Saturday, October 19, 2024
Follow Us
තේ පොහොර සහනය පිළිබඳ ගත් තීරණය

දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ. 

මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණි.  තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වේ. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට තේ වගාකරුවන් පියවර නොගන්නා නිසා තේ දළු අස්වැන්න ක්‍රමානුකූලව අඩු වීමක් පෙන්නුම් කරයි. මේ නිසා තේ සඳහා යොදනු ලබන පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳපළේ පවතින මිල ගණන්වලට වඩා සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය.

තේ සඳහා වන පොහොර සහනාධාරය යටතේ U- 709 සහ U- 834  කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රු. 7735කටත්, T 56 තේ පොහොර මිටියක් රුපියල් 8325ක හා T 750 හා T 250 පොහොර මිටියක් රු. 5550ක සහන මිලකටත් ලබා දීමට කටයුතු යොදා ඇත.

රජයට අයත් ලංකා පොහොර සංස්ථාව හා කොමර්ෂල් පොහොර සමාගම් විසින් මෙම තේ සඳහා වන පොහොර විශේෂ 05 නිෂ්පාදනය කරනු ලබයි. එමෙන්ම වෙළෙඳපළේ මිලට වඩා සියයට 50ක පමණ මිල ගණන් අවම කර තේ වගාකරුවන්ට එම පොහොර සහන මිලකට ලබා දෙන අතර තේ මණ්ඩලය විසින් තේ පොහොර සහනය සඳහා වන මුල්‍ය පහසුකම් සපයනු ලබයි.

ජූනි මාසය වනවිට තේ පොහොර සැපයුම මෙට්‍රික් ටොන් 20,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇතී අතර අක්කර 50ක් වූ සෑම තේ වත්තකට ම මෙම තේ පොහොර සහනාධාරය ලබා දීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ලංකා තේ මණ්ඩලය එකඟත්වය පළ කළේය.

ශ්‍රී ලංකාවේ තේ වගාව නංවාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඊයේ  (09) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට තේ වගාකරුවන්ගේ සංගමය, තේ කර්මාන්තකරුවන්ගේ සංගමය හා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරිහු සහභාගි වූහ.