Sunday, October 20, 2024
Follow Us
කුඩම්මා ගැන රචනාවක්

ගුරුතුමී කියු නිසා නොලියාම ඉන්න බෑ
අම්මා ගැන කිසි දෙයක් මං තාම දන්නෙ නෑ
කුඩම්මා ගැන මිසක් ලියන්නට දෙයක් නෑ
සඳ හැංඟි ගියාමුත් තනි තරුව මැකුණෙ නෑ...


අප්පච්චිගෙන් ලැබුණ ආදරේ නිමක් නෑ
කුඩම්මගෙ පණ මමයි ඈ ඊට දෙවෙනි නෑ
ඒ සෙනේ පිරුණ දා අඬන්නට ඕනි නෑ
අම්මා ගැන සිහිවෙද්දි ටිකක් ඉවසන්න බෑ...
මං උපන් දවසෙමලු අම්මගේ පණ ගියේ
කුඩම්මා ගෙට ආවෙ ගතවෙද්දි තුන්මහේ
මූසලයි මේ කොලුවා දකින්නටනම් උදේ
ඇහෙනකොට කුඩම්මයි මගේ හිත සැනසුවේ...
කියනවා කුඩම්මා මාව දකිනා වෙලේ
රකිමි නුඹ ආදරෙන් මගේ ඇස් දෙක වගේ
මවුසෙනේ කවදාද කුමකටද පැරදුනේ
කියන්නට ඒ අරුම වචන නෑ ගැළපුනේ...
උයන්නත් පිහන්නත් මිදුල අතුගාන්නත්
ඇය උදෙන් නැඟිටින්නෙ ඊයෙ වාගෙම අදත්
දර පලා ගෙනෙන්නත් වතුර ටික අදින්නත්
කඩිසරයි කුඩම්මගෙ හිත හරිම ශක්තිමත්
පමා වී වැරදුනොත් වේ වැලෙන් දෙසන්නත්
ඇගේ ඉස්කෝලයේ අකුරටයි නීතියත්
ඇය නොසිතා ඉන්නෙ නෑ මං තාම පොඩි උනත්
චක්කරේ වැරදුනොත් ප්‍රමාදයි බත් කටත්...
අම්මගේ හිත පිරුණ සෙනෙහෙ ජීවිතයේ
කිසිම අඩුවක් නැතුව පිදුව ඇය හැමදිනේ
ලබන්නට පිනක් නැති වුනත් මට මේ භවේ
ඇගේ ලේ කිරි නොවුන එක නොවෙද පුදුමේ...
මවුසෙනේ කිසිදාක නොලද්දත් කම් නැතේ
ඊට නොදෙවෙනි වන්න දෙවෙනි මව් දෙනවනේ
නුඹ වගෙ කුඩම්මෙක් එපා මට මතු භවේ
මගෙම අම්මා වෙයන් ආයෙ නුඹ කුඩම්මේ...
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
ගුරුතුමී: "පුතාට කොච්චර හොඳ කුඩම්මා කෙනෙක්ද ඉන්නෙ... එයා පුතාට මේ තරම් ආදරෙයිද?"
ගුරුතුමී අහනවද කතාවක් කියන්නම්
කුඩම්මගෙ ආදරෙත් වගෙයි කරවිල වැලක්
අප්පච්චි ඉන්නකොට ඔහොම දේවල් උනත්
ඇගේ ගුණ වැයුවෙ මං හංඟලා කතාවක්...
සමා වී රචනාවෙ මුලට නුඹ යන්න
පේළියක් හැර පේළියක් කියවගන්න
කුඩම්මගෙ ආදරේ ඒ තරම් ඔන්න
මේ රහස කාටවත් අනේ නොකියන්න...
??????????????
Credits goes දර්ශිකා නුවන්මිණි ගුරුගේ