Friday, December 27, 2024
Follow Us
සමුද්‍රගිරි පිච්චමල් විහාරය

එකල නැඟෙනහිර පළාතේ ගෝකණ්ණ නමින් හැඳීන්වූ නගරයට කිලෝමීටර් 34ක් පමණ උතුරින් වූ කරඩිමලේ නම් ස්ථානයට තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස ඇති බව ඉතිහාසයේ දැක්වේ.
ඒ අනුව එකල කරඩිමලේ හෙවත් වලස්කන්ද නමින් හැදින්වු පුදබිම අද හඳුන්වනු ලබන්නේ සමුද්‍රගිරි පිච්චමල් විහාරය යන නමින්. අටුවා ග්‍රන්ථ වල මෙම පුදබිම හඳුන්වා ඇත්තේ කණිකාර වෙල්ලික සමුද්ද විහාරය ලෙසිනි.


දඹදිව සිට පැමිණි වෙළෙඳ දෙබෑයන් කරඩිමලේ සිට පා ගමනින්ම කිලෝමීටර් 16ක් පමණ තිරියායේ ගිරිහඬු සෑය පිහිටි කඳු මුදුන දක්වා ගිය බව අතීත වංශ කතාවල දැක්වෙනවා.
බොහෝ වන්දනාකරුවන් ගිරිහඬු සෑය වන්දනා පිණිස පැමිණියත්, තපස්සු භල්ලුක වෙළෙන්දුන් දඹදිව සිට පැමිණ ගොඩබට සමුද්‍රගිරි පිච්චමල් විහාර පුදබිම වන්දනාමාන කරනුයේ අතළොස්සක් වූ පිරිසක් පමණි.
මෙම පුදබිමට ආසන්න ප්‍රදේශවල සිට දුටුගැමුණු රජතුමාට රුවන්වැලි මහ සෑ රදුන්ට පුදන්නට පිච්චමල් රැගෙන ගිය බවද පැවසේ.
___
1950 වසරේ දී පමණ මෙම ස්ථානයේ පොළොව කැණීම් කළ පිරිසට අඩි 4කට ආසන්නව හිටි පිළිමයක් හමුවීම නිසා තපස්සු භල්ලුක වෙළෙන්දන් ගොඩබට ස්ථානය සහ පසුව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසින් මෙම ප්‍රදේශය පැවතුණු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගන්නා ලදී.
එසේ වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එහි කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 1978 වසරේ නොවැම්බර් මාසයේදීය. එතැන් සිට වරින් වර සිදු කළ කැණීම්වල දී විවිධ පුරාවිද්‍යා වස්තූන් හමුවී ඇත.
1984 වසරේ මෙහි කළ කැණීමක දී, 1950 වසරේ හමු වූ ආකාරයේ පිළිමයක් හමු වූ අතර අඩි 6ක් පමණ යට තිබී සිරස රහිත බුදු පිළිමයක් හා සිරස් දෙකක්, වළං කැබළි හා රෝම කාසිද හමුව තිබේ. රෝම කාසි හමුවීම නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් හා පර්යේෂණ වැඩි කිරීමට උත්සාහ කල 1985 සමයේදී LTTE ත්‍රස්තවාදීන් මෙම ස්ථානයේ තිබූ කුච්චවේලි පොලිසියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සියලු කැණීම් හා පර්යේෂණ කටයුතු නැවතිණි.
මෙම භූමියෙන් සොයා ගත් බුදු පිළිම 2වන සියවසට හා අනෙක් පුරාවිද්‍යා නටඹුන් 7වන සියවසට පමණ අයත් වේ යැයි විශ්වාස කෙරේ.
යළිත් මෙම බොදු පුදබිමට සක්‍රීය අවධානය යොමු වූයේ වසර 25කට පමණ පසු 2010 වසරේදීය. ඒ ත්‍රස්තවාදී යුද්ධය අවසානයෙන් පසුවය.
__
මුහුදු වෙරළට හසුවන වලස්කන්දේ එක් පැත්තක් මායිම් වන්නේ සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් සේදී යන ශිලා පර්වතයකට ය. කාලාන්තරයක් තිස්සේ මුහුදු ජලයට නිරාවරණය වෙමින් හා රළ පහර වැදීම නිසා හානි වූ මේ ශිලා පර්වත හා ගල් ලෙන්හි, එකල භික්ෂූන් වහන්සේලා වැඩ සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.
එමෙන්ම ගවේෂණ මගින් බුදු මැඳුරක් යැයි අනුමාන කරන ගොඩනැගිල්ලක අත්තිවාරම් හා ගොඩනැගිලි කිහිපයක නෂ්ටාවශේෂ මෙම පුදබිමෙන් හමු වූ අතර එහි බිමේ ගඩොල්, ගල්පලු කෑලි තිබී ඇත. මෙහි බැම්ම නිමවා තිබෙන්නෙ ගඩොල් භාවිතයෙනි.
වලස් කන්දේ ඉපැරැණි සෙල් ලිපියක් දක්නට ඇති අතර එම සෙල්ලිපියෙන් දැක්වෙන්නේ ‘මේ පින් බලයෙන් උපදින සියලු භවයන්හි ලෝ සත්වයාගේ සියලු දුක් බැහැරකොට සැප උදා කරන්නට මට හැකිවේවා. සියලු කල්හි ඉවසීමෙන් හා කරුණාවෙන් යුක්ත වේවා. මේ පින් බලයෙන් මර සතුරන් පරදවා ශ්‍රේෂ්ඨ වූ බුදු බව ලැබ මම මගේ මහා කරුණා නැමැති හස්තයෙන් දුකට පත් ලෝකයා සංසාර නැමැති මඩ වගුරෙන් ගොඩට ගන්නට හැකි වේවා‘ යන්න බව පුරාවිද්‍යා මතයයි.
එම සෙල් ලිපියේ අදහස අනුව එය මහායාන සම්ප්‍රදායට අයත් වන්නට ඇතැයිද විශ්වාස කෙරේ. සෙල් ලිපිය 7වන හෝ 8වන සියවසට පමණ අයත් වන බව විශ්වාස කෙරේ.
එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරන්නේ උන් වහන්සේ මෙම ස්ථානයේ ගවේෂණය සඳහා පැමිණෙන විටත් ගණදෙවි රූපයක් තබා බෞද්ධ නටබුන් මත කෝවිලක් ඉදිකර තිබුණු බවය. 1981 වන විට ඉහත සඳහන් කරන ලද සෙල්ලිපිය තාර ගා විනාශ කරන්නට උත්සාහයක් දරා ඇති බව ද උන්වහන්සේ සඳහන් කර ඇත.
මෙහි ශිලා ස්ථම්භයක එක් පෙළකට 4ක් බැගින් වූ කොටු 16ක චෛත්‍යයන් කොටා ඇත. එක් කොටුවක් අඟල් 4ක් පමණ වු සමචතුරස්‍රාකාරය. එම ස්තූප සහිත පර්වත කොටස මුහුදට කඩා වැටී ඇති බැවින් නිරතුරුවම මුහුදු රළ වැදීම හේතුවෙන් එම ස්තූප කැටයම් විනාශ වෙමින් පවතී. 1966වන විට ඉතා ආරක්ෂිතව පැවති මෙම කැටයම් 1978 පමණ වන විට ඇතැම් ස්තූප මුදුන් විනාශ කොට තිබේ.
යුද හමුදාවත්, නාවික හමුදාවත් මෙම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කල අතර කඳු මුදුනට යන මාර්ගය මෙන්ම, විහාරස්ථානයේ අත්‍යවශ්‍ය අනෙක් ගොඩනැගිලි ඉදිකිරීම සිදු කලේද රණවිරුවන් විසිනි.
2013 අගෝස්තු 13 දින අංක 1823/73 දරන ගැසට් නිවේදනය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් මෙම පුදබිම ප්‍රකාශයට පත් කෙරිණි.
__
අලංකාර වෙරළ තීරය මෙන්ම කඳු මුදුන සිසිල් පවන් මැද බොහෝ වේලාවක් නැවතී සිටින්නට හැකි සිත එක්තැන් කරන ස්ථානයක් ලෙස පෙන්වා දිය හැක.
කුච්චවේලිහි මාර්ගය අද්දරම පිහිටා ඇති නිසා කිසිදු ගැටලුවකින් තොරව මෙම පුදබිමට යාමට හැකි වුවත් එහි ඇති පෞරාණිකත්වය හා ආගමික බවට හානි නොකර අපේ වන්දනාවන් කරන්නට හැකිනම් බෞද්ධයන් වශයෙන් අප එම පුදබිමට කරන ලොකුම ගෞරවය එයයි.
එමෙන්ම වන්දනාකරුවන් පැමිණ වලස්කන්ද නැඟ පරිසරය අපවිත්‍ර වන අයුරින් කටයුතු කලහොත් මෙම පුදබිමෙහි ඇති වැදගත්කම විනාශ වී යනු ඇත.
___________
මෙවන් අසිරිමත් පූජනීය ස්ථානයක් වන
සමුද්‍රගිරි පිච්චමල් විහාර පුදබිම අවබෝධයෙන් වන්දනා කරත්වා.
මතු පරපුරට රැකුමට සිත් පහල වේවා.
තෙරුවන් සරණයි,
අන්තර්ජාලය තුලින් තොරතුරු ලබාගෙන ඇත,
(සිළුමිණ ලිපි/බුදුසරණ ලිපි)