Saturday, October 19, 2024
Follow Us
කිසිදු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපති උපදෙස් දීලා

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජනාධිපති ජානක වක්කුඹුර මහතා පැවසීය.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට සතු වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

පරිසර අමාත්‍යාංශයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අප අමාත්‍යාංශයේ කටයුතු අනෙක් රාජ්‍ය ආයතනවල කටයුතු මෙන් එක් වරම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අමාත්‍යාංශයක් ලෙස අප පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. එසේම තවත් වැදගත් වැඩ කටයුත් රැසක් ඉදිරියේදී සිදු කිරීමටද නියමිතයි.

පසුගියදා පැවති පරිසර දිනයට සමගාමීව අප දිවයින පුරා පරිසර සතියක් ප්‍රකාශයට පත් කළා. එය සනිටුහන් කරමින් මුළු දිවයිනම ආවරණය වන ආකාරයට පැල 10,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා.

මේ වන විට මෙරට පවතින 29%ක වන ගහණය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ සඳහා විශේෂයෙන් වනයේ තිබෙන හිස් භූමි ප්‍රදේශවල නව තාක්ෂණය යොදා ගෙන පැල සිටුවීමට කටයුතු කරනවා. එසේම ‘ගසට පැලයක්’ ව්‍යාපෘතිය යටතේ ඉවත් කරනු ලබන සෑම ගසක් වෙනුවෙන්ම බාධාවක් නොවන ස්ථානයන්හි පැලයක් සිටුවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම පරිසරය ඇතුලු දේශගුණ විපර්යාස පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි අවධානයකින් කටයුතු කරනවා.

එබැවින් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස එතුමා උපදෙස් දී තිබෙනවා.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. තවද මෙරට වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.