Saturday, October 19, 2024
Follow Us
උපාධිය ගැනීම ප්‍රතික්ෂේප කිරීම

මේක ලියන්නෙ මතයන් දෙකක් මත සෝෂල් මීඩියා එක දෙකට බෙදී ඇති බව හොඳින්ම දැන ගෙන.


නුසුදුසු කෙනා මතින් උපාධිය ගැනීම ප්‍රතික්ෂේප කිරීම අගය කරනවා කියන්න එක කොටසකුත්, එම විරෝධය කිසිදු වැඩක් නැති බව හා එහි නුසුදුසු බව කියන්න තවත් කොටසකුත් ඉන්නවා.
අපේ හිතමු කෙනෙක් පොදු අවකාශයේ අපහසුවට පත්වෙනවා කියලා. බස් එකේ යන කොට ගෑනු කෙනෙක් පිරිමි කෙනෙකුගේ කම්මුලට ගහනවා. නැත්තම් පෝලිමක සිටි එක පුද්ගලයෙක් අනෙකාට ගහනවා. දැන් මේ අවස්ථා දෙකේදීම අපගේ පළවෙනිම සිතුවිල්ල විදියට පැමිණෙන්නේ ප්‍රසිද්ධියේ පහර කෑමට ලක්වූ පුද්ගලයා පිළිබඳ අනුකම්පාවක්. එය නම් මනුෂ්‍යයාගේ Empathy (සහකම්පන) සිතුවිල්ල. මේ සිතුවිල්ල අපට බැහැර කරන්න බෑ. ගෑනු කෙනා පිරිමි කෙනාට බස් එකේ යනකොට කම්මුලට ගැහුවෙ ඇයි? මේක අපට පේන්නේ නෑ. සමහර විට ඔහු ලිංගික අතවරයක් කරලා වෙන්න පුළුවන්. ඇයි පෝලිමේ සිටි කෙනෙක් අනෙකාට ගැහුවෙ. ඔහු අනෙකාගේ මුදල් පසුම්බිය සොරකම් කරන්න හැදුවා වෙන්න පුළුවන්. අපට පෙනෙන්නේ, සිදුවීම් දාමයේ එක් අර්ධයක් නිසා අප අපහසුවට පත්වන කෙනාට අනුකම්පාව දක්වනවා.
මේ වගේම උපාධිය නොගැනීම නිසාවෙන් අපහසුතාවයට පත් වුණු වයොවෘද්ධ හාමුදුරුවෝ ගැන අපට අනුකම්පාවක් එනවා. නමුත් එසේ වන විට විරෝධතාවයට පාදක වුණු, නුසුදුසු දේශපාලන පත්වීම සම්බන්ධ සිදුවීම අපගේ අවධානයෙන් ගිලිහෙනවා. සුදුසු කෙනකු අයින් කර, නුසුදුසු කෙනෙකු පත් කිරීමේ අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වය අපට නොපෙනී යනවා.
හාමුදුරුවන් මෙම නුසුදුසු පත්වීම නොගෙන ඉන්න තිබුණා. එම හාමුදුරුවන්ව පත් නොකර ඉන්න තිබුණා. මේ තවත් මතයක්. දැන් මෙහෙම හිතන කොට ගිලිහෙන දේ තමයි මේවා කලින් කතාබහකින් තොරව ඒක පාර්ශවිකව සිදු වුනු දේවල් කියලා ගැනීම. නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි දේ වෙන්නෙ දෙපාර්ශවයෙහි කැමැත්ත ඇතුව. නැතුව හාමුදුරුවෝ මේක බලයෙන් ඉල්ලලා වත්, හාමුදුරුවන්ට මේක බලෙන් ප්‍රදානය කරල වත් නෙමෙයි. මේ පත්වීම පැහැදිලි දේශපාලන අරමුණුනකින් යුතු ක්‍රියාවලියක්. සිසුන් කරන්නේ නුසුදුසු දේශපාලන පත්වීමට විරෝධයක්.
විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනා, තම උපාධි ප්‍රදානය නොගැනීම විශාල සිද්ධියක් වන්නේ එය සිදු කරන මොහොතේ නොවේ. එය විශාල සිද්ධියක් වන්නේ Retroactively. එනම් කාලයාගේ ඇවෑමෙන් එය ප්‍රසිද්ධ වූ පසු. මේ සිසුන් උපාධිය නොගැනීමට තීරණය කරන්නේ තම දේශපාලනික ස්ථාවරය තහවුරු කිරීමට විය හැකියි. එසේ නම් එය බොහෝවිට එය තමන්ගේ පෞද්ගලික විරෝධය වෙන්න පුළුවන්. නමුත් පසු කාලීනව එම සිද්ධිය නුසුදුසු දේශපාලන පත්වීම් වලට ප්‍රබල විරෝධයක් ලෙස සංකේතමය වටිනාකමක් සපයනවා.
මේ ආකාරයටම තමයි මොහොමඩ් අලී තම ඔලිම්පික් බොක්සින් පදක්කම ඔහියෝ ගඟට විසි කරේ. ජාතිවාදය වපුරන උඹලගෙ පදක්කම් මට එපා කියල. නමුත් පසුකාලීනව මොහොමඩ් අලි ගේ ක්‍රියාව ජාතිවාදයට එරෙහි සටන් මුලපුරන්න සංකේතමය වටිනා කමක් සපයනවා. බ්‍රසීලයේ විද්‍යාඥයින් 21ක් තමන්ට ලැබෙන්නට ගිය ගෞරව සම්මානය ප්‍රතික්ෂේප කරනවා. හේතුව බ්‍රසීල ජනාධිපති බොල්සනාරො, තමන්ගේ ස්ථාවරයට ප්‍රතිරෝධය දක්වන ලද විද්‍යාඥයින් දෙදෙනෙකුගේ නම්, ලැයිස්තුවෙන් ඉවත් කිරීම. නමුත් ඒ ක්‍රියාව තුළින් විශාල ප්‍රතිරෝධයක් බොල්සනාරොට පසුව එල්ල වෙනවා.
තවත් කතාවක් තමයි, මෙතරම් උපාධිය ප්‍රතික්ෂේප කරන්නට එය වටිනවාද, ලංකාවේ අධ්‍යාපනය කොයිබටද, විශ්ව විද්‍යාල වල ආකෘතිමය, ආයතන ගත ප්‍රශ්න කොතෙකුත් තිබෙනවාද යන ප්‍රශ්න. ඒවා වෙනම කතා කළ යුතු ප්‍රශ්න විනා සන්දර්භයට අදාල ප්‍රශ්න නොවේ. සිසුන්ගේ ක්‍රියාව පැහැදිලිවම සංකේතාත්මක වටිනාකමක් සපයන්නේ නුසුදුසු දේශපාලන පත්කිරීම් සඳහා වූ විරෝධය වෙනුවෙන්.
ලංකාවේ මහබැංකු අධිපතිගේ සිට උපකුලපති දක්වාත්, පහල රාජ්‍ය නිලතල දක්වාත් කොතරම් දේශපාලනික මැදිහත්වීම් සිදු වෙනවද? අපි ඇසිය ප්‍රශ්නය වන්නේ, මේ සිදුවීම නොවන්නට නුසුදුසු දේශපාලනික පත්කිරීම් පිළිබඳ සමාජ කතිකාව, නැවතත් කථාබහෙන් මැකී යනවා නොවේද යන්නයි. එම නිසා සිසුන්ගේ විරෝධයෙහි සංකේත වටිනාකමින් වත් ප්‍රයෝජනයක් ගෙන, ලාංකික දේශපාලනික ධාරාව වෙනස් කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි.

Marlon Roshan