Wednesday, December 25, 2024
Follow Us
සුද හෙවත් Cataract

ශල්‍යාගාරයේ ඇඳට ඉහළින් පෙනෙන ආලෝක ධාරාවත්, අවට සිටින හෙද හෙදියන් සහ වෛද්‍යවරයාගේ ශල්‍යාගාර ඇඳුම් සහ මුකවාඩම් සහිත රූප පෙළත්, එකිනෙක හා කැළතී මා වටා භ්‍රමණය වන්නාක් මෙන් මට දැනිණ. දකුණු ඇසට වරින් වර නිමක් නොමැතිව වත් කෙරුණු දියර නිසා අවට ආලෝක ධාරා වරින් වර බොඳව ගියේය. අන්තිමේදී ගැඹුරු දිය පත්ලක මා කිමිදෙන්නාක් වැනි දැනීමකි. අසලින් එකාකාරව නැගෙන බීප් ශබ්දයක් සහ වරින් වර ඇසෙන වචන පහත් හඬින් ගලා ආවේ ය. නිර්වින්දනය කළ ඇස මත සැත්කමක් සිදු කෙරෙන බව මුළුමනින් අමතක කර දැමුවෙමි. ගැඹුරු අගාධයකට අැද වැටී කිසියම් අඳුරු හිස් අවකාශයක පාවෙන්නාක් මෙන් මට දැනිණි. මෙවැනි වටපිටාවකට ගැළපෙන සේ දැනෙන, කවදා හෝ කියවූ විද්‍යා ප්‍රබන්ධයක් සිහියට නගන්නට තැත් කළෙමි. එහෙම නැත්නම් මගේම සිත තුළ මැවෙන ෆැන්ටසියක්.....එවැනි සිතිවිලි ධාරවල කිමිදි කිමිදී හදවත මිරිකන නොසන්සුන්කම පලවා හරින්නට උත්සාහ දරමින් සිටියෙමි.


ආලෝකය සහ අඳුර....දියර ගතිය...සීතල...මුළුමනින් අන්ධකාරය...නැවත පෙනෙන ආලෝක පුංජ.....ඇස මත දැනෙන නොදැනෙන සේ යමක් පිරිමැදෙන්නාත් මෙන් මට හැඟෙන සංවේදනය....ඊළගට දීප්තිය....ඉන්පසු අන්ධකාරය....එයින් පසු ඇසෙහි මැවුණු ඉතා මනහර ජ්‍යාමිතික හැඩතල සහිත රූපය...එය තද රෝස පාටය.!!
ඊළගට තව මොන මොනවා හෝ සිදු වෙන්නට ඇත.
අන්තිමේදී ඇස මත පැලැස්තරයක් වැසෙන බව දැනිණ.
" දැන් හරි. සර්ජරි එක ඉවරයි"
කවුදෝ කාරුණික කටහඬකින් මා අමතනු ඇසිණ. මම සිහින ලෝකයක පාවෙමින් සිට නැවතත් පියවි ලෝකයට වැටුණෙමි.
සියල්ල පටන් ගත්තේ මාස ගණනාවකට ඉහතදී සිටය. දශක හතරක කාලයක් තිස්සේ මට පිහිටවූ, අවට සිදුවූ සිියලු දේ දකිමින්ද, නිමත් නැති අකුරු කියවමින් සහ ලියමින් මා සමග විඩාබර දිවි ගමනක යෙදුණු ම⁣⁣⁣ගේ දෑස් රෝගී වෙමින් තිබුණු බව මට දැනෙන්නට පටන් ගත්තේ මගේ අලුත් නවකතාවේ වැඩ අවසන් කරමින් සිටියදීය.
වෙනදාට වඩා විශාල ⁣ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කළේද එය තද කළුපැහැයෙන් වර්ණගන්වාගෙන ටයිප් කළේද දෑසට ඒ නිසා පහසුවක් දැනුණු නිසා ය. ඉන් එහා දෙයක් මට දැනුණේ නැත. එහෙත් නියමිත ෆොන්ට් එක යොදා පිටු සැලසුම් කළ පසු අකුරු කියවීම තරමක් දුෂ්කර බව හැඟිණ.විශේෂයෙන් දීර්ඝ පාපිලි, ඉස්පිලි, තිත් සහ කොමා වැනි දේ උපැස් යුවල පැලඳගෙන පවා කියවා ගත්තේ අසීරුවෙනි.
අත්පිටප⁣ත කියවා සෝදුපත් බැලූ මා මිත්‍ර මලික් ඇතැම් වචනයකට යෙදූ දීර්ඝ පාපිල්ලක් ගැන කියන විට, මම එවැන්නක් නැතැයි කීවෙමි.
"හොඳට බලන්න. ඕක පේන්නේ නැත්නම් ඔයාගෙ ඇහේ ප්‍රශ්නයක්. ඇහැ බලා ගන්න"
මලික් තදින් ම කීවේය.
පරිගනකයේ අකුරු තවත් විශාල කර බැලූ විට ඔහු කියන දේ ඇත්ත බව මට වැටහිණ. පාපිල්ලක් සහ දීර්ඝ පාපිල්ලක් උපැස් යුවළෙන් පවාහදුනාගත නොහැකි තරමට ම⁣ගේ දෑස් දුබල වූයේ කෙසේද? දෘෂ්ඨිය පරීක්ෂාකර නව උපැස් යුවලක් ලබාගෙන වැඩි දවසක් ඉක්ම ගොස් තිබුනේ නැත.
එය වඩාත් දැනෙන්නට පටන් ගත්තේ නවකතාවේ වැඩ නිමවා සෑහෙන කලක් තිස්ස් කියවීමට සිතා සිටි පොත් කිහිපයක් කියවන්නට පටන් ගත්විටය. මගේ දෙනෙත් වෙනදාට වඩා විඩාබර වන බවක් හැඟිණ. විශේෂයෙන් රාත්‍රී කාලයට කියවීම දුෂ්කර විය. දහවලේදීද පිටුවල අකුරු තරමක මලානික පැහැයෙන් දිස්විය. සමහර විට එය මුද්‍රණයේදී සිදුවූ අවපැහැගැන්වීමක් බව සිතුවෙමි.
තවත් මාසයක් දෙකක් ගිය විට පිටුවල ඇතැම් අකුරු බොඳ වී පෙනෙන්නට විය. හැම පිටුවකමකිසියම් පදාසයක් මත මේ බොඳ වීම දිස් විය. ඒ සමගම තද සුදු පැහැයෙන් යුතු පොත්වල පිටු දෙස බලා සිටීම තරමක් දුෂ්කර විය.
ඒ මොහොතේත් මා සිතුවේ මාස කිහිපයකට කලින් අලුත් කර මිලට ගත් උපැස් යුවලෙහි කිසියම් දෝෂයක් අැති බව මිස වෙන යමක් නොවේ. කොවිඩ් තත්වය තරමක් සමනය වී තිබුණු නිසා යළිත් කණ්ණාඩි සාප්පුව වෙත ගියේ ඒ මැසිවිල්ලද රැ⁣ගෙනය.
" කන්නාඩි මාරු කළාට වැඩක් නැහැ. දකුණු ඇහේ පොඩි ප්‍රශ්නයක් මතු වෙනව. ඒක අපිට කන්ෆර්ම් කරන්න බැහැ. ඩොක්ට කෙනෙක්ව හම්බ වෙලා ඇස් දෙක බලාගෙන ආපහු එන්න"
මගේ ඇස් පරීක්ෂා කළ දෘෂ්ඨි පරීක්ෂකවරිය කීවාය.
එහෙත් වෛද්‍යවරයෙකු හමුවීමට යාම දවසින් දවස කල් ගියේය.
ඊළගට උදාවූ සති කිහිපයේදී ඈ කී දේ බරපතළ ලෙස සැලකිල්ලට ගන්නට සිදුවිය. දුරකථනයේ සුදු පැහැති එළිය දරා සිටින්නට නොහැකි වූ නිසා සමහර දුරකථන ඇමතුම් මෙවලම්වලට ඩාක් මෝඩ් යොදා ගන්නට සිදු විය. පරිගණක තිරයේ සුදුපැහැති එළියද දරන්නට බැරි නිසා එය අවපැහැ ගන්වා ගත්තෙමි. රාත්‍රියේදී සුුදු පැහැ විදුලි ආලෝකයද දහවලේදී අව් රශ්මියද දරා ගැනීම අතිශයින් අමාරු විය. කින්ඩ්ල් මෙවලමෙහි තිරය කහ පැහැයට හුරු බැවින් ඒ හරහා පොත් කියවීම වඩා පහසු බව දැනිණි. එහෙත් එහි ෆොන්ට් ප්‍රමාණය සෑහෙන්න විශාල කිරීමෙනි.
ඔය අතර ගෙදර උදවියට වරින් වර කරදර කිරීම වැඩිවිය. කල්ඉකුත් වීමේ දින සහිත ඇසුරුම් ඇතුළු බොහෝ දේ ස්ථිර කර ගැනීමට මට කාගේ හෝ සහය අවශ්‍යම විය.
" මේ අවුරුද්ද කවද්ද, 2021ද 22ද? "
" මේ ලේබල් එකේ පොඩි අකුරුවලින් ලියල තියෙන්නෙ මොනවද?"
දවසින් දවස ඉතා ශීඝ්‍රයෙන් මගේ උපැස් යුවල මට සහය දැක්වීම නවතා දැමුවේය. අකුරුවල පමණක් නොව වස්තුවලද පාට සහ හැඩයන් නිවැරදිව හදුනාගැනීමද අසීරු වෙමින් තිබිණ.
වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවට යන්නැයි විශේෂඥ වෛද්‍යවරියක වූ මගේ ඥාති සහෝදරියකගෙන් උපදෙස් ලැබිණි. ඉන්පසුවද එකල මෙකල වෙමින් සිටියදී, ඊට බල කරමින් ඔහු මා එහි කැඳවාගෙන යන විටත් මම සැත්කමක් සිදු කිරීමට සිදු වන දෙයක් නම් නොවේවායි හිත යටින් පතමිනි. නැත. අැසෙහි සැත්කම් කරන්නට තවම වේලාසන වැඩිය! එවැනි තත්ත්වයකට මා පත්වනු ඇත්තේ අඩුම තරමින් තව අවුරුදු දහයක්වත් ගිය තැනය!! මා සිතමින් සිටියේ එහෙමය.
ඇස් පරීක්ෂා කර අවසන් වූ පසු වෛද්‍යවරයා සිය නිගමනය ස්ථිරව නිවේදනය කළේය.
" දකුණු ඇහේ සුද මතු වෙනවා."
කිසිවකු පිටුපසින් සිට මට පොල්ලෙන් ගැසුවාක් මෙන් විය. එය එතරම් ඉක්මනින් මා කරා ළගා වෙතැයි මම සිහිනෙන්වත් සිතා නොතිබුණෙමි. ම⁣ගේ අම්මාත් මිත්තණියත් මේ තත්ත්වයට ගොදුරු වූයේ අවුරුදු 65ත් ඉක්මවා විශ්‍රාම ගොස් සිටි වයසේය. මා තවම සිටින්නේ හතළිහ දශකයේ අග භාගයේය.
එහෙත් වෛද්‍යවරයා එය සිදුවිය හැක්කක් බව කීවේය. Cataract හෙවත් සුද තත්ත්වයෙහි විවිධ ප්‍රභේද තිබිය හැකි බවත් ම⁣⁣ගේ තත්ත්වය අධික ආලෝක සංවෙදීතාව සමග එන්නක් බවත් දැනගන්නට ලැබිණ. විශේෂ උපැස් යුවලක් මගින් එම අපහසුතාව මගහරවා ගත හැකි නමුත් අවසන් ස්ථිරසාර විසදුම සැත්කම විය. ඊට මුහුණ දෙන්නේ කවදාද යන්න පමණක්, මගේ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට ඇති අපහසුතාවය මත තීරණය කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබිණ.
ආලෝක සංවේදීතාවෙන් මිදෙන්නට විශෙු්ෂ උපැස් යුවළක් සාදවා ගත මුත් එය පළක් නැති බව දැනෙන්නට වැඩි දවසක් ගියේ නැත.
සැත්කමට මුහුණ දෙන බව තීරණය කර, ඊට දිනයක් යොදා ගත් පසු ගතවූ කාලය අතිශයින් දුෂ්කර විය.
එදිනෙදා කටයුතු සදහා මට ⁣ගෙදර උදවියගේ සහය නැතිවම බැරි විය. ටිකෙන් ටික අඩු කරමින් තිබූ පරිගණක සහ දුරකථන තිර කියවීම බොහෝදුරට නවතා දැමුවෙමි. සමාජ මාධ්‍යවලින් සම්පූර්ණයෙන් දුරස් වූයෙමි. පොත්පත් කියවීම කිසි ලෙසකින්වත් සිදුකළ නොහැක්කක් විය. වීඩියෝ පටයක් බැලීම පවා ඇසට වෙහෙසක් විය. බලන හැම තැනම කිසියම් බොඳවූ පැල්ලමක් දිස් විය. දකුණු ඇසේ දෘෂ්ටි දුබලතාවය මගේ සමස්ත පෙනීම මත අධිකාරී බලයක් පැවැත්වූයේය. ඒ නිසා මට සොබා දහමේ සුන්දරත්වය විඳීම පවා දුෂ්කර විය.
මහ මුහුද පවා වෙනදා දකින නිල් පැහැයෙන් මට පෙනුුණේ නැත.
" මේ හරියෙ මුහුද නිකං අළුපාටයි වගේ නේද? " මම දවසක්දා ඔහුගෙන් ඇසුවෙමි.
ඔහු මා දෙස මොහොතක් සැලකිල්ලෙන් බලා සිටියේය. "අපි ඉක්මනට සර්ජරි එක කරගම්මු." ඔහු හෙමිහිට කීවේය. ජීවිත කාලයක් මගේ දුක් දොම්නස් බෙදා ගත් ඔහු, ඒ මොහොතේද මගේ හිත නොවැටී තබා ගන්නට බලවත් උත්සාහයක යෙදෙමින් සිටියේය. අකුරු පමණක් නොව අවට වෛවර්ණ ලෝකයේ විචිත්‍රත්වයද විඳින්නට බැරි තරමට ඇසෙහි පෙනුම පහත වැටෙමින් කිබෙන බව මා දැන ගත්තේ එදාය.
එතැන් සිට මම බොහෝ විට එවැනි වේලාවක දුක්බර නිහඬතාවක ගිලුණෙමි. නිතර කතා බහ කරන මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුට ම⁣⁣ගේ තත්ත්වය දන්වා දුරකථන හරහා සිදු කරන පණිවුඩ හුවමාරු පවා නවතා දැමුවෙමි. තව දුරටත් " ඩාක් මෝඩ් " ,එකද පලක් වූයෙ නැත. එයින් අකුරු කියවීමද ඇසට වෙහෙසකර විය.
මගේ ලෝකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටිණ. හිතට එන දේ කිසිවක්- අඩු තරමින් කවිපදයක්වත් ලියා ගන්නට මට බැරි විය. පරිගණක තිර පමණක් නොව කොළ මතඅකුරු ලිවීමද ඒවා කියවීමද වෙහෙසකර විය.
බලන බලන හැම තැනින් අර බොඳවූ ඡායාව නැගී සිටියේය.
"ඕක පොඩි සර්ජරි එකක් නෙ" අම්මාද, මා දන්නා හඳුනන- මේ සැත්කමට මුහුණ දුන් වැඩිහිටි හිතවතුන් හැමදෙනම මට කීහ. " ඕක දැනෙන්නෙවත් නැහැ." එවැන්නෙකු වූ පුවත්පත් කලාවේ මගේ ජ්‍යෙෂ්ටයෙකු වූ සුන්දර නිහතමානි ද මැල් සහ මා මිත්‍ර ගිරිදරන් නවරත්නම් සැත්කමෙන් පසු දෑස්වලට ලැබෙන විස්මයජනක සුවය ගැන මට කියා දුන්හ. " සර්ජරි එක කළාම දැනෙයි මේ කියන දේ කොච්චර ඇත්තද කියල"
ගිරිදරන් සහෝදරයා මට නිතර එවූ පණිවුඩ මම අපහැදිලි ජායාවන් අතරින් කියවූයෙමි.
එහෙත් සිතේ ඇවිළෙන ව්‍යාකූලකම මට දිනෙන් දින දරා ගත නොහැකි වූයේ ඒ සමග උදා වන මගේ ජීවන රටාව කෙටි කලකට හෝ වෙනස් වීම ගැන සිතද්දීය. කොවිඩ් තත්ත්වය නැවතත් උග්‍ර වෙමින් තිබුණු නිසා අප්‍රේල් අග සතිය වනතුරු සැත්කම තරනවාද නැද්දැයි රෝහලෙන් ස්ථිර කිරීමක් සිදුවූයේ නැත. දෑසින් බලා- කියවා- ලියා - කරන්නට භාර ගත්- සිතා සිටි වැඩ ගොඩකි. සැත්කමින් පසුවද අඩු තරමින් මාසයක් දෙකක් වත් ඇස වෙහෙසන්නට බැරි වනු ඇති. ඊළගට අනෙක් ඇසද ඒ අවදානමට මුහුණ දෙනු ඇති. කොයි තරම් කාලයක් මට මේ ආකාරයට- කියවීමෙන් ලිවීමෙන් පරිගණක තිර බැලීමෙන් ඈත්ව සිටිය හැකිදැයි දැන නොසිටියෙමි. කුඩා කාලයේ සිට පොතක්- අඩු තරමින් අහක දමන පත්තර කෑල්ලක් වත් නොකියවා ගත කළ දවස් කිහිපයක් හෝ ඇත්නම් ඒ තදබල ලෙස අසනීප වූ අවස්ථාවක පමණි.
තද හුදෙකලාවෙන් අැවිලුණු ඒ කාලය මුළුල්ලේම ඒ අවිනිශ්චිත බවෙහි පීඩාව සිත ඇතුළත ඇවිළ ගියේය. ඕඩියෝ බුක්ස් ඇසීමට පටන් ගත් නමුත් එයට එකවර හුරු වීම තරමක් අසීරු විය.
දවස් ගත වූයේ එක් දවසකට පැය හැටක් හැත්තෑවක් තිබෙන විටෙක මෙනි. අන්තිමේදී සැත්කමට මුහුණ දෙන දා මා ශල්‍යාගාරයට ඇවිද ගියේ විවිධාකාරයේ මනස්ගාත හිතේ දරා ගෙන සිටීම නිසා ඇතිවූ නොසන්සුන් බවත් අවිනිශ්චිතබවත් හදවත තුළ කැරළි ගසමින් සිටියදීය.
එහෙත් පුදුමයට මෙන් ශල්‍යාගාරයේ ඇඳ මත දිගාවී සිටියදී මම සම්පූර්ණයෙන් සන්සුන් වීමි. ඒ මුළු කාලය මුළුල්ලේ මා ශූන්‍යතාවක පාවෙමින් සිටියා වැනිය. අර තද රෝස පැහැ ජ්‍යාමිතික හැඩතල ඇස තුළ මැවෙද්දී මම විස්මයෙන් එ දෙස බලා සිටින්නාක් මෙන් දැනිණි. ඇත්තටම ඒ වෙලාවේ ද මගේ සුපුරුදු පරිකල්පන ලෝකය අවදි වෙමින් තිබුණු නිසා එය මගේ මනස විසින් පෙන්වනු ලබන මායා රූපයක්දැයි මම මොහොතකට සිතමින් සිටියෙමි.
සැත්කමින් පසු ඇස විවෘත කරන විට යළිත් අවට ලෝකයේ සම්පූර්ණ විචිත්‍රත්වය මම දකිමින් සිටියෙමි. ඇත්තටම මට දැනුණේ එය වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යයක් පරිද්දෙනි. එහෙත් වම් ඇසෙහි ඇත්තේ පරණ පුරුදු පෙනුම නිසා, සැත්කමට මුුහුණ දී සති හයක් පමණ ගෙවී ඇතත්, අලුත් තත්ත්වයට ගැළපෙන පරිදි උපැස් යුවළත් ලබා ගන්නා තුරු අකුරු කියවීම මට තවමත් දුෂ්කර ය.
මේ සටහන ලිව්වේද ජංගම දුරකථනයේ නෝට් පෑඩයේ ඩාක් මෝඩ් පසුබිමෙහි, විශාල ෆොන්⁣ට් එකක් දමාගෙන, සැත්කමට ලක්වූ දකුණු ඇසට එකවර අනවශ්‍ය බරක් නොදෙනු පිණිස දින ගණනාවක් ටික ටික ලිවීමෙනි.
එවැනි තත්ත්වයක් යටතේ වුව මෙය ලියන්නේ, බොහෝ කලක් මා නිහඬව සිටින හේතුව කුමක්දැයි විමසමින්ද, පොත් ගැන විස්තර විමසමින්ද මට ලැබෙමින් තිබෙන විවිධාකාරයේ පණිවිඩ නිසාය. පසුගිය කාලය මුළුල්ලේ ෆේස්බුක් හරහා ටැග් කිරීම් මෙන්ෂන් කිරීම්, කෙටි පණිවිඩ ආදිය සෑහෙන ප්‍රමාණයක් ලැබී තිබිණ. ඇසෙහි පීඩාව නිසා ඒවාට වෙන් වෙන්ව ප්‍රතිචාර නොදැක්වීම ගැන එම හිතවතුන්ගෙන් සමාව ඉල්ලමි. බොහෝ කාලයක් සාහිත්‍ය ලෝකයේත් ජනමාධ්‍ය ලෝකයේත් ඝෝෂාවෙන් ඈත් වී සිටීමේ සැනසිල්ල තව ටික කලක් විඳින්නට අදහස් කරගෙන සිටින නිසාත්, වම් ඇසෙහි දෘෂ්ඨිය පිළිබඳවද සැලකිල්ලක් දක්වන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී ඇති නිසාත්, මින් ඉදිරියටත් තව කලක් යනතුරු මෙහි නොරැඳෙමි. ඉදිරි කාලය තුළදීද ඔබේ පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමට නොහැකිවීම ගැන කණගාටු වෙමි. පසුගිය ක⁣ාලය පුරා සුවදුක් විමසා සිටි හිත මිතුරන්ට ස්තුති කරන අතරම සැත්කමින් පසු ගත කළ කාලයේදී මගේ තදබල කියවීමේ පිපාසාව සංසිදුවන්නට ශ්‍රව්‍ය පොත් සහිත ඇප් එකක් හදුන්වා දී, ඊට ඇබ්බැහි කිරීමට උනන්දු කළ මා මිත්‍ර කෞෂල්‍ය කුමාරසිංහටද ඒ ස්තුතියෙන් විශාල කොටසක් හිමි බවද සිහි කරමි.
මේ සටහනෙහි අනෙක් අරමුණ- වඩා වැදගත් දෙය- සුද හෙවත් Cataract රෝග තත්ත්වය - එතරම් සුලබ නැති මුත්- අවුරුදු හැට හැත්තෑවට සෑහෙන කලින්ද මතු විය හැකි බවත්, ඇසෙහි කිසියම් හෝ පෙනීමේ අපහසුතාවත් ඇති නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමු වන ලෙසත් මතක් කිරීම මෙය කියවන කාට හෝ යම් උදව්වක් විය හැකි නිසාය. Cataract තත්ත්වයට බලපාන හේතු රැසක් ඇති මුත් මා වෛද්‍යවරයකු නොවන නිසා ඒ ගැන වැඩිදුර නොලියමි. මා මුහුණ දුන් තත්ත්වය පමණක් නොව සැලකිලිමත් විය යුුතු ඇස හා සම්බන්ධ තවත් රෝග තත්ත්ව රැසක් තිබේ. විශේෂයෙන් අධික ලෙස දෑස් වෙහෙසන හැම දෙනෙකුම සුළු හෝ දෘෂ්ඨි දුබලතාවක් දැනේ නම් වහා වෛද්‍ය උපදෙස් පැතීමෙන් දෑස්වල නිරෝගී බව පණ මෙන් රැක ගත හැකි බව මතක් කළ යුුතුය.
මේ කතාව ඉත කෙටියෙන් ලිවිය හැකිව තිබියදී මේ තරම් වැල්වටාරම් ලියවුණේ, මාස පහකට පසුව මොකක් හෝ කුරුටු ගෑමට ලද පළමු අවස්ථාව මෙය නිසා විය හැකිය.
ඒ සියලු දෙයින් පසුවද තවමත් මට දැනෙන්නේ එකම දෙයකි. ඒ, මොකක් හොඳ කර ගත්තද ලියන්නට කියවන්නට ඇති "උණ" නම් කිසිදා හොඳ නොවන බවකි. !! වෙන මොනවා කළද, ජීවිතය යනු එයම බව මේ හැටිම දැනුණේ ජීවිතයේ පළමු වතාවටය.!

Kathyana Amarasinghe (Facebook)