Saturday, October 19, 2024
Follow Us
මිය නොයන මව් සෙනෙහස

ගියත් හිටි හැටියේම මියැදී
පපුව මැද්දෑව රිදිලා
කෙල්ල මාගෙ තාම පුංචි
අත හරින්නේ කොහොම කියලා
මියදුනේ මන් ඒකි මාගෙ
හිතේ අස්සක හෙමින් තියලා
පොළෝ තලයේ වැතිරිලා ඈ
හඬනවා මන් ගිහින් කියලා............


බලන් උන්නා උහුලන්න බෑ
දෝණි හඬනවා සුසුම් හෙළලා
හිටි හැටියේ ඈ ඇදන් වැටෙනවා
මගේ මළකඳ දිහා බලලා
ළඟින් කැරකී කතා කෙරුවත්
මගේ හඬ නෑ ඇයට ඇහිලා
දමා යන්නට නොහැකි තැන මන්
උන්නා ඇගේ සෙවනැල්ල වීලා...........

ගෙයින් එළියට මාව ගද්දී
තියාපන් මගේ අම්මා කියලා
වටේ උන් හා රණ්ඩු කෙරුවා
මාව වලලා දමනු දැකලා
අත් හැරලා මන් කොහොම යන්නද
හුරතලී මගෙ පණම වීලා
රිංගුවා මන් ඒකි අස්සට
දාලා යන්නට ලෝභ හිතිලා............

හිටි හැටියේ මගේ වේශ අරගෙන
කෙල්ල දුවනවා ගේම වටලා
අප්පච්චි දුටු ගමන් සැර වැර
ඇයි සුමනෙ උඹ අදත් බීලා
සැකක් ඇවිදින් පුංචි කෙල්ලට
හිටි ගමන් අපේ ගෑණි වැහිලා
රට වටේ දේවාල ගානේ
කෙල්ල අරගෙන ගියා කිපිලා........

කෙල්ල බිය වී වෙව්ලනවා ගේ
හොල්මනක් මගේ ඇගට පැනලා
මිනිය අස්සේ ඇඬුවාම මන්
කිව්වා මතකද වැහෙයි කියලා
නැන්දම්මා කන අස්සේ ඉඳගෙන
බනිනවා මගේ කෙලී සිඹලා
යද්දි හැඬු උන් බයේ දුවනවා
චිත්‍රා අපිටත් වැහෙයි කියලා.........

මාව එලවා ගන්න කියලා
යකදුරෝ ගේ වටට පිරිලා
බෝතලේකට අරන් යනවලු
ඈත ගඟකට දාමු කියලා
මියෙන්නට පෙර තිබුණු ප්‍රේමය
උන්ගේ හිත් වල නැහැනේ රැඳිලා
තුන් මාසේ පිංකමට එනකම්
යනවා දෝණියේ අම්මා මැකිලා.........

✍️එරන්දි එම් සේනාරත්න