Monday, October 21, 2024
Follow Us
මල්ලියේ....❤

තමන්ගේ මංගල දවසේ අවසන් මොහොතේ පිටව යන්න කලින් අක්කා මල්ලිලා දෙන්නට මෙහෙම කියනවා...


????????????????
මල්ලියේ මෙහෙ වරෙන් දෙන්නම
මගෙ ලගට පොඩි වෙලාවක්
තියනවා පපුවටම අරගෙන
කියන්නට පොඩි කතාවක්
මහ හුඟක් මට වෙලා නෑ බං
යන්න පෙර එක වතාවක්
අහගනින් මම කියන දේවල්
මේක නම් බං ඉනාවක්...
දැක්ක දවසේ උඹලා දෙන්නව
මුල්ම දවසේ ඇත්තමයි
මල්ලියේ මට දැනුන සතුටට
වචන නෑ බං සත්තමයි
අම්ම අප්පච්චිටත් වැඩියෙන්
ඉම්බෙ දෙන්නව අක්කාමයි
රෝස පාටට හිටිය හැටියට
හිතුවෙ නංගිලා කියලමයි...
පුංචි අත පය අම්මා හිමිහිට
අතගාන හැටි දැක්කම
එදා ඉදලා අරන් උකුලට
මම තමයි අතගෑවෙම
හැඩ කරලා කම්මුලත් ගානට
ඉබලා හෙම මම හැදුවම
පිනි ජම්බු ගෙඩි දෙකක් වාගෙයි
දකින උන් නම් කීවෙම...
අක්කා හින්දා දඩබ්බර ගති
තියන උන් දෙන්නෙක්ටම
ටිකින් ටික කෝටුවක් ආවා
දන්නෙ නැතුවම දෑතට
ගහලා බැනලා හදාගන්නට
දාංගලෙ වැඩි හින්දම
අක්කටත් සිදු උනා මල්ලියෙ
කඳුලු පිහ පිහ හිත යට..
මටත් වැඩියෙන් උසට මහතට
උඹලා හැදෙනා වේගෙට
හිතාගන්නත් බැරි උනා ඒ
තරම් දිවුවා කාලය
පුංචි කාලේ අතින් අල්ලන්
පරිස්සම් මම කෙරුවට
මාව ඔය ඇස් හතරෙ හංගන්
කෙරු පරිස්සම ඇති මට...
කාපු බීපුවා ආයෙ තැන තැන
තියා යන්නට නම් එපා
අක්කා නෑ දැන් ඒවා හොය හොය
එන්න පස්සෙන් කෑ ගගා
අදින ඇදුමත් ගලවලා පුටු
මේස උඩ හෙම තිය තියා
ගියත් ආයෙත් කිලුටු රෙදි
හෝදන්න මම නෑ හොය හොයා...
පස්ස පැත්තට ඉර එන්නෙ නෑ
ඇහැරින්න හය වෙනකොට
හතේ බස් එක එනවා හරියට
හතයි පහ හය වෙනකොට
ඇහැරියේ නෑ කියලා ගුටියක්
දෙන්න මම ලග නැතුවට
ආයෙ හැරිලා පොරවගෙන ගුලි
වෙන්නෙපා බං අනිකට...
සොසේජස් මම ආස හින්දම
උඹලා හොරකම් කෙරුවම
තරහා අරගෙන කනෙන් ඇදලා
බත් එකේ මම හෙවුවම
ඉදලා ඉදලා ඇතිම උනහම
කන්න කියලා දුන්නම
අදින් පසුවට උඹලා කාපන්
කිසිම තරහක් නෑ මම....
ෆ්‍රිජ් එකේ තිබුණාට යෝගට්
ආයෙ හන්ගා ගන්න වෙන් නෑ
අරන් කොච්චර හැන්ගුවත් හොය
හොයා කන්නට අක්කා එන් නෑ
කන්නෙ නැතුවට අවුස්සන්නට
කරපු දඟ වැඩ අදින් පසු නෑ
පොඩි එවුන් වගෙ උඹලා දෙන්නගෙ
වැඩ වලට මගෙ සතුට නිම් නෑ...
අවමසානෙට මෙන්න මේ ටික
හොදින් පපුවට අරන් ඉන්න
අම්මා අප්පච්චිගේ පපුවට
සෙනෙහෙ විතරක් තදින් දෙන්න
මම නැතත් කිසි පාලුවක් ගෙයි
කිසිම කෙනෙකුට එපා දෙන්න
අනේ මැණිකලා "අක්කේ" කියලා
එක වතාවක් තුරුල් වෙන්න......❤❤
නිර්මාණයේ සම්පූර්ණ අයිතිය කතෘ සතුයි...උපුටා ගැනීමෙන් හෝ නිර්මාණයේ වෙනස්කම් කිරීමෙන් වලකින්න..
?️ - දිනූ ❤
( Dinushi Madushika )