Wednesday, October 30, 2024
Follow Us
කොරෝනා කාලේ විදෙස් රටවලින් පැමිණි අයට නිරෝධායන සහතිකය නැතිව ආපහු යන්න බෑ !

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවන කාලසීමාව තුළ විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි කිසිවෙකුටත් නිරෝධායන සහතිකය නොමැතිව ආපසු විදෙස්ගත වීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

එසේ විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සියල්ලන්ම අනිවාර්යයෙන්ම නිරෝධායන කටයුතුවලට ලක්විය යුතුම බවයි ඒ මහතා සඳහන් කළේ.

"අපට මේ වසංගතය දුරු වෙලා - අපි ප්‍රාර්ථනා කරනවා තව සති දෙකකින්, තුනකින්, මාසෙකින් කියලා - ඊට පස්සෙ ගුවන් තොටුපල වෙත යනකොට අපි දැනටම වාචිකව දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා, ලිඛිතවත් දැනුම් දෙනවා ආගමන විගමන පාලකවරයාට - නිරෝධායන සහතිකය නැත්නම් ලංකාවෙ ගුවන් තොටුපලෙන් යන්න හම්බෙන්නෙ නෑ.

එහෙම ඇවිල්ලා නිරෝධායන ක්‍රියාවලියට ලක්වෙන්නෙ නැතුව - මේ නිරෝධායනය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි, රෝගය හැදෙනවාද නැද්ද කියලා බලන්න ගෙදෙට්ට වෙලා කාලා බීලා ඉන්න එක. කන්න නැත්නම් අපට කියන්න අපි ඒකත් මොනවා හරි සපයන්නම්. ඔහෙ නිකම් ගෙදර ඉන්න එක - ඒකට සහභාගී වෙලා නැතුව, නිරෝධායන සහතිකය නැතුව කීයටවත් ලංකාවෙ ගුවන් තොටුපලකින් වරායකින් නම් ආපහු යන්න අපි ඉඩ තියන්නෙ නෑ !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ සජීවී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

(LNW)