Saturday, October 19, 2024
Follow Us
කරාපිටිය ශික්ෂණ රෝහල තෙවැනි ජාතික රෝහල බවට කිරීමට තීරණයක්

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස මෙම වසර තුළ සංවර්ධන කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා

කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන්ට සේවා සපයන ප්‍රධානතම රෝහල. මෙහි රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු සිදුකරන මහාචාර්ය ඒකකය ස්ථාපිත කර තිබෙනවා.  මේ වන විට රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂකයින් 1,100ක් ගාල්ල හෙද විදුහලේ සිසුන් 500ක් රසායනාගාර තාක්ෂණඥයින් 100ක් පමණ වාර්ෂිකව මෙම රෝහලේ ඉගැන්වීමේ සහ පුහුණු කිරීමේ පහසුකම් සපයනවා.

මෙම වසර අවසානයේ රෝහලේ ඇඳන් 2,858ක් දක්වා වැඩිකිරීමෙන් කොළඹ ජාතික රෝහලට පමණක් දෙවැනි වනවා.

එමෙන්ම කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහලද ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කිරීම මෙම කැබිනට් යෝජනාව හරහා සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.