Saturday, October 19, 2024
Follow Us
ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණෙමි…..

බලාපොරොත්තු කන්දක් තියාගෙන සිටී අම්මාට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පැමිණි දින ගෙදර විත්, මා අසමත් බව කියා ගන්නට නොහැකිව පුංචි සිතේ ඇතිවුණු කම්පනය, අවුරුදු තිස් දෙකකට පසු අදටත් මට ගලේ කෙටුවා සේ මතකය. අපේක්ෂා සුන් වූ අම්මා ගේ දුක්බර මුහුණ පුංචි මට දරාගන්න බැරි වේදනාවක් ගෙන දුන්නේය.


නමුත් ඉන්පසුව, සාමාන්‍ය පෙළට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා ගත්තෙමි (A9). උසස් පෙළ විභාගය පළමු වර ම වයඹ පළාතේ විසි වෙනියා ලෙස සමත්ව (මා මුල් තිදෙනා අතරට පැමිණෙනු ඇතැයි ගුරුවරුන් විශ්වාස තබා සිටිය ද මට ඒ ගැන වගේ වගක් තිබුණේ නැත ) වෛද්‍ය විද්‍යාලයට වයස අවුරුදු 18 වන විට ම සුදුසුකම් ගත්තෙමි.
පියාගේ හදිසි අභාවය අතරතුර වුව ද, නියමිත මුල් අවුරුදු පහ අවසන් වන විට වෛද්‍ය උපාධිය ලබා ගත්තෙමි. පසු කලක කොළඹ විශ්වවිද්‍යාලයෙන් පළමු පශ්චාත් ආචාර්ය උපාධිය ලබා, අද වන විට එංගලන්තෙයේ ඉහළම විශ්වවිද්‍යාලයකින් මගේ දෙවැනි ආචාර්ය උපාධිය ද අවසන් වසර දක්වා රැගෙන විත් ඇත.
ඉතිං , ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ දරුවන්ට මම ආදරෙන් සුබ පතන අතර, අවශ්‍ය කඩයිම් ලකුණු ලබා ගන්නට අපහසු වුණු දරුවන් වෙනුවෙන් ද ඒ දෙමව්පියන් වෙනුවෙන් ද, ඉසඹුවක් ලබාගෙන, දහසක් වැඩ අතර කඩිමුඩියේ ( රහසේ හඬන තැවෙන එක පුංචි සිතක් හෝ එක දෙමව්පියෙක් හෝ සනසන්නට, යථාර්ථය ඔවුන්ට අවබෝධ කර දෙන්නට සිතා ලියමි) මේ සටහන තබමි. ‘ඔබේ අනාගතය ඔබ සිතනවාට වඩා ඉතා දීප්තිමත්ය. මොහොතක්වත් කම්පා නොවී නැගිට සිට හෙට දවස වෙනුවෙන් අලුත් සැලැස්ම හදන්න. ඔබ දිනනවා, ස්ථීතීරයි!!! ඔබ සිතන පතන ආකාරයෙන්ම ඔබේ සිහින ඉටු වනවා නියත යි.'
වෛද්‍ය සුරංජී දහනායක,
එංගලන්තයේ යෝර්ක් නුවර සිට...