Saturday, October 19, 2024
Follow Us
 අංගුලිමාල මහ සෑ රජුන්

2019 වර්ෂයේ මාර්තු මස 18 වන දින අපගේ ආර්ය වු අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා වැඩමවා සෑය ඉදිවන භූමියේ සොදුරු මණ්ඩපයක වඩාහිදුවා අරහන්තක වන්දනාවක් සිදුකෙරුණි.සෑ භූමියේ පළමු පිඩැල්ල කපමින් 2019 වර්ෂයේ මාර්තු මස 29 වන දින භූමිය සැකසීම ආරම්භ විය.


2019 වර්ෂයේ අප්‍රේල් මස 18 වන දින සෑ රජාණන්වහන්සේ උදෙසා මුල්ගල තැබීම සිදුවිය. එසේ ඉදි වුණ අංගුලිමාල සෑ රජුන්ගේ හතරැස් කොටුවෙහි ශ්‍රී සර්වඥ ධාතු නිදානය සිදු වුයේ 2020 වර්ෂයේ මැයි මස 7 වන දින, එනම් වෙසක් පුන් පොහෝ දින දීය. එම වෙසක් මස ම 16 වන දින සිදු වුයේ කොත් පැළදවීමයි. අංගුලිමාල මහරහතන් වහන්සේගේ දහසක් ශ්‍රීමත් ධාතුන් වහන්සේලා නිධානය 2020 වර්ෂයේ ජුලි මස 04 වන දින, එනම් ඇසළ පුන් පොහෝ දා මහමෙව්නාවේ සියලු පින්වත් සගරුවනේ සහභාගිත්වයෙන් සිදු විය.
තව්තිසා දෙව්ලොව දෙවියන් විසින් වන්දනා කරන ලද අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා අතරින් දහසක් ධාතුන් වහන්සේලා අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින්වහන්සේට) ලැබී තිබිණි. අපගේ පරම පුජනීය ගුරු දෙවිදුන් කළ පිරිසිදු සත්පුරුෂ දහම් සේවාවට ලැබුණු ත්‍යාගයකි. එය මිහිමඩලට ම ලැබුණු මහා ආශිර්වාදයකි. ඒ උතුම් ධාතුන් වහන්සේලා එදින රැස්ව සිටි 700 නමකට අධික සග පිරිසට දකින්නට අවස්ථාව ලැබිණි. මගසගරුවනේ සාදුකාරය මැද ඇසළ පුන් පෝදා රාත්‍රියේ උතුම් ධාතුන් වහන්සේලා සෑ ගැබෙහි වඩාහිදුවු සේක.මේ වනවිට එම උතුම් ධාතුන් වහන්සේලාත්,සතරැස් කොටුවේ වැඩසිටින සර්වඥ ධාතුන් වහන්සේලා අට නමත් සමග අංගුලිමාල මහා සෑයෙහි ධාතුන් වහන්සේලා එක්දහස් අට (1008)නමක් වැඩ සිටිති.
අංගුලිමාල මහා සෑ රජුන් අඩි 112 ක පමණ උසකින් යුතුය. නිල්වන් අහස සිඹිනා මහා තෙද ඇති, මහා බල ඇති, දුක් දුරුකරවන ,සිත් පහන් කරවන ,සොදුරු මහා සෑය යි.
සෑයට විශේෂ පුජාවන් පැවැත්වීම...
ස්තූප වන්දනාව සුපුරුදු පරිදි සිදු කරන්න. නමුත් විශේෂ හේතුවක් මත කරන පුජාවන්වලදි හා යම් කටයුක්තක් සම්බන්ධව සෑ රජුන්ට සිහි කොට ආශිර්වාද සලසා ගැනීමට පැමිණීමේහි පළමුවෙන් ම පහන් මණ්ඩපයේ පහන් දල්වා , බෝ රජුන් වැද , පිළියෙල කරගත් පුජාවන් ගෙන සෑ මළුවට ඇතුළුවන්න. බුදු ගුණ ,දහම් ගුණ ,සග ගුණ කියමින් සෑ රජුන් පැදකුණු කොට සෑ රජුන්ට සුවද දුම්, සුවද මල් පුජා කරන්න. ඔබට හැකි පුජාවන් සිදු කරන්න. සෑ රජුන් සාදර ගෞරවයෙන් වන්දනා කරන්න. තෙරුවන් වැද, අංගුලිමාල මුනිදුන් වැද ගථා කියම්න් පුජාවන් සිදු කරන්න. රතන සුත්‍රය සජ්ඣායනා කරන්න. ඉන් අනතුරුව තමා සිහි කිරීමට පැමිණි කාරණය සිහි කර සෑ රජුන්ට කියා සිටින්න.
උදා : තමාගේ ජිවිතය භාර කිරිමට පැමිණියේ නම්,
" ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින, අපගේ ආර්ය වු අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී මත් ධාතුන් වහන්සේලා දහස් නමක් සෑ ගැබේ වැඩසිටින ,දේවානුභාවය ආදී නොයෙක් ආනුභාවයන් පැතිර ඇති ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ට මාගේ ජිවිතය බාරයි...බාරයි...බාරයි.." උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ අනුහසින් මා හට සියලු ආරක්‍ෂාව ලැබේවා!
සියලු උවදුරු කරදර දුරු වේවා! උතුම් ගුණධර්ම පුරුදු කරන්නට ආශිර්වාද ලැබේවා!
යි මෙසේ තුන් වරක් කියා ජිවිතය පුජා කරන්න. මෙසේ හැකි සෑම අවස්ථාවක මා උතුම් සෑ රජුන් වදිමින් පුදමින් ආශිර්වාදය ලබා ගන්න.
දරුවන් සම්බන්ධයෙන් කරන පුජා.....
මුලික වතාවත් මෙහි සදහන් ආකාරයෙන් සිදු කරන්න. දරුවන් නොමැති යුවළක් නම්, ඒ අඹුසැමියන් දෙදෙනා දින 7 ක් හෝ 21 ක් හොදින් බඹසර රකිම්න්, ගුණදම් පුරමින් සෑ රජුන්ට පුජාවන් සිදු කොට පිරිත් කියා වන්දනා කොට දරුවන් පැතීම ආදී කටයුතු සිදු කරන්න. උපෝසථය සමාදන් වී දවසක් හෝ දින 7 ක් හෝ මේ පිළිවෙත සිදු කරන්නේ නම් වඩා හොද ය. නිවසේදී ද අංගුලිමාල මහරහතන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වා පැන් පුජා කරන්න.
( පහළ සත්‍යක්‍රියාව තිබේ)
ලෙඩදුක් කරදර ,අසනී, නොයෙක් උවදුරුවලදී කරන පුජාවන්.....
මේ කාරණයේදීත් සෑ රජුන්ගේ පිහිට බලාපොරොත්තු වන කෙනා විසින් පහන් දල්වා බෝරජුන් වැද පුජාවන් රැගෙන සෑ මළුවට ඇතුළුවන්න. අනතුරුව ඉතා ශ්‍රද්ධාවෙන් සෑ රජුන්ට සුවද පුජා කරන්න. බුදු ගුණ ,දහම් ගුණ , සඝ ගුණ කියමින් සෑ රජුන් පැදකුණු කරන්න. අනතුරුව හැකිනම් ගිතෙල්, මී පැණි, වැනි ඖෂධ පුජා කරන්න මල් ,මල්මාලා ආදිය ද පුජා කළ හැකිය. පිරිත් කරගැනීමට අවශ්‍ය පිරිත් නූල්,පිරිත් පැන් වේ නම් ඒවා පේසා වළල්ල මත ම තබන්න. අතට ගැනීමට අවශ්‍ය නැත. එය පිරිත් කියා අවසානයේ යන විට රැගෙන යා හැකිය.
සෑ රජුන් හොදින් පසග පිහිටුවා වදින්න. පහසුවෙන් ,තවත්කෙනෙකුට කරදරයක් නොවන සරණයි එ පසෙකට වී ඉදගෙන සෑ රජුන් වන්දනා කරන්න. තිසරණ සහිත පන්සිල් ගෙන තෙරුවන් වන්දනා කොට බුදු ගුණ ,සගගුණ කියමින් පුජාවන් පුජා කරන්න. අනතුරුව රතන සුත්‍රය ,බොජ්ඣංග පිරිත්, අංගුලිමාල පිරිත සජ්ඣායනා කරන්න. අංගුලිමාල පිරිත වැඩි වාරයක් සජ්ඣායනා කරන්න. ( ඔබ කැමති පරිදි තවත් ආරක්ෂක පිරිත් සජ්ඣායනා කළාට කමක් නැත.) ෛමත්‍රිි භාවනාදිය සිදු කළ හැකි නම වඩාත් හොදය. අවසානයේදී මේසේ සත්‍යක්‍රියා කරන්න.
මහානුභාව සම්පන්න සත්‍යක්‍රියාව....
ඒ භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අට නමක් වැඩසිටින , මේ උතුම් සෑ රජුන්ගේ බුද්ධානුභාවය පැතිරී ඇති බව සත්‍යය යි...සත්‍යය යි....සත්‍යය යි....
ඒ අපගේ ආර්ය වු අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන්වහන්සේලා දහස් නමක් වැඩ සිටින මේ උතුම් සෑ රජුන්ගේ සංඝානුභාවය පැතිරී ඇති බව සත්‍යය යි....සත්‍යය යි....සත්‍යය යි....
මේ උතුම් සෑ රජුන්ගේ ආරක්‍ෂා කරන ,වදිම්න් පුදම්න් සිටින, තිසරණ සරණ ගිය ආනුභාව සම්පන්න දෙවිවරුන්ගේ දේවානුභාවය මේ සෑ රජුන් තුළ පැතිරී ඇති බව සත්‍යය යි....සත්‍යය යි....සත්‍යය යි....
මේ උතුම් සෑ රජුන් ,වටිනා ඖෂධ නිධාපිත සුවදවත් ධාතු ගර්භයකින් යුතු බැවින් ඖෂධ ආනුභාවය ද පැතිරී ඇති බව සත්‍යය යි....සත්‍යය යි....සත්‍යය යි....
අපගේ ගුරු දෙවිදුන්ගේ පිරිසිදු ධර්ම ප්‍රචාරයේ ප්‍රථිපලයක් ලෙස අංගුලිමාල සෑ රජුන් ඉදිවුණ බව සත්‍යය යි....සත්‍යය යි....සත්‍යය යි....මේ උතුම් සත්‍යානුභාවයෙන් අප හට වැළදී තිබෙන රෝගාබාධ, උවදුරු ,කරදර, කම්කටුලු දුරින් ම දුරු වේවා!!!
(තමාගේ බලාපොරොත්තුව හෝ අසනීප කරදර මෙතැනදී සිහි කරන්න) අනතුරුව දෙවියන්ට පිං අනුමෝදන් කර තෙරුවන් කමා කරගෙන වන්දනාව අවසන් කරන්න. මළුවෙන් පිටට යෑමට පෙර නැවත සෑ රජුන්ගේ පාදම මත නළල තබා ' මාගේ ජිවිතය උතුම් අංගුලිමාල සෑ රජුන්ට බාරයි... බාරයි... බාරයි...උතුම් සෑ රජුන්ගේ අනුහසින් මා හට සියලු ආරක්‍ෂාව සැළසේවා! බුදු සසුනේ පිහිට ලබන්නට වාසනාව ලැබේවා' යි සිහිකොට වන්දනා කරන්න. මේ අනිසාරයෙන් උතුම් අංගුලිමාල මහා සෑ රජුන්ගේ පිහිට සලසා ගන්න.
අපගේ ආර්ය වු අංගුලිමාල මහ රහතන් වහන්සේ යම් දහමක් අවබෝධ කළ සේක්ද, අප විසින් රැස් කළ සියලු පින් බලයෙන් ඒ උතුම් ධර්මය අපට ද අවබෝධ වේවා!
සාදු !සාදු !සාදු ..!
තෙරුවන් සරණයි !
පින්වත් අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින්වහන්සේගේ දහම් පොතක් ඇසුරින් සකසන ලිපියකි.