Saturday, October 19, 2024
Follow Us
නිදහස් අද්‍යාපනය දිනේවා

"Campus ජීවිතයේ අවුරුදු 3 ක් සිකුරුටි කළා. මිනිස්සු සතුටු කරන්න පාර දෙපැත්තේ වෙස් මුහුණු දාගෙන බක්කන් නැටුවා. කවදාවත් පෙර පාසලක් දැකලා නෑ.."


__________________________________________
නිදහස් අධ්‍යාපනය දිනේවා !!!!
කවුරැත් හදුනන කළු මාමා මගේ තත්තාය එසේත් නොමැතිනම් රැවුල් කළු මාමා ඔහුය. ගමේ මිනිසුන් ඔහු හදුනන්නේ එලෙසය, මගේ අම්මා පැහැයෙන් සුදුය. නමුදු අම්මා කවුරුත් දන්නේ කළු මාමාලහ නැන්දා ලෙසය,ඔහුට දරුවන් හත් දෙනෙකි. එහි දෙවැන්නා මමය. අපි ජිවත් වුනේ ගාල්ල උඩුගම අක්කර 80 ගමේය. එය දුශ්කර ගම්මානයකි අපි හත්දෙනා පාසල් ගියේ ආනන්ද විජය විදයාලයටය කිලෝමීටර් හයක් පමන දිනපතා පාසල් ගොස් ගෙදර ආවේ පයට සෙරෙප්පු තුබූ කූට්ටම්ද ගෙවා දමමිනි. එකී පා ගමන වසර එකොලසකි . අපි හත් දෙනාම එකම පාසලේ සිටින වික අක්කා එකෝලහ වසරේය, මම 10 වසරේය, ලොකු නංගි නමය වසරේය මල්ලි 7 වසරේත්, දෙවෙනි නන්ගි 5 වසරේත්, අනෙක් නංගි 3 වසරේත්, බාලයා එක වසරේත් ය. අපි හත් දෙනා ජීවත් කරවීමටත්, අධ්‍යාපනය ලාබා දීමටත් අම්මාත්, තත්තාත් නොකල කැපකිරීමට්ක් නොමැත.
උදෑසන අපේ නිවසේ බත් හැළිය ඉදෙන්නේ බත් පාර්සල් 12 කටත්, අපි හත් දෙනාට උදේ පාසල් යාමට ප්‍රථම බත් කෑමටත් ය. අපේ තත්තා අපි උදෑසන හිස් බඩින් කිසිදා පාසල් යවා නැත, කුලී රැකියාවට යාමට ලක ලෑස්ති වී ඔහු ප්‍රථමයෙන් ම කරන්නේ කොරහට බත් බෙදාගෙන අපිට කැවීමය. මොකද අපි නොකා යෑමේ ප්‍රතිවිපාක දන්නේ ඔහුය, උදෑසන අම්මා අපිට බත් පාර්සල් බෙදු පසු අම්මාට ඉතිරි වන්නේ දංකොඩ පමනක් බව තත්තා හොදින්ම දන්නා නිසා තත්තා වැඩට යාමට ප්‍රථම බත් මුට්ටියට එබිකම් කර තත්තාගේ බත් පාර්සල් දෙකෙන් එකක් තබා යන්නේ අම්මාටය, ඒ ඔවුන්ගේ ආදරණීය බවයි.තත්තා වැඩට යන වේලාවටම අපි හත් දෙනාද ඔහුගේ පසු පසින් පාසලට යා යුතුය, ඔහුගේ කඩිසර ගමනට නිතරගයෙන් අපිට හුරුය.කඩේ අප්පම් නම් හම්බෙන්නේම නැත, එය සිහිනයක් ය. අපේ ගෙදර යුද පිටියකි. අම්මාගේ කාර්‍ය වන්නේ අපි සත් දෙනාබලා ගැනීමත්, අපට හිමි ඉඩමේ තේ දලු කැඩීමත් ය, තාත්තාගේ රැකියාව කුලී වැඩ කිරීමය, ඔහු පෝයටවත් නිවාඩු නොලැබූ පියෙකි.
පාසල් ඇරී නිවසට එන වික අක්කාත් මමත් නංගිලාගේ බෑග් උස්සාගෙන ගෙදර එන්නේ ඔවුන්ට ඒ බර දරන්න අපහසු නිසාය.
තාත්තා හවස වැඩ ඇරී එනවිට අපි පාඩම් වැඩ කල යුතුය , ඔහුගේ ඔලුව දකිත් දී අපේ අතේ පොත්‍ ය. එසේ නොමැති වුවහොත් වන්නේ කුමක්ද කියා කවුරුත් දනී .අපේ තත්තාට කියවීමට ලිවීමට ද බැරිය. අපේ ගුරා අම්මා ය, අම්මා තරම් යකඩ ගැහිණියක් මා තවත් දැක නැත. අපිට පාසල් වාර නිවඩුවට පොත්, පෑන්, පැන්සල්, සපත්තු ,අරන් දීමට අම්මගේ කනකර බැංකුවට සින්න කෙරූ වාර අනන්ත අප්‍රමානය. අපි මුල් පස් දෙනාම පෙර පාසල් දැකලාවත් නැතිය, අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්‍ ය, අපි පාඩම් කරනතුරැ ඇහැරී සිටීම අම්මාගේත් තාත්තාගේත් රාජකාරිය විය, සා පෙළ විභාගයට මුහුණ දී ලැබෙන නිවාඩුවේදී කොළ්ඹ ගාමන්ට් එකට ගියේ ගෙදර ආර්ථිකය අපහසු බව මට දැනී තිබුන නිසා ය, එවිට මගේ වයස 16කි ඔඩිට් වලින් ගාමන්ට් එක පරීක්ෂා කරන විට පැකින් එකේ පෙට්ටිවල මමත් මගේ වයසේ පසුවන්නන් හැංගී සිටි ආකාරය මට තාමත් මතක ය, සා පෙළ සමත් වී , උ පෙළ හැදෑරීමට ගියේ ගාල්ල මහින්ද විදයාලයටය ගෙදරින් උදේ 4 පාසලට යෑමට පිටත් වූ මම පාසල ඇරී ගෙදර එන්නේ පහට පමනය, එය මාස තුන්කට සීමා වූයේ Kasun Gamage ආදරණීය මිත්‍රයා හමුවීම නිසාය, එවැනි හමුවීම් තිබෙන්නට මා වාසනාවන්තය. කිලෝමීටර් 16 පමන පා ගමනින් අවුරැදු දෙකක් උපකාරක පන්ති ගියේ යෑමට වෙන මගක් නොතිබූ නිසාවෙනි පළමු වර ප්‍රතිඵලයෙන් රැහුණු සරසවියට තේරුනද එය අත්හැර දෙවන වර උ පෙළ කලේ නීති පීඨයට තිබූ කැමැත්ත නිසාවෙනි. මේ සිහිනයන්හි මාගේ සෙවනැල්ල වුයේ ආදරණීය සුරේෂා ය. මා මෙහෙයවුයේ ඇය ය ඇයගේ ශක්තිය මගේ මවට නොදෙවෙනිය, උත්සාහයේත්, ශක්තියේත්, මාගේ ප්‍රතිමූර්තිය ඇය ය.
මගේ ජීවිතයේ මග පළමු ප්‍රතිඵලයෙන් සරසවියට නොගිය මොහොතේ තත්තා කීවේ" තෝ මගේ සල්ලි කාලා කැම්පස් නොගියොත් බලා ගන්නම් යනුවෙනි" කෙසේ නමුත් නීති පීඨයට යාමට නොහැකි වුවද කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් වීම්ට හැකි විය. විශ්වවිද්‍යාලයට තේරී පත් වුවා කියා අපට තෑගි ,භෝග , පාටි නොමැත ලැබුනේ සතුට පමනකි, ඊට වඩා දෙයක් දෙන්නට මගේ දෙමාපියනට වත්කම් නැත. ඒ අපේ පංතියේ ස්වභාවයයි.
සරසවි ජීවිතය සුන්දරය , ආදරණීයය ජීවිතය කිය දුන් තැනයි, මේ වන විට අක්කා රුහුණ සරසවියේත්, මම කොළඹ සරසවියේත්, නංගි ජයවර්ධනපුර සරසවියේත් ය, ආර්ථිකය දරුණු අගාධයකට බැස තිබුනේය, සරසවි ජීවිතය ගෙදරින් මුදල් ලබා ගත්තේ පළ්මු වසරේ පමනකි, කැම්පස් ජීවිතයේ අවුරැදු තුනක සිකුරුටි ජීවිතය ආදරයෙන් සිහිපත් කරමි, ජාතික රෝහල මාගේ දෙවන සරසවියයි, රෑට සිකුරුටි කිරීමත් දවල්ට දවසේ සරසවියට යාමත් මගේ කාර්‍ය විය, පාර දෙපස මිනිසුන් සතුටු කර්වීමට පාර දෙපස වෙස් මුහුණු දාගෙන බක්කන් නැටීමත් සරසවි ජීවිතය ජය ගැනීමට උපකාරී විය, එම සියලු රැකියාවන් මම ආදරයෙන් වැලදගනිමි. තාත්තාගේ ආර්ථිකයට සවියක් වූ මාගේ මල්ලිද ආදරයෙන් සිහිපත් කරමි. මෙම සිහිනයේ උත්තුංග නිමැවුම් කරුවන් ඔවුන් ය .නිදහස් අදයාපනය නොතිබෙන්නට මේ සියල්ලක්ම සිහිනයන් ය අපේ පවුලේ හතර දෙනෙකුට සරසවිය අදයාපනය දක්වා අදයාපනය ලබන්නට නිදහස් අදයාපනය වෙනුවෙන් අපිරිමිත කැපකිරීම් කල මිනිසුනි ඔබලාට උපහාරයක් වේවා!
අපේ පංතියේ මිනිසුනි
නිදහස් අද්‍යාපනය රකින්න්ට පෙළ ගැසෙමු
එය අපේ අවියයි
නිදහස් අද්‍යාපනය දිනේවා !!!!