Wednesday, October 30, 2024
Follow Us
කොරෝනා කියා සැක නම් ගෙදර ඉඳන් පොලිසියට කියන්න. රෝහලට ආවොත් නඩු - අජිත්

කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට කිසිවකුට සැකයක් පවතින්නේ නම් රෝහලට නොපැමිණ නිවසට වී සිට පොලිසියට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව පොලිසිය විසින් අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එසේ නොමැතිව රජයේ රෝහල් කරා පැමිණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට සූදානම් වුවහොත් ද්වේශ සහගත ලෙස කොරෝනා රෝගය පැතිරවීමට තැත්කිරීම යන චෝදනාව යටතේ ඔවුන්ට නඩු පැවරිය හැකි බවයි ඒ මහතා අවධාරණය කළේ.

"ඔබට මෙම කෝවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බවට සැකයක් තිබෙනවා නම්, නැත්නම් ඔබ අදහස් කරනවා නම් කරුණාකර රෝහලකට පැමිණෙන්නට එපා. ඔබ නිවසේම රැඳී සිටින්න. ඔබට අවශ්‍ය සියලු පහසුමක් අපි සලසනවා, පොලිසියට දැනුම් දෙන්න. සෞඛ්‍ය බලධාරීන් සමඟ අදාළ ක්‍රියාමාර්ග ගන්නවා.

එසේ නොමැතිව ඔබ පුද්ගලික රෝහල් කිහිපයකට ගොස් රජයේ රෝහලක සාමාන්‍ය ඕපීඩී අංශය වෙත පැමිණ මේ ආකාරයට ප්‍රතිකාර ලබාගැනීම ඔබ ද්වේශ සහගතව කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒවගේම ඔබ මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ ක්‍රියාවක් බවට නීතිය යටතේ අර්ථ නිරූපණය කරන්න පුළුවන්. ඒනිසා කිසිම අවස්ථාවක ද්වේශ සහගතව මෙම රෝගය ව්‍යාප්ත කරන්න කටයුතු කරන්න එපා, කරුණාකර අපට දුරකථනයෙන් දැනුම් දෙන්න. අදාළ ස්ථානයට අපි ගිලන් රථයක් එවනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)