නිසොල්මන් වී ඉන්නවා අද
ඇස් පියා ගුවනම බලන්
වාවන්නේ නෑ හිත මගේ දැන්
බලන් ඉන්නට බෑ දරන්
එදා ඉඳලා මගේ තනියට
ඉතින් තනිකර ඇයි ගියේ නුඹ
යන්න තිබුණා මාවත් අරන් ....
වෙද නලාවත් තියාගෙන පුතු
ඒවී යැයි සිතුනත් තදින්
තවත් තාත්තලා ඉන්නවා ඇති
රෝහලේ ඇස් අඩවන් කරන්
කමක් නෑ පුතු ආවේ නැති බව
දැනුනමුත් හිත තද කරන්
නුඹේ අසලින් ඉන්නවා මම
මගේ හිත තව ගල් කරන් ....
උසාවියේ නඩු අහනවා ඇති
දුවත් සුදු පාටින් ඇඳන්
තාත්තගේ මළගමට නාවත්
එහේ වැඩ ඇති ඇති තරන්
ඉතින් තනියම ඉන්න බෑ මට
දරුවොවත් නෑ අද ළඟින්
අනේ එනවද ආයේමත් නුඹ
යන්න මාවත් එක්කරන් ......
ඊයේ ඇස් දෙක පියා ගද්දී
මගේ අත් දෙක තද කරන්
කියූ දේ මම වුන්ට කියනවා
ආවොතින් දවසක ඉතින්
නොආවත් නුඹ තරහ නැති බව
කියූ බව කාටත් හොරෙන්
කියන්නම් මම තවත් දේ
නොකිය නුඹ ගිය බව දුකින්.....
නුඹේ කඳුළැලි පිසින්නට මට
හැකි වුනත් නුඹ ළඟ ඉඳන්
තාත්තා හොරැහින්ම හැඬු බව
වුන් දන්නේ කොහොමද ඉතින්
නුඹේ ලෝකේට මටත් එන්නට
වෙනවා ළඟදීම පසු පසින්
හැකි වුනොත් ඇති වුන් දකින්නට
මියෙන්නට පෙර මටවත් ඉතින් ....
චන්දිමා පොතුපිටිය