Saturday, October 19, 2024
Follow Us
බීමත් පාපොච්ඡාරණය ( අනියම් පෙමක අඳුරු අවසානය )
පුරුදු මේසයෙ පිටට බරදී
පුරුදු අසුනේ වාඩි වී ඉමි
අක්මාව හා අමනාප වී
හදවතට ඇල්කොහොල් පුරවමි
හිටිගමන් ආ දුම්වලාවක
අයිතිකරු මට එහා පුටුවෙනි
ඇල්කොහොල් වල ආනුභාවෙන්
අඳුනන්නෙ නැති උනත් හිනැහුණි..
---------------------------------------------------
වරක් ඔහු දුන් ළයාදර ඒ
තට්ටුවෙන් මගෙ උරහිස
මෙතෙක් වේලා හිරකරන් සිටි
සොරොව් කැඩුවා මගෙ ඇස
උගේ ඉදිරියෙ ලිහා තැබුවෙමි
කඩු කිනිසි ඇති දුක් පැස
අතරතුර සිගරට්ටුවක් ගෙන
හදවතින් ඇද්දෙමි විස..
-------------------------------------------
මචං ඉස්සර මල්සරා මට
පුරුද්දට වගෙ දුන්න විද්දේ
එයින් පපුවේ ගැඹුරටම ගිය
හීය නැවතුනෙ මඟුල් මුද්දේ
බැඳල අවුරුදු දෙකක් තිබුණා
වසන්තය අපෙ ගෙවල් පැත්තේ
මමයි තඩියට පහුරු ගෑවේ
මඟුල් පින්තූරයේ මැද්දේ..
---------------------------------------------------
එදා ගියෙ මං කලු වලාවක්
ඉරට අතවර කරපු උදයක
තෙමුණු සාරිය ඇඟේ අලවන්
තරුනියක් ගොඩ උනා බසයට
මඟුල් මුද්දේ බලය බිඳගෙන
දිෂ්ටි වුනි මා ඇගේ බැල්මට
කොටු කොටුයි ජීවිතේ ඉන්පසු
ගේන්නට බෑ මචං තිරයට..
---------------------------------------------------
රාගයේ බාඳුරා මල් ළඟ
ආදරේ සමනල්ලු මැරුණා
ගෙදර ඇඳ තද ඉඩෝරෙක දා
වෙන ඇඳක් මා නමින් තෙමුණා
සෙනෙහෙබර නැති මගෙ වචන කඩු
බිරිඳගේ පපුකඳට ඇනුණා
පව්කාර මට එදා ඇයගේ
කඳුළු වල මල් කිනිති පෙනුණා..
---------------------------------------------------
ගෙදර දොරකඩ ඇතුලු වෙනකොට
විසිකරමි මං හිනාව
වරක්වත් ඇගෙ මූණ නොබලා
ගනිමි තේ එක ගෙනාව
දිනක නොදිටිමි උළුවස්ස ළඟ
හිඳින සුපුරුදු කෙනාව
එයා ගේ යටලීයෙ තැනකින්
ඉවර කරලා කතාව..
--------------------------------------------------
හද වසා සිටි අඳුරු පටලය
බිඳී වැටුණා පපුව පැලි පැලි
හඳක් අතහැර ගියපු හින්දා
ලුහුබැඳන් මං කණමැදිරි එළි
මරණයට හේතුවට තිබුනේ
සිය කැමැත්තෙන් හිරකරන් බෙලි
මචං ඒ වග මංනෙ දන්නේ
ඇගේ මරණෙට මං තමයි පලි..
--------------------------------------------------
අමාවකතෙක් දැනුන් නෑ මට
හඳක් පිරවූ අහසෙ හිඩැස
සාපයක් විය තරු රටාවක
අතරමං වී ගෙවපු දවස
හිතනවද උබ මියයාම යනු
සිරුරකින් පණ ගියපු මොහොත
නෑ මචං සියොළඟම පණ ඇති
ඇතුළතින් මිනියක්ය මමද..
----------------------------------------
පසුවදන -:
නියත ගමනක බැඳීමෙන් පසු බැලුම් මිස නැවතුමක් තහනම්
කොමාවක් එළැඹෙන්න ඉස්සර වසනු මැන ආදරේ වරහන්..
- නි දු කි  ගමගේ