Saturday, October 19, 2024
Follow Us
සුබ ගමන්

ඉපදීමත් මරණයත් අතර ජීවිතය අතැඹුලක් සේ දන්නා අපි කාටත් මරණයෙන් පසුත්, උපතට පෙරත් කාලය පිළිබඳ පවතින්නෙ කුකුසක්.


ඒ නිසාමයි නිවන් ප්‍රාර්ථනා නොකරන, RIP නොකියන, ආගම් ප්‍රතික්ෂේප කරන අතිශය භෞතිකවාදීන් බොහෝ දෙනෙක් පවා තමන් ප්‍රියකරන කෙනෙක් මරණයට පත් වුනාම "සුබ ගමන්" කියන්නෙ.
ඉතින්, අපි කාගෙත් අවිඥානයේ තැන්පත්වෙලා තියනව ජීවිතේ කියන්නෙ දිග ගමනක එක නවාතැන්පලක් කියල අදහසක්.
මේ අදහසේ සත්‍ය, අසත්‍ය මොක වුනත් කලාවෙදි, සාහිත්‍යයේදි නම් මේක මාර වටිනවා.
''භවෙන් භවේ පෙරුම්පුරා එකතුවීම්'' ''සංසාරේ අපි එකට ඉමූ'' ''ඔබ දෙවියන් මා වෙත එවූ තෑග්ගක්'' මේව හරිම ලස්සනයි. අර උපතත්, මරණයත් අතර ගෙවෙන අපේ ජීවිත මේ වගේ අදහස් වලින් සුන්දර වෙනවා. එය යළි යළිත් බදා වැළඳගන්න උත්තේජන සපයනවා.
භාරතයේ ගීත කෝකිලාව, ලතා මංගෙෂ්කාර් මැතිණිය ගැනත් ඒ විදියට හිතන්න මම කැමතියි.
ඇය අනිවාර්යයෙන් දෙවියන් අපට තිළිණ කළ තෑග්ගක්. සුරලොවින් පැවරූ නිශ්චිත කාර්‍යයක් ඉටුකිරීමට මෙහි පැමිණි සුර දූතියක්.
ඇය ඒ කටයුත්ත කොයිතරම් හොඳට ඉටුකෙරුවාද කියනවනම් ඇයට විවාහ වීමටත් අමතක වෙලා.
වරෙක පුවත්පත් කලාවේදියෙක් විවාහ නොවුනේ ඇයි ද යනුවෙන් ඇගෙන් ප්‍රශ්න කළවිට ඇය දෙන කෙටි පිළිතුර "අහ්.., මට අමතක වුනා" යන්නයි.
අපි දන්න කතන්දරවල පවා සුර ලොවින් ඩියුටියක් භාරගෙන මෙහෙට එන සුරංගනාවියො, නාලොවින් ඩියුටි වලට එන නාග කන්‍යාවො මෙහෙදි කවුරුහරි පුඟුලෙක් එක්ක පැටලිලා වැඩේ පැත්තකට දාල තවත් අවුල් වියවුල් ගානකුත් හදාගෙන තමයි ආපහු යන්නෙ.
ඒත් ලතාට විවාහය අමතක වෙලා. ආව වැඩේ හරියටම කරලා එයා යන්න ගියා.
සුවිශේෂ ආත්ම එහෙම තමයි.
විවාහ වෙන එක, දරුවො හදන එක, උන්ට උගන්නන එක, පහේ ශිෂ්‍යත්වෙ කොහොමහරි පන්නන එක, ගෙවල් හදන එක, දෑවැදි හොයන එක මේ ලෝකෙට එන කවුරුත් කරන දේවල්. මේ දේවල් වෙනුවෙන් අපි ගහමරා ගත්තට ඒවා මේ ලෝකයේ සාමාන්‍යම දේවල්. කව්රුත් කරන, කාටත් පුළුවන් දේවල්.
සමහර දේ එහෙම නෙවෙයි. ඒව සුවිශේෂයි.
ඒ වෙනුවෙන් කරන කැපවීමෙ ප්‍රමාණයට ඒවයේ ප්‍රභාව වැඩි වෙනවා.
මේ සුවිශේෂී ආත්ම පෘතුවියට එන්නෙම විශේෂ රාජකාරිවලට. ඒවගේ අය ඉටුකරාපු කාර්යභාරය නිසා තමයි අපි කුටුම්බ ඇතුලෙ අපේම ජයග්‍රහණ ලබමින් "මාර" ජීවිත ගෙවන්නෙ.
මේ ලෝකෙ මෙතෙන්ට උස්සල තියන්න'අපේ ජිවිත පහසු කරන්න, අපේ ජිවිත රසවත් කරන්න, අපිව ශිෂ්ටසම්පන්න කරන්න, ජීවිත කාලෙම තනිකඩව ගෙවාපු, එක්කෝ ස්වාමිපුරුෂය අතහැරපු, බිරින්දෑ දාලගිය, නෑදෑයො කොන් කරාපු, තමන්ගෙයි කියල කාත්කවුරුත් නැතිව හුදකලාවම ලොවෙන් සමුගත්ත,ස්ථිර නිවහනක ජිවත් නොවුන විද්‍යාඥයො, කලාකාරයො, දාර්ශනිකයො, දේශපාලන ක්‍රියාකාරිකයො ලෝකෙ ඕනතරම් හිටියා. ඉන්නවා.
ඉතින් "ඇයි එයා බැන්දෙ නැත්තෙ" "අපරාදෙ එයා නොබැන්දෙ" '''තාමත් ගෙයක් දොරක් හදාගත්තේ නැද්ද '' අරය දෙමාපියෝ බලන්නේ නෑ නේද '' මෙයා රැවුල කපන්නේ නැත්තේ ඇයි
ඒවා නිරර්ථක ප්‍රශ්න.
පරමාර්ථ සාධනය කියන්නේ වෙනම වැඩක්.
ලතාගෙ ඒ මිහිරි ගීතවල එතී වෙලී ගලාගෙන එනවා ඇත්තේ එයා ගතකල තනිකඩ ජීවිතයේ වේදනාව හෝ මිහිරියාව.
එච්චරයි.
එයා අපේ ලෝකෙ එයා එන්න ඉස්සර තිබුනට වඩා ලස්සන කරලා ආපහු ගියා.
ලතා මංගේෂ්කාර් මැතිණියනි, .ඒ නිසයි මේ ස්තුතිය.
✍️ රෝහණ වර්ණකුලසූරිය