Sunday, October 20, 2024
Follow Us
පුතෙක් බිරිඳගෙන් දික්කසාද වෙන්න අම්මාට මෙහෙම හේතුවක් කියනවා...

???


බලමු අම්මාගෙත් පිළිතුර...
පුතා..
ආදරය නැති තැනක රැදිලා
මටත් වැඩකුත් නැතිම හින්දා
අම්මේ ඇයගෙන් වෙන්නව යන්නට
තීරණය මන් ඊයෙ ගත්තා
රංඩු සරුවල් නිතර නිතරම
අපායක් මට ගෙදර මැවුනා
හොදම විසඳුම දික්කසාදය
හරියි කියලා මටත් හිතුනා..................
කසාදය ලඟ හීන දහසක්
මාත් මවමින් එකට බැඳුනා
වෙනස් වෙන්නට හේතු හදමින්
ඇයට මාවත් එපා කෙරුනා
නිතර පෙම්බස් මුලදි මුමුණන
ටිකෙන් ටික මඟ හැරිලා හිතුනා
මටත් නොදැනිම මගේ හදවත
ඇයගෙ ගාවින් දුරස් කෙරුනා...................
හිතට දැන් ඇය පිටස්තරයෙක්
එකට ඉදුමෙන් පළක් නොවුනා
අපි අපෙන් දුර ගිහින් ඇති බව
මගේ හිතටත් හොඳට දැනුනා
දික්කසාදය ලියකියවිලි ටික
අම්මා මේ මන් අරන් ආවා
දැනෙන්නැති ප්‍රේමයෙන් පිටවී
මගේ අත්සන එතන තිබ්බා........................
....මේටික අහන් ඉදපු අම්මා තමන්ගෙ පුතාට
මෙහෙම කියනවා.......??
මගෙත් එක්කත් විරසකය වී
පුතේ උබ ඇය බලෙන් බැන්දා
සිව්වසක් පෙම තිබුනා කියලා
වට පිටාවෙන් මටත් ඇහුනා
ගෙදර පස් පාගන්න දෙන්නැති
වදන් උබෙ අප්පගෙන් ඇහුනා
ඇයත් අරගෙන බෝඩිමට ගිය
දවසෙ මගෙ හද කඩා වැටුනා...................
ඉන්න ඉඩ කඩ මදී බෝඩිමේ
ලෑලි කාමරෙ හිතම දැවුවා
උබයි අප්පයි නොදැන හිටියට
මාත් රහසෙම ගිහින් බැලුවා
නුබේ වැටුපෙන් ඇයගෙ සවියෙන්
දියුණු උන හැටි අපිත් දුටුවා
සුමන අක්කේ කොලුට සාරයි
ගමේ උන් කිව්වාම ඇඬුනා...........................
උබෙම කියලා පුංචි ගෙයකුත්
නිමාවෙන හැටි අපට පෙනුනා
ගඩොල ගඩොලක් ඇයගෙ දෑතින්
කැපෙන හැටි අපි හැවොම දැක්කා
හරිම ධෛර්යය තියෙන කෙල්ලෙක්
අප්පා උබගේ නිතර කිව්වා
කිරි සිනා හඬ ගෙපැල හැඩවෙන
විටදි විරසෙකෙ නිමා කෙරුනා.......................
රැයක් දවලක් නැතුව ඇය උබෙ
දරු පැටවු ටික හොදින් රැක්කා
ගෙදර දොර වැඩ යසට කරගෙන
ඉන්න හැටි ඇස් දෙකට දැක්කා
අම්මා අප්පා උබේ කියලා
වෙනස් නොකරම සෙනෙහෙ දුන්නා
වෙනස් වෙන්නට හේතු ඇය නොව
පුතේ උබ ලඟ තමයි තිබුනා...........................
චාම් ගතිගුණ ඇයගෙ ලඟමයි
උබට ඉස්සර නොදින් පෙනුනා
ඇගේ රූපය වියකෙන්න ඇති
දරු තුනට උප්පත්ති දුන්නා
පැටවු තුනකගෙ වැඩ කරද්දී
ඇමතුමක් මඟ හැරිලා තිබුනා
පුතේ යටි හිත අහලා බලපන්
උබෙන් සැසදීමක්ද හිතුනා..........................
හොර රහසේ උබ ගන්න ඇමතුම්
ඇයට වාගෙම මටත් දැනුනා
මෝස්තර ඇති අගනකගෙ රූපය
පෝන් එක තුල මාත් දුටුවා
හිතින් හඬ හඬ දරුවන් නිසාවෙන්
උහුලනා ගිණි හිතම දැවුවා
දික්කසාද කොළ ඇයට දුන්නොත්
මගෙ මරණ සහතිකෙ උබට දෙනවා.............
B.M.N.බස්නායක ✍️ (සඳූ)