ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ තුන්වන අවධියේ එනම් පවුල් සහ ග්‍රාමීය මට්ටමේ කැටිති (Clusters) ලෙස රෝගය පැතිරෙමින් තිබෙන නමුත් තවමත් හතරවන අවධිය වන සමාජය තුල රෝගය බහුලව පැතිරයාමේ තත්වයට ළඟා වී නැති බව ප්‍රජාවෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සඳහන් කොට ඇත. ඒ අනුව භයානක හතරවන අවධියට යාමට පෙර ගත යුතු පියවර පිළිබඳ අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර ලබාදුන් පිළිතුර ඔහුගේ වචන වලින් –
” වසංගතය පාලනය කිරීම සඳහා සියළු පාර්ශව ප්‍රශස්ථ ලෙස මහන්සිවෙමින් සිටිනවා. ඒ පිළිබඳව ඇගැයීමක් සහිතව දුර්වලතා පෙන්වා දෙන්න කැමතියි. අප තීන්දු ගත්තේ සතියක් දින 10 ක් අතර කාලයක් පමාවෙලා, සංචාරකයන් පාලනය කිරීම සහ රට තුලට පැමිණෙන සියළු දෙනා නිරෝධායනයට ලක් කිරීමේ තීන්දුව අප විසින් ගනු ලැබුවේ පමා වෙලා. ඒ නිසා 20,000 ක පමණ පිරිසක් බාහිර සමාජය තුල අධීක්ෂණය කිරීමේ දුෂ්කරතා ඉතා බරපතල වුණා. අදත් අප නිරෝධායනය වන රෝගීන්ගේ වයිරසය හෝ ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කරන්නේ නැතිව ඔවුන් තවදුරටත් රෝගය බෝ කරන්නන් නොවන බවට සහතික ලබා දෙනවා. එය වසංගත රෝග පාලන මූලධර්ම අනුව බරපතල වරදක්. ඊට හේතුව උණ හෝ වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වා වෛරසය දින 30 ක් දක්වා ශරීරයේ පැවතිය හැකි බව ඔප්පු වී තිබීමයි. ලෝකයේ රෝගය පැතිරයාමේ දත්ත විශ්ලේෂණය කරන විද්වතුන් සඳහන් කරන්නේ රෝහලට වාර්තාවන රෝගීන් මෙන් පස්(05) ගුණයකට වැඩි රෝගය බෝකළ හැකි එහෙත් රෝගීන් ලෙස හඳුනාගත් පිරිසක් සිටිය හැකි බවය. ඒ නිසා මේ තුන්වන අවධියේ දී වහාම සැකකටයුතු සියළු දෙනා රෝගය සඳහා පරික්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා. ජර්මනිය, සිංගප්පූරුව, කොරියාව, චීනය එම උපාය මාර්ගය යම් තරමක් හෝ පමා වී යොදා ගත් නිසා ඔවුන්ගේ වසංගත ප්‍රස්තාරයේ පහතට ගමන් කරන බව ඔප්පු වී තිබෙනවා. “
(Lanka Lead)