Sunday, March 09, 2025
Follow Us
ජීවිතේ
ඉස්සර
මාත් ඇඬුවා .
මටමයි මෙහෙම වෙන්නෙ
කියලා හිතලා
නිදිවරාගෙන උත්තර හෙව්වා .
වැරදුනා.
පැරදුනා.
වෛරකලා .
පලිගන්න හැටි හිතුවා.
ඉන්න තැනට වඩා
හොඳ තැනක් ප්රාර්ථනා කලා.
අපාය දිව්යලෝකය විශ්වාස කලා.
මානසික ආතතිය .
ඇයි ....???
එයා නිසා ,
මෙයා නිසා ,
අරයා නිසා ,
ලෝකයට ඇඟිල්ල දික්කලා .
ලෝකයා මාව සනසන තුරු බලාහිටියා .
මට ඕන විදිහට
හැමදේම වේයැයි
බලාපොරොත්තු වුණා .
නිවීමක් නැහැ ,
සැනසීමක් නැහැ ,
තෘප්තියක් නැහැ ,
නැවතීමක් නැහැ ,
හිල් කලයකට
වතුර පුරවනවා වගේ .
මහන්සිය විතරයි.
පිපාසය විතරයි.
දිවීම විතරයි.
සංසන්දනය විතරයි.
සතුටක් සොයා විඳින දුකක් .
අනාගත සිහිනය කරා
කැපකරන මේ මොහොත.
අපි කවදාවත් සතුටින් ඉඳලා නැහැ .
සතුටින් වගේ පෙන්නුවට , අන්තිමට සතුට හොය හොයා ඉඳලම මැරෙනවා.
සතුට කියලා වැලඳගන්නෙම දුක.
සැනසීම කියලා වැලඳගන්නෙම කරදර.
මේ ලෝකෙ තියෙන
ලොකුම සතුට දරුවෙක් ඉපදීම .
ඇයි එච්චරම සතුටු ???
මේ ලෝකෙ තියෙන ⁣දරන්න අමාරුම
වේදනාව ප්රසූත වේදනාව.
ජීවිතයත් මරණයත් අතර සටනකින්
මෙලොව එළිය දකින ජීවිතයක්.
මවක් උපත ලබනවා ළදරුවෙක් නිසා.
දුක ප්රකට වන තැනම සතුට නිහඬ සේවයක.
සතුට ප්රකට වන තැනම දුක නිහඬ සේවයක.
ද්විත්වය සේවය අතැර යන් නෑ.
සමගාමීව ඒකීයව පවතිනවා
සංසාරයක් චරිත
මරමින් අපි උපදිනවා .
සිතුවිල්ලක් ගානෙ
තත්පරෙන් තත්පරය
අපි මිය යනවා.
ඒ තමයි ලෝකයේ නියමය.
එකා පසුපස එකා හඹායන මුලාවක රීතිය .
සලායතනය මවාපාන ලෝකය.
(ඇස, කන, නාසය, දිව, ශරීරය , මන)
පංච උපාදාස්කන්ධය මවන මමත්වය .
( රූප, වේදනා, සංඤා, සංඛාර, විඥාන )
ඒත් ...
කෝ මම.
මමත් සිතුවිල්ලක්.
සිත අඳින රූපයක් .
සිතුවිල්ලෙන් සිතුවිල්ලට විද්යමාන මායාවක්.
නාම රූප පැටලි පැටලී පෙන්වන නාඩගමක්.
මේ ශරීරය පවා
පෙනීම පාවාදුන් මායාවක්.
ආශ්චර්යය මිස කිසිවක් නැහැ .
ලෝබය , ලෝබ කරන්නා මා නොවේ.
ද්වේශය , ද්වේශ කරන්නා මා නොවේ .
මෝහය , මෝහයට හසුව යන්නා මා නොවේ.
මෙය මෙසේ දිගටම දකින්නා
මෝඩයෙක් නෙවී
ලෝබ, ද්වේශයෙන් මිදෙන්නේ
මමත්වය අභිබවා
සංසාරයක් සිතුවිලි වලින් මිදේ.
 
...ශ්රීමතී වල්පොල ...