" ආ.....සඳූ .....එන්න...සෙව්වන්දි අක්ක ඉන්නව...."
දොර විවර කලේ සේනක විසින් ....අයේෂා මුලුතැන්ගෙයට යාබදව තිබුණ අත්ට්‍රැක්ටරය දමන මඩුවට දිව ගියේ ...ලීලාවතී පැමිණ ඇතැයි සැක කරමින් වුවත් ...සෙව්වන්දි අක්කෙ යැයි ඇමතූ නිසා සේනක නම් ඒ ලීලාවතී නොවනබව දැන සිටියාය .....
" මංජුල සර් ගමේ ගිහින්ලු නේද ටිකට් කපල ....මට අයේෂා කීවෙ ....අයේෂත් ඇවිත් ඉන්නව ...."
සේනක කීවෙ නිවසට පැමිණි සඳූටයි....
" කෝ.....???"
සඳූ කෝ යනුවෙන් අසන්නට ඇත්තේ අයේෂාව වියහැකිය ....
" කුස්සියේ ...."
සේනක සඳූ සමඟ මුලුතැන්ගෙයට එද්දී .....කිත්තා හා සෙව්වන්දි තාමත් සිටියේ වත්තේ පහල ලිඳ අසල සෙව්වන්දි රෙදි සෝදන තැනයි....අයේෂා අත්ට්‍රැක්ටරය දමන මඩුවේ වාඩිවී සිටියේ රතුවූ මුහුණින් ....ඒ මීට මොහොතකට පෙර ලැබුණු ත්‍යාගය නිසා වියයුතුය ....
" ආ.....සඳූද අයියේ ඇවිත් ඉන්නෙ ...???
අයේෂා ඇසුවේ අත්ට්‍රැක්ටරයේ රියදුරු අසුනෙහි වාඩිවී සිටයි...
" මං ඇවිත් බාද කලා නේද ඔය දෙන්නට....සොරි හොඳේ....."
සඳූ කීවෙ ....අත්ට්‍රැක්ටරය අසලට ගොස් ....අයේෂාගේ අතින් අල්ලා ගනිමින් ....
" අනේ....මේ....හොඳ නෑ ඔයා....හරිද...."
අයේෂා කීවෙ ලැජ්ජාවෙන් ....
" සෙව්වන්දි අක්ක ලිඳ ලඟ ....වද නොදී එතනට යනවද ....අපිට ...."
සේනක කියද්දී ....සඳූ සිනාසෙමින් ....
" හරි හරි ...මෙන්න මං ගියා ....දන්නව නම් එන්නෙත් නෑ ...."
කියමින් වත්ත පැත්තට ගියේ සෙව්වන්දි මුන ගැසීමටයි.......
..........................................................
" ට්‍රැක්ටරයක් නම්....අළුතින් ගන්න ගියොත් ලක්ෂ **** විතර යයිනෙ ....මං සෙට් කරන්නම් ඊට වඩා ලක්ෂ තුනක් විතර අඩුවට ....හැබැයි සිරිපාල මාමෙ...සල්ලි රෙඩි කෑෂ් ඕනි ....."
රවී කීවෙ ....නුග ගස යට ගමේ අයෙකු සමඟ කතාකරමින් ...සිරිපාල නම් ඔහු රෝද හතරේ ට්‍රැක්ටරයක් මිලට ගැනීමට සිතා සිටියේය ....රවී විසින් විදුලි උපකරණ ආදිය අඩුවට ගෙනත් දී....ගමේ නමක් සදාගන සිටි නිසා...සිරිපාල මාමාගේ අදහස වී තිබුණේ රවී ලවා ට්‍රැක්ටරයක් මිලට ගැනීමටයි ....
" රෙඩි කෑස්ය කීවෙ මක්කද රවී මහත්තයා .....සල්ලි නම් ලැහැත්තියි....මට අපේ තාත්තගෙ පැත්තෙන් ලැබිච්ච ඉඩමක් තිබුණනෙ ගාල්ලෙ මාපලගම ...ඒක නිකං වල්වැදිල විනාශ වෙන හංද විකුණල දාල සල්ලි ටිකක් ගත්ත ....මං හිතුවෙ ටැට්ටරයක් අරන් ...ගඩොල් අදින්න...."
සිරිපාල මාමා කීවෙ රවී සමගින් ...
" සල්ලි සේරම ගෙවල තමයි ගන්න ඕනි .....ඒකයි මං කීවෙ ....තව නැද්ද දෙන්න තුන් දෙනෙක් ට්‍රැක්ටර් හරි ලොරි හරි ටිකක් ලොකු වාහන ගන්න අය....ඉන්නව නම් තවත් අඩු කරල ගන්න පුළුවන් ...."
රවී කීවෙ තරමක් බැරෑරුම් ස්වරයෙන් ....සිරිපාල මාමා ..කුඩා ලොරියක් මිලට ගැනීමට සොයන යාබද ගමේ විල්සන් ගැන කියා...ඔහු සමඟ කතාකර පිළිතුරක් දෙන බව පවසා පිටවගියේ ....අඩුවට මිලට ගැනීමට බලාපොරොත්තු වන ට්‍රැක්ටරය ගැන රහසක් ලෙසින් තබා ගන්න ලෙස රවී ගෙන් ඉල්ලා සිටිමින් .......
............................................................
කාලය සෙමෙන් පියඹා යද්දී ...තවත් දිනක බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වූ තරුණයන් කිහිප දෙනාගෙන් තිදෙනකු සමඟ රවී සිය කැබ් රථයෙන් හලාවත ගියේ ...මුදල් ගෙවා....ඔවුන් පිටත්වන දිනය ගැනත් .....අනිත් කරුණුත් ගැන ඔවුන්ට දැනුවත් කරනු පිනිසයි ...
මීගමුවේදී එක්තරා පිරිසක් සමඟ කතා කර....අවශ්‍ය සියල්ල සූදානම් වෙද්දී ....රවී රැගෙන ගිය තිදෙනා සමඟ නතර වූයේ රවීගේ නිවසේය...කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ රවීගේ නිවස තිබුණ අතර ...එය දෙමහල් විශාල නිවසක් විය....එහි සිටියේ රවීගේ අම්මා හා තාත්තා පමණකි .....සුන්දර නිවස සංචාරක හෝටලයක් මෙන් අලංකාර වූ අතර ....රවීගේ අම්මා හා තාත්තා පැමිණි තරුණයන්ට සංග්‍රහ කලේ බොහෝ සතුටින් ....
" මෙහෙමයි පියල් ....දැන් ඔය පස් හය දෙනා මේ ට්‍රිප් එකේ යන්න පුළුවන් ....තවත් කට්ටිය කැමති නම් හොයල දෙන්න ....ඊලඟ ට්‍රිප් එක මං හිතුවෙ ඒ පැත්තෙම කොල්ලො ටිකක් යවන්න ....එතකොට වැඩ කරන තැන උනත් එකට වැඩ කරන්න පුළුවන්නෙ ...පාලුවකුත් නෑ ......"
පියල් ඇතුළු සය දෙනා මේ බෝට්ටු වාරයෙන් ඕස්ට්‍රේලියාවට යවා.....ඊලඟ වාරයට ගමේ හා යාබද ගම්වල තරුණයන් පිරිසක් යැවීමට රවී සූදානම් බව කීවෙ ....රාත්‍රියේ මත්පැන් බෝතලයක්ද ගෙනවිත්.....පැමිණි තිදෙනාට සංග්‍රහ කරමිනුයි ...රවීගේ නිවසේ මහල් දෙකට පසුව ...වහලෙට තිබුණේ කොන්ක්‍රීට් ස්ලැබ් එකකි....එය වටා ආරක්ෂිත වැටක් තනා...වාඩිවීමට පුටු තබා...මල් පෝච්චි ආදිය තබා....මිදුලක් මෙන් එය පවත්වාගෙන ගියේ මෙවැනි කුඩා සාද වලට එය ගැලපුන නිසා වියයුතුය ....
" ෂිට් ....දන්නව නම් ඊලඟ බැජ් එකේ අපිත් යනව රවී මහත්තයා ....යන්න නම් කොල්ලො ඕනි තරම් ඉන්නව....ගමේ කුඹුරු තඩි ගහල වැඩක් නෑ රවී මහත්තයා ...නිකං අවුවෙ කර වෙනව විතරයි ....."
එක් අයෙකු එසේ කීවෙ ...මත්පැන් උගුරක් පානය කරමින් ...ගමේදී ...නගරයට ගොස් ගෙනෙන ගල් අරක්කු මෙන් නොව ....රවී මිලෙන් අධික ස්තරම්ම වර්ගයේ විදේශීය මත්පැන් බෝතලයක් සාදයට ගෙනවිත් තිබුණි ......
" එහෙ ගියාම නම් සීතලට ඉන්න පුළුවන් .....හිමත් වැටෙනවනෙ....."
රවී කීවෙ තමා සමඟ පැමිණි තරුණ පිරිසටයි......
" මොනාද රවී මහත්තයා මේ ....මං නම් අදමයි කෑවෙ.....???"
කෙනෙකු ඇසුවේ ...කටගැස්ම ( බයිට් එක ) වශයෙන් තිබුණ දෙයක් ගැනයි.....
" සීෆුඩ් ඩෙවල් එකක්...හොඳයිනෙ ඒක නේද....??? ඉස්සො වගයක් ගෙනාව ....අම්ම හදනව ඇති ....ටිකක් ඉන්නකො...."
තම පුතුට කටගැස්ම හදන මවක් ගැන ගමේ අයට නම් සිතාගැනීමට පවා නොහැකිය....කොළඹ ජීවිත ගැන ඔවුන්ට දැනුනේ පුදුමයක් ....
............................................................
ඒ අතර එක් දිනයක කිත්තාගේ හෝටලයේ පෝසලීන් පිඟන්...දීසි....ආදිය සඳහා අළුත් ඇනයුමක් සඳහා පැමිණි අයෙකු කිත්තා සමඟ මිතුරු වූයේ ..ගනුදෙනු කතා කලාය පසුවයි ...ඔහු දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙසින් සේවය කර ඉහල නිළදාරියෙකුට පහරදීමක් හේතුවෙන් රැකියාව අහිමි වූ අයෙකු විය ....
" මං අම්පාරට ආව මුල්ම වතාව මිස්ට ප්‍රගීත් ....හරි ලස්සනයිනෙ ඔයාලගෙ හොටෙල් එක..."
දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙසින් සිටි....රැකියාව අහිමිව....පෝසලේන් බඩු අලවිය සඳහා රටවටා යන රාජසිංහ නම් පුද්ගලයා කීවෙ කිත්තා සමඟයි ....ඔහු විවාහක දෙදරු පියෙකු බවද කිත්තාට දැන ගැනීමට හැකි විය....
" මිස්ට රාජසිංහ ....වැඩේ මම අපේ සර් එක්ක කතා කරල ඕකේ කර ගන්නම්....අද ඉඳලා තමයි යන්න වෙන්නෙ ....අම්පාරට ආවාම හවස පහෙන් පස්සේ ...මෙහෙන් යන්නත් බෑ....මෙහෙට එන්නත් බෑ...."
සවස් වී තිබුණ නිසා කිත්තා කීවෙ රටේ තිබුණ තත්ත්වය ගැනයි....
" ඒ කියන්නේ ....."
රාජසිංහ මහතා ඇසුවේ කුතුහලයෙන් ....
" නුවර පාර පියංගලින් වහනව හවස පහට....එතැනින් නුවර පැත්තට යන්නත් බෑ....මෙහෙන් වඩිනාගල හංදියෙන් වහනව....මොණරාගල ...රත්නපුර පැත්තට යන්නත් බෑ...."
කිත්තා කීවෙ ...රාජසිංහ මහතා නොදැන සිටි දෙයකි...
" ඒ මොකද ඒ....????
" ඇයි ....මිස්ට රාජසිංහ ...කොටි ඒරියා දෙකක් පහුකරල යන්න ඕනිනෙ...ආරක්ෂාවට වහන්නෙ....අම්පාරෙ අපි රෑ තිස්සේ හුදකලා වෙනව රටේ අනිත් පැති වලින්....මොනම දේකටවත් මෙහෙන් යන්නත් බෑ ....එන්නත් බෑ මෙහෙට....."
......................................................
තැපැල් කන්තෝරුවේ සිටි සේනකට දුරකථන ඇමතුමක් ලැබුණි ....ඒ නගරයේ තරු පන්තියේ හෝටලයේ සේවය කල කිත්තාගෙන්......
" සේනකය....මචං ....අපේ සුද්දිට කියපං....අද රෑට නතර වෙන්න දෙන්නෙක් එනව කියල ....එයාලටත් එක්ක කෑම හදන්න කියල ....උඹ යද්දී මාළු සිරා හම්බ වෙලා...මාළු ටිකක් අරන් පලයං හොඳේ....??
කිත්තා සේනකට පනිවිඩය දුන්නේ එලෙසින් .....
" කවුද බං එන්නෙ ....???
සේනක ඇසුවේ කුතුහලයෙන් ...
" රාජසිංහ කියල පොරකුයි...පොරගෙ ඩ්‍රැයිවරුයි....හොටෙල් එකේ ඕඩරයකට ආව ගමන් ...දැන් යන්න බෑනෙ බං ....පාරවල් වහලනෙ.හොටෙල් එකේ ඉන්න සෙට් කරන්නෙ නැතුව ගෙදර එක්ක එන්නෙ මෑන් සුපිරි කියල හිතුන නිසා..."
කිත්තා කියද්දී .....
"අම්මටසිරි ....රාජසිංහ .....රජ්ජුරුවෝ ...එළනෙ බං....මධුවිත එහෙමත් ගේන්න වෙයි එහෙනම් නේද....මාත් ඉන්නව කියල මතක තියාගන...මධුවිත අරන් වරෙං හරිද....රජෙක් එක්ක සෙට් වෙලාම නෑ බං මම...ඔය උඹ වගේ හාල්පාරුවො එක්ක අඩිය ගැහුවට..."
සේනක කීවෙ වටපිට බලමින් ...ඒ හඬ ඇසෙන මානයේ අයේෂා සිටීවි යැයි බියෙන්......
........................................................
" ඔව් බං ....ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොයි....උගෙ අස්ස කරත්තෙ දක්කන රථාචාරියයි එනවලු....කිත්තා කෝල් කරල කීවෙ ...මට මාළු ටිකත් ගෙනත් දෙන්න කීව ....ඉඳා....හදල ගනිං මටත්තෙක්ක.....ඉස්සරහ කාමරේ හදන්න කියලත් කීව රජතුමාට සැතපෙන්න...."
සේනක සෙව්වන්දි සොයා පැමිණ කිත්තා දුන් ආරන්චිය දැනුම් දුන්නේ එලෙසින් ....සුපුරුදු ලෙසින් කිත්තාගේ නිවසේ මුලුතැන්ගෙයි ලීලාවතී ...සෙව්වන්දි ...කිත්තාගේ තාත්තා හා කිරි අම්මාද සිටියේය ....
" ඉස්සරහ කාමරේ හදන්න කීව .....?????
සෙව්වන්දි ඇසුවේ ප්‍රශ්නාර්ථයක් හැඟවෙන ලෙසින් ....
" සොරි ....සොරි ....කාමරේ නෙවෙයි බං ....සිරියහන් ගබඩාව ......"
සේනක කීවෙ සිනාසෙමින් ....
" ඇත්තටම ඇයි කිරි අම්මෙ රජ්ජුරුවෝ නිදා ගන්න කාමරේට සිරියහන් ගබඩාව කියන්නේ ....නිකං වී ගබඩාව ....පොහොර ගබඩාව වගේ ....හෙන විසාල කාමරයක්ද ඒක......???
සේනක ප්‍රශ්නය යොමු කලේ...කිත්තාගේ කිරි අම්මාටයි....නමුත් එයට පිළිතුරු දීමට පෙර සෙව්වන්දි නැවත කතා කලාය....
" ඇත්තටම කියපංකො සේනක කවුද අයියා එක්ක එන්නෙ ...විකාර නැතුව කියපංකො ....."
සෙව්වන්දි නැවත ඇසුවේ කුතුහලයෙන් ...
" උඹට සිංහල තේරෙන්නැද්ද ....දැන් එක පාරක් කීවෙ ....රාජසිංහ රජ්ජුරුවෝ කියල ...."
සේනක කීවෙ ...ඔහුගේ මිතුරාගේ බිරිඳ සේම ඔහුගේ පාසල් මිතුරියටයි.....
" මූට පිස්සු සුදු මැණිකෙ ...දැන් කොහෙද රාජසිංහ රජ්ජුරුවෝ ඉන්නෙ ....මලවිකාර කියවනව මෙතන...."
කිරි අම්මා කීවෙ සිනාසෙමින් .....
" ඕකනෙ ඉතිං බැරි ....රජ්ජුරුවෝ අද සැපත් වෙනව....මාමෙ රජ්ජුරුවන්ට මධුවිත එහෙමත් ගෙනෙයි කිත්තා ...මාමටත් මං ෂේප්පෙකේ කතා කරන්නම්....ඇවිත් පොඩි ෂොට්ටෙකක් දා ගන්න....උඹ එහෙම පේන්න එන්න එපා...කුස්සියට වෙලා හිටපං හරිද....නැත්නම් රජ්ජුරුවෝ මේකිව අන්තඃපුරේට අරන් ගියොත් කිත්තට ගෑනිත් නැති වෙනව....මටත් හවසට වලියක් වත් දා ගන්න කෙනෙක් නැති වෙනව....."
සේනක මුල් ටික කීවෙ කිත්තාගේ තාත්තාටයි....අවසන් ටික කීවෙ සෙව්වන්දිටයි...සෙව්වන්දි ලැජ්ජාවෙන් සිටියේ සේනක කියනා රජ්ජුරුවෝ කවුරු දැයි සිතාගත නොහැකිවයි ......
....................................................
" අනේ ....රවී මහත්තයා .....මේ කර මාලෙ තියාගන රුපියල් දාහක් තියනම් දෙන්න ....මං පොලියත්තෙක්ක දීල බේර ගන්නම් ගොයම් කැපුවාම.....හදිසියේම කුරුණෑගල යන්න වෙලා....අපේ අක්කගෙ මහත්තයා අන්තරා වෙලා...."
ගමේ ගැහැණියක වූ යසවතී නම් ගැහැණිය තමන්ගේ රත්තරං මාලය රවීට ගෙනවිත් දුන්නේ මුදලක් බලාපොරොත්තු වෙන්...ඒ කුරුණෑගල තිබුණ අවමඟුල් උත්සවකට සහභාගි වීමටයි ....
" මට පොලියක් නම් එපා නැන්දෙ ....සල්ලි දීල මාලෙ අරන් යන්න ....මට කරන්න පුළුවන් උදව්ව එච්චරයි ....."
රවී දහසකට වඩා වටිනා මාලය තබාගන ඇය බලාපොරොත්තු වූ මුදල අත තැබුවේ ....ඇයට සැනසීමක් ලබා දෙමින් .....
..........................................................
" උඹල සෙට් වෙයල්ල.....මේ කුඹුරු තඩි ගහල ජීවිතේට ගොඩ යන්න බෑ බං ....අපි ගියා රවී මහත්තයලගෙ ගෙදරත්....අම්මටසිරි ...ගෙයක් නෙවෙයි බං ඒක මාලිගාවක්.....මේ යකා මෙහෙට වෙලා මොනාද කරන්නෙ කියල හිතෙනව ඒ ගේ දැක්කාම......"
ඕස්ට්‍රේලියාවට යන්න සූදානම් වන පියල් ඇතුළු පිරිස ...තවත් අයට පනිවිඩය දුන්නේ රවීගේ ඉල්ලීම අනුවයි ...ඊලඟ වතාවේ ...අවට ගම් වලින්ම ඕස්ට්‍රේලියාවට යන්න තරුණයන් තිහ හතලිහක් සොයා ගැනීමට රවී බලාපොරොත්තු වන බවද කී නිසා ...පියල් තම මිතුරන් දැනුවත් කලේ....තනිව ගොඩ යනවාට වඩා මිතුරන්ද සමඟ ජීවිතය ජය ගැනීමට සිතුණු බැවිනි ....
" ඔය ගාන තමයි බං ප්‍රශ්නෙ....ඔච්චර ගානක් හොයනනෙ කොහොමද අපි....."
මිතුරන්ට තිබුණ පැනය වූයේ ....බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න අය කරන විශාල මුදල සොයා ගන්නේ කෙසේද යන එකයි...නමුත් ඒ මුදල ඕස්ට්‍රේලියාවේ රැකියාව කල පසු මාස දෙකෙන් සොයා ගත හැකි බව ඔවුන් දැන සිටියාය ....අවුරුදු දෙකතුනක් රැකියාව කලහොත් විශාල මුදලක් සොයාගෙන ගමට ඒමට හැකි බව ඔවුන් දැන සිටියාය ....
" මම එන්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉඳලා ...
සල්ලි හොඳට හම්බ කරල....
හම්බ කරපු සල්ලි මා ලඟයි......
හරි ලස්සන පොඩි ගෙයක් හදල.....
ටීවී රේඩියෝ දාල ....
හම්බ කරපු සල්ලි මා ලඟයි.....
මගෙ අතේ මිටේ සතේ නැතුව ...
ඉල්ල ගන්න එකෙක් නැතුව ....
හතේ හත වැදිල හිටියේ මං ......
ඔවුන් කුඹුරු යාය එහා ගල් තලාවේ ...මත්පැන් බෝතලයක් හිස් කරමින් ගීත ගැයුවාය....ඒ ගීත වල පවා තිබුණේ ...ජීවිතය ජය ගන්නා අපමණ බලාපොරොත්තු ගොන්නකි.....
......................................................
අළුත්ම වෑන් රථයක් ගමට ඇතුළු විය....එහි සිටියේ රාජසිංහ මහතා හා ඔහුගේ රියදුරාය...වෑන් රථය ඉදිරියෙන් කිත්තාගේ මෝටර් සයිකලය පැමිණි අතර රියදුරා ඒ පිටුපසින් පැමිණියේ ....අද රාත්‍රියේ නවාතැන් පල වන කිත්තාගේ නිවසටයි .....
සෙව්වන්දි අමුත්තන් වෙනුවෙන් ඉදිරියේ කාමරය සකසා...රාත්‍රී ආහාරය සැකසුවේ සැමියාගේ පනිවිඩයට අනුවයි...සේනකද සෙව්වන්දිට මාළු සුද්ද කර දී....උදව් කලේ තම ගජ මිතුරාගේ බිරිඳ නිසාම නොව ....තම පන්තියේ මිතුරියක්ද වූ බැවිනි ....
වැව් මාළුයි....කිරි කොසුයි...මොනාද බං මේ කෑම ....මේව දෙන්න පුළුවන්ද රජෙකුට....නැද්ද උඹට දෑවැද්දට හම්බ වෙච්චි ෆ්‍රිජ්ජෙකේ සොසේජස්...මීට් බෝල්ස්....අරව මේව...."
සේනක කීවෙ ...ලීලාවතී සමඟ කෑම පිසින සෙව්වන්දිටයි ....
" සොසේජස් කනවද මැට්ටො රජ්ජුරුවොල....මොනා කියනවද මන්ද....."
සෙව්වන්දි කීවෙ සිනාසෙමින් .....
" බයිට්ටෙකට මොනාද හදන්නේ ...එහෙනම් සොසේජස් හදමු බයිට්ටෙකට ...කොහොමත් කිත්තා සල්ලි දීල ගේන ඒව නෙවෙයිනේ ඒව...."
සේනක කීවෙ ....සෙව්වන්දි තරහ ගැස්සවීමටයි ....
" සල්ලි නැතුව ...වී දීලද අයියා ඒව ගේන්නෙ ....???
සේනක බලාපොරොත්තු වූ ලෙසින්ම සෙව්වන්දිට කේන්ති ගොස් තිබුණි ....
"ඌ.. හොරෙන් උස්සන ඒවනෙ බං උංගෙ හෝටලෙන්....උඹට කියනව ඇති කඩෙන් ගත්ත කියල ....මං දන්නවනෙ බං උගෙ හැටි...."
සේනක කියද්දී ...
" මගෙ අයියා උඹ වගේ හොරෙක් නෙවෙයි හරිද....බලන්නකො අම්මා ...මේ බූරුව අයියට අනං මනං කියනව...."
සෙව්වන්දි කීවෙ කේන්තියෙන් .....ඒ අතර වෑන් රථය නිවසේ ඉදිරියේ නතර වන හඬ ඇසුණි ....
" අන්න ...අන්න ....රජ්ජුරුවෝ සැපත් උනා.....මෙතන බලං ඉන්නෙ නැතුව ගිහිං පාවඩ දාපං ...නැන්දත් යන්න ...ඉතින් ....."
සේනක තම මිතුරියට කීවෙ සිනාසෙමින් ......
.......................................................
රාජසිංහ මහතාව කිත්තාගේ තාත්තා හා අම්මා පිළිගත්තේ බොහෝ සතුටින් ....සේනක කියූ ලෙසින්ම සෙව්වන්දි පමණක් මුලුතැන්ගෙයට වැදී සිටියේ ...අමුත්තන් වෙනුවෙන් ඇයගේ ප්‍රතිචාරය නිතරම එලෙස නිසාමයි....නොහඳුනන අය සමඟ කතාවට නොයන ඇය...කිත්තාගේ කැඳවීමට අනුව ගොස් අමුත්තන් සමඟ කතා කලාය ....නමුත් සේනක ඊට ප්‍රතිවිරුද්ධව සිටියාය ..ඔහු පැමිණි අය සමඟ මිතුරු වූයේ ක්ෂණිකවමයි ....මද වේලාවකින් පුංචි සාදයක්ද පැවැත්වූ අතර....සේනක රාජසිංහ මහතා සමඟ හොඳින්ම මිතුරුව සිටියේ ඒ තැනදීය.....
" නෑ සේනක ...දුවල දෙන්නෙක් ඉන්නෙ ....ලොක්කි දැන් හතරෙ පන්තියේ ....පොඩ්ඩි මොන්ටිසෝරියෙ පළවෙනි අවුරුද්දෙ ...තව අවුරුද්දක් යන්න ඕනි එයා....."
සේනක ...කිත්තාගේ තාත්තා ....හා රාජසිංහ මහතාගේ රියදුරාද සමඟ කුඩා සාදයක් පවත්වන රාජසිංහ මහතා එසේ කීවෙ සේනකටයි....
" අපේ රාජසිංහ මහත්තයා ...කොළඹ කොහෙද.....අපි නම් ඉතින් පිටකොටුව විතරයි දන්නෙ...අනිත් පැති වල ගිහින් තිබුනට විස්තරයක් දන්නෑ ....."
සේනක ඇසුවේ සිනාසෙමින් ....
" මම පානදුරේ.....කොළඹ නෙවෙයි ....."
(Katha Arana)