දකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සම්පූර්ණ කර නිවෙස කරා ගොස් සිටි මතුගම පදිංචි තරුණයෙකුට දින 10කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මෙම තරුණයා මාර්තු 10 වනදා දිවයිනට පැමිණ දින 14ක් කන්දකාඩු මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව මාර්තු 24 වනදා නිවෙස කරා පැමිණ ඇති අතර පෙරේදා පස්වරුවේ උදරාබාධයක් සහ සෙම් රෝගී තත්වයක් නිසා කලුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී සිදුකළ පරීක්ෂණ වලින් ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව IDH උණ රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.
මේ අතර මෙම තරුණයා සමඟ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට එකම බස් රථයෙන් නිවෙස් කරා පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු ද පරීක්ෂණ සඳහා ඊයේ (04) රෝහල්ගත කර ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට කටයුතු කර ඇති බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසන්නේ.
(LNW)