Saturday, October 19, 2024
Follow Us
විභාග කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැළෙන අපේක්ෂකයන් හා පුද්ගලයන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කුමන හෝ අයකු විභාග වංචනික ක්‍රියාවන් සිදු කළහොත් තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. අද (13) ආරම්භ වන ගණිතය විෂය හා ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අනෙකුත් විෂයන් ක්‍රියාත්මක සියලු විභාග මධ්‍යස්ථාන කිසිදු ගැටලුවකින් සහ බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු නිලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒ මහතා පැවසුවේය.

සාමාන්‍ය පෙළ විභාගය අනිද්දා (15) අවසන් වන අතර මේ දක්වා පැවැති විභාගවලදී සිදු කළ වංචනික ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සහ විද්‍යාව ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන කරුණු සත්‍ය නොවන බව ද හෙතෙම කීවේය. විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්‍තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවට සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටව ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන කරුණු අසත්‍ය බව ඒ මහතා පැවසුවේය. සාමාන්‍ය පෙළ විභාගය ඇතුළුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ඕනෑම විභාගයක ලකුණු දීමේ පටිපාටි සකස් කිරීමේදී ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය සහ අපේක්ෂකයන් ඒ සඳහා පිළිතුරු ලබා දුන් ආකාරය පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවත් ඒ සඳහා රට පුරා සියලු ප්‍රදේශ ආවරණය කරමින් විවිධ මාධ්‍යය ඔස්සේ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ගේ සාම්පල පිළිතුරු පත් පරීක්ෂාවට ලක් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එසේ සකස් කරන ලකුණු ලබාදීමේ පටිපාටිය මෙරට සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන හා ඇගැයීම් කාර්යේදී ප්‍රධාන පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කරන එම විෂය උගන්වනු ලබන ප්‍රවීණ ගුරුවරුන් වෙත යොමු කර ඔවුන්ගේ අදහස් ද ලබා ගැනීමට පියවර ගන්නේ යැයි ඒ මහතා පැවසුවේය.

මේ සියලු පියවරයන්හිදී ප්‍රශ්න පත්‍රය තුළ කිසියම් විටෙක අපේක්ෂකයන්ට ගැටලුසහගත අවස්ථා අනාවරණය වුවහොත් වහාම ඒ සඳහා මැදිහත්වීම් සිදු කර අපේක්ෂකයන්ට විය හැකි අසාධාරණයන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පැවසීය. විභාග දෙපාර්තමේන්තුවේ එම පියවර සියල්ලම මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කරන අතර මේ වන විට එම විෂය සඳහා වන පාලක උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරමින් පවතින්නේ යැයි ද ඒ මහතා පැවසුවේය. එහිදී යම් ගැටලුවක් අනාවරණය වුවහොත්, අපේක්ෂකයන්ට කිසිදු අසාධාරණයක් නොවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් එවැනි තත්ත්වයක් තුළ විවිධ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන ලෙස කිසිදු අපේක්ෂකයකුට කිසිදු අසාධාරණයක් වීමට අවස්ථාවක් නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. විභාගයට පෙර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවට කරන ප්‍රචාරයන් ද අසත්‍ය බවත් මෙතෙක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවට කිසිදු කරුණක් අනාවරණය වී නැති බවත් ඒ මහතා පැවසුවේය.