Sunday, October 20, 2024
Follow Us
අවසන් හමුව

වෙනදා මෙන්ම
කැඩපත අභිමුවට පැමිණියෙමි
සිනාසෙන්නදැයි හඬන්නදැයි නොදැන
හිස් හැඟුමකින් මම මා දෙසම බලා සිටිමි
කැඩපත,


මට මා හමුවූ තැන ද
මට මා පෙන්වූ තැනද නුඹය
මමත් මට හමු වූ මාත්
නුඹ ළඟ එකට හඬා ඇත
සිනා සී ඇත
දහසකුත් දේ ලියා ඇත
දස දහසක් දේ පවසා ඇත
අනේක වාරයක්
ප්‍රේමයෙන් ආදරයෙන් බැඳී ඇත
ඉතින්
අද මා මගෙන් සමුගත යුතුව ඇත
මවිසින් මා අතැර දැමිය යුතු
හෝරාව එළැබ ඇත
හෙට සිට නැවත
මට මා මුණනොගැසෙනු ඇත
කැඩපත,
මෙතෙක් සිටි හැඟුම් පිරි මිනිසා වෙනුවට
හිතින් මැරුණු මිනිසෙක්
ඉඳහිට නුඹට පෙනෙනු ඇත
ඒ මා නොවන බැවින් නොරැවටෙන්න
අවසන් වතාවට
මට මගෙන් සමුගන්නට අවැසිය
සොඳුරු කැඩපත,
මා පොළොවට පස් වන දිනක
ඇයට පවසන්න
මා මියගියේ බොහෝ කලකට පෙර බව
ඉතින්
අවසරයි මට මාගෙන් නික්ම යන්නට....
❤️❤️❤️
-Nayanajith Atapattu-