නොවැම්බර් 15 වැනි දින ජනපති රොබට්‌ මුගාබේ ඇතුළු පවුලේ පිරිස අත්අඩංගුවට ගෙන නිවාස අඩස්‌සියේ රඳවා ගනු ලැබිණ. මෙයට පෙරාතුව රාජ්‍යයේ මාධ්‍ය ආයතන තමන්ගේ පාලනය යටතට ගන්නටත් සිම්බාබ්වේ හමුදා නායකයින් කටයුතු කොට තිබිණ.
මෙය හමුදා කුමන්ත්‍රණයක්‌ නොවන බවත්, රටේ ව්‍යවස්‌ථාව හා යහපාලනය පවත්වා ගැනීමට දියත් කළ සාමකාමී මෙහෙයුමක්‌ බවත්, ලේ වැගිරීමකින් තොරව සාමකාමීව බලය පවරා දෙන්නට රොබට්‌ මුගාබේ එකඟ වූ බවත් හමුදාව විසින් මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කරනු ලැබිණ. එසේම මෙතෙක්‌ කල් රට පාලනය කළ ජනපති සහ ඔහුගේ පවුලේ අය ආරක්‌ෂිතව හා සැප පහසුවෙන් රඳවා ඇති බවත් ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් රොබට්‌ මුගාබේ හෝ ඔහුගේ පවුලේ අය සිටිනා තැනක්‌ පිළිබඳව නිශ්චිත තොරතුරක්‌ මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය නොවුණි.

Nadeesha Nirmana Herath