Saturday, October 19, 2024
Follow Us
මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම යළි ඇරඹේ

කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මෙම නිවාස ව්‍යාපෘති තුන නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මාලඹේ නිවාස ව්‍යාපෘතිය සදහා රු.මිලි. 3148.80 ක් වෙන් කෙරිණ. ඒ නිවාස 256 ක් ඉදිකිරීම සදහායි. නිවාස 120 ක් ඉදිකිරීම සදහා වන බොරලැස්ගමුව නිවාස ව්‍යාපෘතිය සදහා වෙන් කළ මුදල රු. මිලි. 1476 කි. යෝජිත මාකුඹුර නිවාස ව්‍යාපෘතිය සදහා වන ඇස්තමේන්තුගත මුදල රු.මිලි. 3859ක් වන අතර එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 314 කි.

මාළඹේ නිවාස ව්‍යාපෘතිය 2023 වර්ෂයේ මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය රු.මිලි 1539 ක මුදලක් එහි ඉදිකිරීම් කටයුතු සදහා වැය කර තිබිණ.

බොරලැස්ගමුව සහ මාකුඹුර යන ව්‍යාපෘති දෙකෙහි ම වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන්නේ 2022 වර්ෂයේ ජූලි මාසයේ දී යි. ඒ වන විටත් මෙම ව්‍යාපෘති දෙක සදහා අධිකාරිය විසින් පිළිවෙලින් රු.මිලි 369 ක් සහ රු.මිලි 1378 ක මුදලක් වැය කර තිබුණි.

මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සදහා අමාත්‍යාංශය මගින් තාක්ෂණික කමිටුවක්ද පත් කළේය. එම තාක්ෂණික කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කෙරිණ. මෙම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කෙරෙන්නේ එම ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ලබාදුන් නිර්දේශ අනුවයි.

ව්‍යාපෘති 03 කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.