Saturday, October 19, 2024
Follow Us
මාතර විහාරස්ථානත් මංගලට තහනම්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය ඊයේ (05) තීරණය කළේය.

ඒ අනුව තීරණය කර ගත් කරුණු අනුව කටයුතු කරන බවට මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට දී ප්‍රතිඥාවක් ද ලබා දුන්හ.

අදාල සංඝ ආඥාවේ පිටපත් අද (06) දින මාතර දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ පූජනීය ස්ථාන වෙත තැපැල් කර යැවීමට ද කටයුතු යොදා තිබේ.

එම නියෝගය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම වෙහර විහාරස්ථාන වල, ආරණ්‍ය සේනාසන වල, මෙහෙණී ආරාම ඇතුළු සියලුම බෞද්ධ සිද්ධස්ථාන තුළ කිසිදු කටයුත්තකට සහභාගී කර නොගත යුතුය.

එමෙන්ම ඒ මහතා සහභාගී වන මංගල, අවමංගල, රාජ්‍ය උත්සව, පෞද්ගලික උත්සව, දානමය පිංකම්, ගෙවැදීම් , මුල් ගල් තැබීම් ආදී සෑම උත්සව අවස්ථාවකටම භික්ෂූන් වහන්සේලා සහභාගී නොවීමටත් සහභාගී වී සිටින අතරතුර මංගල සමරවීර මහතා පැමිණියහොත් ඒ අවස්ථාවේදීම ආසනවලින් ඉවත්ව යාමටත් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා දිස්ත්‍රික් විහාරාධිපති සංගමය තීරණය කර තිබේ.

(Lanka Leads)