වළාකුලු බර අහස යෞවනයෙ දොරකඩම
අපිට අප ඇවැසි වෙන නිමේෂයෙ පෙරසේම
වැසි දියේ තෙමි තෙමී රඟන විට සිත්සේම
මේ රැයත් විලිබරව පිපුන හැටි රහසේම
මොහොතක විරාමෙදී සිතට නතු වී හිදුම
කුමන නම් වරදක්ද මේ මොහොත තුටුවීම
ළදරු වූ සිත් තමයි නිකලැල්ම සැරසීම
වියපත්ව තහනමක් කවුරුන් ගෙ පැනවීම
රස රහස් කියාගෙන මතකදෝ හිනැහුනා
තරහ වෙවි යාලුවී සෙල්ලමින් ගතවුනා
ලද පමණ ලද දෙයින් හැමදාම තුටුවෙනා
පැරදුනේ නෑ අපිත් සැහැල්ලුවෙ පේවෙනා
සියක් දේ නොලැබුනත් දශමයට තිත තියා
අත්දකින වැරදුමේ නොවරදින තැත ලියා
සිතුම් විකසිත කරන් සහස් පෑතුමන් වියා
මට මතක නැතිවුනා දුබල කය මගෙ කියා
____තනුජා තිලන්තිනී තේනුවර ____