Saturday, October 19, 2024
Follow Us
ලියන්නෙකුගේ මනුස්සකම පිරි ප්‍රේමය...

"එක උණ්ඩයක් එක්කෙනෙක් ළඟට විතරයි යන්නෙ..ඒත් එක අකුරක් ලක්ෂයක්දෙනා අතරට යනවා".


Shyam Singha Roy ලියන්නෙක් ගැන ලොකුවටම කතා කරපු චිත්‍රපටියක්..පෑනේ තියෙන හයිය පෙන්නපු හොඳම චිත්‍රපටියක්..ඊටත් වඩා ලස්සනම ආදර කතාවක්...
2022 අවුරුද්දෙ චිත්‍රපටි බැලීමේ ආරම්භය බොහොම හොඳ ආරම්භක් වුණා..තෙළිඟු චිත්‍රපටි අතරින් බලපු විශිෂ්ටම චිත්‍රපටියක් විදිහට දකින්න පුළුවන් මේ චිත්‍රපටියේ කතා තේමාව ආත්ම දෙකක් අතරේ ලියවෙන කතාවක්. පුනර්භවය ගැන කියවෙන චිත්‍රපටි කොච්චර තිබුණත් මේ තරම්ම අමුතු විදිහට පුනර්භවය ගැන කියවෙන කතාවක් මීට කලින් බලලා නෑ කියලා ඔයාටත් හිතෙන්න පුළුවන්.
ප්‍රේමම් චිත්‍රපටියෙන් අඳුරගත්ත සායි පල්ලවීව මතක හිටින විදිහට රෝසිගේ චරිතයෙන් මේ ෆිල්ම් එකේ දී බලාගන්න පුළුවන්. කතාවේ ප්‍රධානියා රෝයිවත් අමතක වෙන්නෙ නැති වෙයි.
කුලයෙන් මිනිස්සු මනින සමාජයක අපි තාමත් ජීවත් වෙන්නෙ. ඉන්දියාව කියන්නෙ ඒ ඛේදවාචකයට මුහුණ දෙන වැඩිම ජනගහනයක් ඉන්න රට කිව්වොත් හරි. කුලය නිසා සහෝදරකමත් අත් හරින්න පුළුවන් වගේම කුලයට වඩා මනුස්සකම වටිනවා කියන දේත් මේ ෆිල්ම් එකේදී ම බලාගන්න පුළුවන්...කුලය නිසා තමන්ගේ ම සහෝදරයාව මරලා දාන්න හිත හදාගන්නකොට ඒ වෙලාවෙත් තමන්ව තාත්තෙක් වගේ ආදරෙන් බලාගත්ත වැඩිමල් සහෝදරයව වැළඳ ගන්න තරමට රෝයි කියන්නෙ කළගුණ දන්න හොඳ සහෝදරයෙක්...
ප්‍රේමයක් නම් රෝයිගේ වගේ ප්‍රේමයක් මේ ලෝකේ හැම ගැහැණියක්ම ප්‍රාර්ථනා කරනවා.භෞතික දේවල් ගැන විතරක්ම හිතලා ආදර කතා පටන් ගන්න, භෞතිකව බලාපොරොත්තු වෙන දේවල් නැති නිසා ආදරේ අත් හරින මිනිස්සු ඉන්න ලෝකෙක, හැමදේටම වඩා ගැහැණියට ගරු කරන, අන්තිම හුස්මත් ගිලිහිලා යනකම්ම එකම ප්‍රේමයක් වෙනුවෙන්ම ඉන්න කෙනෙක්ව ලැබීම ඇත්තටම වාසනාවක්. හාල් කිලෝ එකක් වෙනුවෙන් කෝවිලට පූජා කරපු කෙල්ලෙක්ව උසස් කුලයක ඉපදුණ රෝයි ආත්මයක් පසුකර ගියත් අමතක නොවෙන විදිහට හිතේ තියාගන්නවා කියන එකත් පුදුමයක් නෙවෙයි..
තමන්ගේ බිරිඳට කිසිම දවසක දරුවෙක් බිහි කරන්න බැහැ කිව්වම තවත් දරුවෙක් මොකටද..මාව මදිද අහන..බැල්මකින් හෝ කිසිම වෙනසක් නොකරන පිරිමියෙක් තමන්ගේ සැමියා විදිහට ලැබුණ බිරිඳක් ලෝකෙන්ම වාසනාවන්තියක්...
ශ්‍යාම් තරම් හොඳ ප්‍රේමවන්තයෙක්, සැමියෙක්, සහෝදරයෙක් කියන චරිත තුනටම එක වගේ පණ දෙන කෙනෙක් මට මීට කලින් චිත්‍රපටයක හමුවෙලා නැහැ.
ෆිල්ම් එක පැය දෙකකට වැඩි කාලයක් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම ඔයා කැමතිම චිත්‍රපටි අතරට රෝයිගෙයි රෝසිගෙයි කතාවත් එකතු වෙන එක නම් අනිවාර්යයි.
රශ්මි මහේෂා ප්‍රනාන්දු...?️