Sunday, October 20, 2024
Follow Us
නුඹට වැඩියෙන් තාත්තෙ අම්මට හේතු තිබ්බා

සමෘද්ධිය හදාගන්න පිංසෙන්ඩුවෙවී
දහ දොලොස් පාරක් ගියපු තැන
ග්‍රාමසේවකයා දවසක් දෙක තුනක්ම
අම්මගෙ අතින් අල්ලලා තිබ්බ.


වතා දානෙට කරෝල හොදි එක්ක
කෝර හාලෙ බත් විතරක් ඇද්ද
ඕකිගෙන් අහපන් ! ලොකු හාමුදුරුවෝ
ඇබිත්තියාව උසි ගන්නලා තිබ්බ.
ගුරු දෙගුරු රැස්වීමට වාරෙ අන්තිමේ
නොගියාට අම්මට බැනපු විස්තරේ
නංගි ඇවිත් අඩ අඩා ඇවිත් හනිකට
අම්මගෙ කනේ තියල තිබ්බ.
" සාරියක් තිබ්බෙ නෑ ඇදන් යන්නට දුවේ "
අම්මා චීත්ත පොටින් ඇස් පිහිදලා තිබ්බ.
තාත්තගෙ කිලිනික් පොත අරන් පෝලිමේ
වරුවක් බලන් හිටපු දවසක අම්ම
ඉර මුදුන් වෙලා පැය දෙකකටත් පස්සෙ
ඇස් කැරකිලා බිම ඇදන් වැටිල තිබ්බ
ඒත් අන්තිමේ " බෙහෙත් ඉවරයි " කියපු තැන
අම්ම හිස් අතින් ආපහු ඇව්ත් තිබ්බ.
ගෙදර හරියෙම තිබුණ අන්තිම කාසි කැටේ
නංගිටත් හොරෙන් පලු කරල අන්තිමේ
ෆාමසියෙන් හරි බෙහෙත් ටික ගේන්න
අම්ම තකහනියක් පිටත් වෙලා තිබ්බ.
හූන චුක් චුක් ගාල බල්ල කන්පොට ගහල
මොකක් හරි ආරෝවක නිමිත්තක් ලාවට
අනේ එදත් එලිපත්තෙදි අම්මට දැනිල තිබ්බ.
අඩිය ආපස්සට තියන් කවුළුවෙන් එබෙද්දි
උඩුබෙලි අතර වැතිරුණු ඔත්පලව තාත්තා
ඉතින් සීරුවට එහෙමම ඉදල තිබ්බ.
ඉගිලිලා හෝරාවක් දෙකක් ගියතැන
බෙහෙතුත් අරන් එද්දි එක හුස්මට
වත්ත පාමුල ගහ මුදුන් අත්තක
තාත්ත එල්ලිලා බෙල වැල දාන් තිබ්බ.
වාරුවෙන් ඇවිදන් එහෙ මෙහේ ගිය
තාත්ත එදා ගහ මුදුනටම නැගල තිබ්බ
ගතේ වෙහෙසට වැඩි හිතේ විරියට වෙන්නැති
ගහේ පාමුල වාරුවත් බිම වැටිල තිබ්බ
හුස්ම ටික ගහ උඩින් යද්දිම
අම්ම කණවැන්දුම් වෙලා තිබ්බ.
එල්ලෙන්න හැකිනම් නුඹට වැඩියෙන්
තාත්තෙ අම්මට හේතු තිබ්බා.
-රුවා