Saturday, October 19, 2024
Follow Us
විවාහ ජීවිතයේ පරාමායුෂ

"කවුරු කොහොම මොන බයිලා කිව්වත් අපි හැමෝම ඉස්සෙල්ලම කෙනෙක්ට ළං වෙන්නේ රූපය නිසා. සමහර වෙලාවට අපි කෙනෙක්ව දැක්ක ගමන් අපේ හිතේ ඒ කෙනා ගැන මොකක් හරි අමුතු හැඟීමක් ඇති වෙනවා. සමහරු හිතන්නේ ඒක ආදරය කියලා. ඒක ආදරය නෙමෙයි, ඒක තමයි ආකර්ශනය.


දෙන්නට දෙන්නා කාලයක් ආශ්‍රය කළාට පස්සේ තමයි, දෙන්නා අතර බැඳීමක්, පැහැදීමක් සහ කැමැත්තක් ඇති වෙන්නේ. අපි මුලින්ම ඒ කෙනාට ආකර්ශනය වුනාණේ. ඊට පස්සේ තමයි අපි ඒ කෙනාගේ ගතිගුණ, රුචි අරුචිකම්, අදහස් සහ එකී, මෙකී නොකී හැම දෙයක් ගැනම උනන්දු වෙන්නේ. ඒක තමයි ආදරයක් ඇති වීමේ පළමු පියවර.
මෙන්න මේ ආදරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි කසාද බඳින්නේ. කසාද බැන්දත් දෙන්නා අතරේ හරිහමන් අවබෝධයක් නැහැ. තියෙන්නේ ආකර්ශනය, කැමැත්ත සහ ආදරය විතරයි. විවාහ වෙන මුල් කාලයේදි ඉතින් දෙන්නට දෙන්නා නැතිව බැහැ. කොයි වෙලාවෙත් කැමැති තුරුල් වෙලා ඉන්න.
ඔන්න දැන් ඉතින් විවාහ ජීවිතයේ දෙවැනි අදියරට එනවා. දෙන්නා තුන්දෙනා, හතර දෙනා වගේම සමහර වෙලාවට පස්දෙනත් වෙනවා. දැන් අර ආදරය එළියට පේන්නේ නැහැ. පේන්නේ නැහැ නෙමෙයි ළමයින්ගේ වැඩ නිසා පෙන්නන්ඩ වෙලාවක් නැහැ. ආකර්ශනයක් නම් නැති තරම්. ඒ වෙනුවට අලුත් දෙයක් ජීවිතයට එනවා. ඒ තමයි වගකීම්.
අර අපි මුලින්ම දැකපු දවසේ ආකර්ශනය වුණු දේවල් ගොඩාක් අපිව දාලා යන්නේ මේ කාලෙදි තමයි. බැඳපු මුල් කාලේ, දෙන්නට දෙන්නා විතරක් හිටිය කාලේ දවසට දෙතුන්පාර කිරි කිරි ගාලා හෙල්ලුණු ඇඳ දැන් හෙල්ලෙන්නේ සති දෙක තුනකට සැරයක්. සමහර වෙලාවට මාසෙකට සැරයයි. ඒකත් කසාදය කියන වචනය නිසා.
ඔන්න ජීවිතයේ තුන්වැනි අදියරයට එනවා. ළමයි ලොකුයි. ඒ අය කසාද බැඳලා වෙනම පදිංචිය ගිහින්. දෙන්නා දෙමාල්ලෝ මුල් කාලේ වගේම තනිවෙනවා. ඉස්සර දවසට දෙතුන් පාර ඇවිස්සුනේ තමන්ද කියලත් වෙලාවකට කල්පනා වෙනවා. දෙන්නගෙන් කාටවත් තනියම තමන්ගේ වැඩ කරගන්න පුලුවන් කමක් නැහැ. ඔය කාලෙදි තමයි දෙන්නට දෙන්නගේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වැඩියෙන් දැනෙන්නේ.
අන්න ඒකට තමයි අවබෝධය කියන්නේ. දෙන්නට දෙන්නා ගැන නියම අවබෝධය ලැබෙන්නේ මේ කාලයේදි. ඒක අර කලින් කියපු ආකර්ශනය, ආදරය සහ වගකීම්වලට එහා ගියපු ආධ්‍යාත්මික දෙයක්.
අන්න ඒ ආධ්‍යාත්මික අවබෝධය ලැබෙන කම් එකට ඉන්න අඹුසැමියන්ට මම පට්ටම කැමැතිත් ඒකමයි. මොකද විවාහ ජීවිතයේ පරාමායුෂ විඳින්නේ අන්න ඒ අය."
- අනිල් අයියේ මුහුණු පොතෙන්