Saturday, October 19, 2024
Follow Us
“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි” ජයග්‍රාහකයින් ඇගයේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන“ඇසළ පෙරහැරයි-සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්මේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය  ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී ඊයේ (14) පැවැත්විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැළ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු විය.

මෙම ප්‍රදර්ශනය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේ දී අගෝස්තු මස 10 දින සිට 14 දින දක්වා පැවැති අතර ඉදිරිපත් වූ 6000 කට අධික සිතුවම් ප්‍රමාණයක් අතරින්, තෝරාගත් සිතුවම් 300කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශන ‍කරන ලදි.

මෙහිදි වයස් ඛාණ්ඩ යට‍තේ තෝරාගත් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරී නැමිම ආරාධිතයින් අතින් සිදු කෙරිණි.

මෙම සිතුවම් තරගය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය, විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යංශය විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ලංකා බැංකුව සහ සී/ස ඇට්ලස් සමාගම විසින් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබිණි. ජයග්‍රාහි සිතුවම් නිර්මාණ අන්තර් ජාලය ඔස්සේ virtual exhibition center හරහා නැරඹිමට අවස්ථාව සලසා ඇත.

මෙම අවස්ථාව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්  අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්‍නකෝන් යන මහත්වරුන් ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.