Sunday, October 20, 2024
Follow Us
අද තමයි හොඳම දවස..!

රාම්ට ජානුව එක්තරා තීරණාත්මක මොහොතක මගහැරෙනවා..
ඊටත් පස්සේ නොහිතන ම වෙලාවක ආයෙමත් මුණගැහෙනවා..


විද්‍යා - සඳරැස් ජීවිතේ කුණාටු සමයක වෙන් වෙනවා..
ජීවිතය තුළ ගිමන් හරිමින් ඉන්න පසු කලෙක ආයෙමත් හමුවෙනවා..
දවසක අහිමි වුණ නොයෙල්ව ජූන්ට තවත් දවසක හමුවෙනවා..
ජීවිතේ අඳුරු හවසක කඳුළු මැදින් වෙන් වෙලා ගිය මලර්,
ජීවිතේ සුන්දර ම හවසක හිනා මැදින් ජෝජ් ඉදිරියෙන් මතු වෙනවා..
ඒත් ඒ හමුවුණේ වෙන්වුණ අයම ද ?
රාම්ට මුණගැහුනේ ඉස්සර හිටපු ජානුවම ද ?
ජානුට හමුවුනේ පරණ රාම්වම ද ?
කළු කුමාරයා මුණගැස්සුවේ පරණ විද්‍යා - සඳරැස් ජෝඩුවම ද ?
ජූන් ඒ කතා කරේ පරණ නොයෙල් එක්කමද ?
නොයෙල් ඒ හොයාගෙන ආවේ පරණ ජූන්වම ද ?
මලර් අර හිනා උනේ පරණ ජෝජ් එක්කම ද ?
ජෝජ් ඉස්සරහට ආවේ ඉස්සර හිටපු මලර්ම ද ?
කාලෙකට පස්සේ ඒ හමුවුනේ ඉස්සර හිටපු මිනිස්සුම ද ?
නෑ.. අතීතයේ හිටපු ඔවුන්, ඔවුන්ටවත් ආයෙ හොයාගන්න බැරි තරමට ම වෙනස් වෙලා..!
ඉතින් ජීවිතේ හැටි එහෙමයි..
කාලය අපේ ජීවිතවල කරන වෙනස්කම් බොහොමයි..
ඒ නිසා ඔබට මාවත්,
මට ඔබවත් ආයෙ නම් කිසිම දාක මුණ නොගැහෙන බව සත්තයි..!
මහ වැහි මැද වෙන් වෙලා ගිය අය,
වැහි කුණාටු ඉවර වුණ කාලෙක ආයෙමත් හමුවෙයි..
ඉස්සර ගෙවුන දවස් ගැන මතක් කරමින් හිනැහෙයි..
ජීවිතේ හැටි හරිම පුදුමයි,
ළංවෙලා මුමුණයි..
ටිකක් වෙලා කතා වෙලා,
ආයෙමත් ආපු පාරෙම නොපෙනී යයි..
ඒත්,
ඒ හමුවුනේ වෙන්වෙලා ගිය අයම ද ???
ඒ නිසා කුණාටු ගෙවෙනකන් නොඉඳ කුණාටු මැද ම හිනාවෙන්න..
ඉර එළිය වැටෙනකන් නොඉඳ මහ වැහි මැදත් ජීවත් වෙන්න..
මොකද මොන කුණාටු ආවත්,
මහ වැහි වලට තෙමුනත්,
මේ තත්පර ආයෙ එන්නේ නෑ..
ජීවිතේ වසන්තය එනකොට ළඟ හිටිය සුන්දර මිනිස්සු සදහට ම ගිහින් තියෙන්නත් පුළුවන්..
ඉතින් ආයෙමත් නොඑන මේ නිශ්චිත මොහොතේ,
ආයෙමත් හමුනොවෙන මිනිසුන් එක්ක හැකි උපරිමයෙන් ජීවත් වෙන්න..
මොකද මගහැරෙන අය ආයේ කවදාවත් හමුවෙන්නේ නෑ..
මේ ගෙවෙන තත්පර ආයෙමත් ලැබෙන්නේ නෑ..
මේ කාලේ අමාරුයි තමයි,
ගෙවෙන තත්පර දුෂ්කරයි, දිගයි තමයි..
ඒත් ඔබේ පවුලේ අය,
ඔබ ආදරය කරන අය,
ඔබේ යාළු මිත්‍රයෝ,
තාමත් ඔබ ළඟ නම්,
ඔවුන් එක්ක හිනාවෙන්න,
ජීවත් වෙන්න..
මොකද, හිනාවෙනවා නම්,
මේක තමයි හොඳම මොහොත..
ජීවත් වෙනවා නම්,
අද තමයි හොඳම දවස..!?