Saturday, October 19, 2024
Follow Us
මෙි මනුස්සයා ගැන මට හරි සැකයි අනේ

" අයිවන් මම කියන්නෙ මෙි මනුස්සයා ගැන මට හරි සැකයි අනේ"


ජයමිණී ,නින්දට පැමිණි අයිවන් හට කිරි කෝපි කෝප්පය අතට දුන්නාය.ඔහු සිටියේ හෙම්බත්වය.දවස පුරාම ෆේස් මාක්ස් එක දමාගෙන සිටීමෙන් මුහුණෙහි රැල්ලක් පැමිණ ඇත.
" අනේ ජයමිණී ඔය වයසක මනුස්සයා එහෙම කෙනෙක් නෙවෙි "
" හම් ඔයාට නම් මොකද ඉතින්,දන්නවද මම අද හවස මල් වලට වතුර දාත්දි මිනිහ බලාගෙන හිටිය"
" ඉතින් " අයිවන් කට වසාගෙන සිනාසෙයි.
" මම මිනිහට රවල බැලුව.අයිවන් ඔයාට නම් හිනා"
" ඔයා මොකක්ද ඇදගෙන හිටියෙ "
" කොට ගවුමක් අනේ"
අයිවන් විදුලි පහන් නිවා දැමූ අතර ජයමිණී හිස් කෝප්පය රැගෙන කාමරෙන් පිටව ගියාය.
*************
" ගුඩ් මෝනින් මිස්ටර් අයිවන් " ගේට්ටුව වසමින් නිවසින් පිටතට එත්දී ඉහල මාලය ⁣තුල සිටි ජස්ටින් ඔහු දෙස බැලුවෙිය.
" ගුඩ් මෝනින් මිස්ටර් ජස්ටින්.කොහොමද"
" හොඳයි. මං හැදුවෙ අද ලස්සන මල් වැල් ටිකක් තාප්පෙට යවන්න.අයිවන්ලගෙ තාප්පෙටත් යවන්නද"
" තාප්පෙට විතරක් යවන්න හරිද " අයිවන් සිනාසෙමින් පැවසුවද එය ජස්ටින් හට ඇසුනේ නැත්තේ ඔහුගේ කලක සිට පැවති ශ්‍රවණාබාධිත තත්වය නිසාමය.
" එහෙනම් ගිහින් එන්න "
*****************
ජයමිණී සවස් කාලය පුරාම කලේ ගෙදර වැඩය.අනතුරුව තම පුතු නිදි අතරතුර ඇරොබික්ස් ව්‍යායෑම් කරන්නේද ඉහළ මාලයේය.
" ආ මිසිස් සමරසේකර,වර්ක් අවුට් කරන එක අගට හොදයි"
" මෙි ඇරොබික්ස් මිස්ටර් ජස්ටින්"
අසල නිවසේ ඉහළ මාලයේ සිටි ජස්ටින් පවසයි.එහෙත් ජස්ටින් දෙස නොබලා ඇය තම කාර්යයයෙහි නිරතවෙයි.
" දැට්ස් ගුඩ් " ජයමිණි ,ජස්ටින් හට රවමින් තම නිතඔ ගස්සා නිවස තුලට ඇදුනා.
" මෙි මිස්ටර් ජස්ටින් ඔයා ඔයාගෙ වැඩක් බලාගන්නවද.නාකි විසේ "
එවර ජස්ටින්ගේ මුහුණ අදුරු වන්නට විය.ඔහු එය ඇයගෙන් බලාපොරොත්තු නොවුණු ප්‍රතිචාරයකි.තලගොයෙක් ගුලට ඇදෙන්නා සේ වියපත් ජස්ටින් නොපෙනී යන්නට විය.
" ආවා මෙතන "
****************
" අයිවන් අදත් අර මිනිහා " තම පුවත්පත් බැලීමෙි විනෝදාංශය කඩාකප්පල් කිරීමට ජයමිණී දක්ෂය.
" මොනවද උනේ"
" ඒ පාර මිනිහ මම ⁣එක්සර්සයිස් කරනව බලාගෙන හිටිය.තනිකඩව ඉන්නව මදිවට " ඇය කෝපයෙන් පිපිරෙන්නීය.
" ජයමිණී,ඒක මිනිහගෙ නිදහස .අනික දෙයක් දකින්න කෙනෙකුට එපා කියන්නද කියන්නෙ"
" පිරිමි හැමෝම ඔිමද අයිවන්"
එයට දෙන්නට උත්තර නැත.රෑ පුරාම ඇය පැවසූයේ ගෙවත්ත ලස්සන කරන මල් පැල ගැනය.පෙරදිනෙක ගම්පහ මල් කඩෙිකට ගොඩ වී මල් රැගෙන ආවත් ඒවා ජයමිණීගේ මනාපය නොවෙි.
" මල් ගන්නවනම් මාවත් එක්ක යන්න"
********************
දිනක් අයිවන් වෙනදාටත් වඩා කලින් නිවසට පැමිණි අතර ඔහු අතේ වූයේ ඇය සෙවූ මල් පැලය.
" අයිවන් ,ඔයා" ඇය සතුටෙන් ඉපිලෙන්නට විය.
අැය දිනය අවසන් වුවද මල් පැල වතුරේ දමා සාත්තු කරන්නට වූවාය.එදා නම් අයිවන් හට කිරි කෝපි ලැබුනේ නැත.
*************
ජයමිණී වතුර තිබහ නිසා ඇහැ ඇරෙන මොහොතේ වතුර බොන්නට ඇඳෙන් නැගිටි අතර වතුර බී ඉහල මාලයේ කාමරේ දොර විවෘත කලේ හීන් සුළඟක් වදින්නටය.ජස්ටින්ගේ කාම⁣රයේ ආලෝකයක් දැල්වෙයි.
" හම්...හම්...අමාරුයි ...මට හොදටම කවුරුත් ඉන්නවද" ඒ ඔහුගේ කටහඩයි.විපතක්ද නැත්නම් ජස්ටින් තමාව දැක පොලඔවා ගන්න ට උත්සහයක්ද කියා ජයමිණී දෙගිඩියාවෙන් පසුවිය.අයිවන්ට ඇහැරවන්නෙ නැතිව ඉන්නවා යැයි සිතූ ඇය විදුලි පහන් නිවා නින්දට වැටුනාය.
***********
වෙනදා එලාමය නතර කරන අයිවන් අද ඇදමත නොසිටිබව ඇය දුටුවාය.එකිනෙහි ඇය නැගිටින විටම ඔහුපැමිණියේය.
" උදේම කොහෙද ගියේ "
" ඊයෙ මිස්ටර් ජස්ටින්ට අමාරු වෙලා "
"ම්..."
" මම හොස්පිටල් අරන් ගියා"
" දැන් මොකද"
" දැන් හොදින්.ඔයා රෑ නැගිටල තියෙනව ඇයි මට කිව්වෙ නැත්තෙ"
" ඒ මනුස්සයා...."
" ජයමිණී,ඔයා ඔච්චර සන්තෝෂයෙන් ගත්ත මල් පැල ටික හොයල දුන්නෙ ඒ මනුස්සයා. මිනිහ ලෙඩ වෙලා තියෙන්නෙ හැමදාම උදේට මල් පැල හොයන්න අර පහල වත්තට ගිය නිසා "
ඇය ජනේලයෙන් ජස්ටින්ගේ නිවස දෙස බැලුවාය.තාප්පය දිගේ පැමිණි මල් වැලක් තම නිවසේ තාප්පය වෙත පැමිණ ඇති බැව් අෑ දුටුවාය.
Nadisha Nirmana Herath ස්වතන්ත්‍ර කතාවකි(කතෘ අයිතිය සුරකින්න)