Sunday, October 20, 2024
Follow Us
අද නැතත් හෙට.....

"අම්මි කවදද පඩි ලැබෙන්නේ
තව ගොඩක් කල් තියද ඒකට
මේ සැරේ අර ප්ලේන් එක මට
ගෙනත් දෙනවද සල්ලි ලැබුණම "


පුතේ ඒ වගෙ කතා දැන් නම්
බරයි හරියට මගේ පපුවට
කාටවත් දඬුවම් ලැබී නෑ
පුතාලගෙ පොඩි හීන මැරුවට
"ගණන් පොත දැන් ඉවර වෙන්නත්
ළඟයි තව පිටු තුනයි හතරයි
තාත්තට කියනවද අම්මේ
එයා වැඩ ඇරුණම අරන් එයි"
පුතා දන්නෑ පොතක් ගන්නත්
සල්ලි යහමින් තිබිය යුතුමයි
තාත්තගෙ අද අතේ තිබුණේ
බස් එකට යන ගාන විතරයි
"උදේ රැස්වීමේ දි පොඩ්ඩක්
කලන්තේ වගෙ දැනුණ හින්දා
පංතියට මං ගිහින් දාලා
මතකයක් නෑ කවුද මන්දා"
බඩට හරියට කෑම වේලක්
වැටෙන්නැති වග දන්න හන්දා
පුතේ මොනවා කියන්නද මං
කඳුලු ඇස්වල ඉවුරු බින්දා
නතර වෙන්නට කලින් නොබැලුව
නිසා පස්මහ බැලුම් හරියට
වැරදි කාලෙක, වැරදි දීපෙක,
වැරදි දේශෙක උපන් පලියට
නොදැන වරදක් කලත් දඬුවම්
විඳිය යුතු නැත සිතා "කරුමෙට"
අපට "අද" නැති උනත් රැකගත
යුතුය මේ පොඩි උන්ට හිමි "හෙට"
✍දිල්රූ ජයසේකර